මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 9


දැන් කරන්නට තිබෙන්නේ ඩිෂ් එක දළ වශයෙන් ඉහත අගයන්ට කරකැවීමයි. පළමුව ඇසිමත් කෝණයට දළ වශයෙන් කරකවා ගමු. ස්මාට් ෆෝන් එකක් ගෙන ඉහත satellite finder, compass වැනි අයිෆෝන් ඇප් එක මඟින් (හෝ වෙනත් එවැනි ඇප් එකකින්) එය සිදු කරන්නේ මෙසේය (මේ සඳහා මා නම් වැඩිපුරම භාවිතා කරන්නේ compass යන අයිෆෝන් ඇප් එකයි).
 
ඊට පෙර, ඔබ ෆෝන් එක ගෙන ඇප් එක ඕපන් කර හෙමින් හෙමින් වටේට කරකැවෙන්න; එවිට ඔබට පෙනේවි ඇප් එකේ කට්ටද කරකැවෙනවා; එසේ කරකැවුණු කෝණයද පෙන්වාවි. ඉතිං, ෆෝන් එක ඩිෂ් එක මත (එල්එන්බී ආර්ම් එකේ) තබා, ඩිෂ් එක සෙමින් කරකවාගෙන යන්න. එවිට, ඔබට අවශ්‍ය කෝණයට පැමිනි විට කරකැවීම නතර කරන්න. හැකි තරම් එම නිවැරදිම කෝණය ලබා ගන්නට උත්සහ කරන්න (ඉතාම සෙමින් වම් අත පැත්තට හා දකුනු අත පැත්තට වරින් වර කරකවා එම නිවැරදිම කෝණය ලබා ගන්න). ඉන්පසු, ඩිෂ් එක හොඳින් ස්ථාපනය කරන්න (තවමත් බොහෝම තදට ඇන තද කරන්නට එපා; බොහෝවිට සුලු සුලු සීරුමාරු කිරීම් ඉදිරියටත් කිරීමට අවශ්‍ය වේ). ඇසිමත් කෝණය සෙට් කළ හැකි ඇප් 3ක රූප පහත දැක්වේ.


මීළඟට කරන්නට තිබෙන්නේ එලිවේෂන් කෝණය සෙට් කිරීමටයි. එය පහසුවෙන්ම කළ හැකිය. ඩිෂ් එක හරියටම ක්ෂිතිජය බලාගෙන සිටින විට කෝණය අංශක 0 වේ. ඉතිං ටිකෙන් ටික එය ඉහලට කරකවන්නටයි තිබෙන්නේ තමන්ට අවශ්‍ය අංශක ගණන ලැබෙන තුරු. මේ සඳහාද ෆෝන් ඇප් එකක් භාවිතා කළ හැකියි (කෝණ මනින protractor වැනි අයිෆෝන් ඇප් එකක් මේ සඳහා උචිත වේ). පෙර පරිදිම ෆෝන් එක එල්එන්බී එකේ ආර්ම් එක මත තබා, ක්‍රමයෙන් ඩිෂ් එක ඉහලට කරකවාගෙන යන්න. අවශ්‍ය කෝණයට පැමිනි පසු නට් තද කර එයද ස්ථාපනය කරන්න (ඇන ඉතාම හොඳින් තද කරන්නට එපා මොකද ඉදිරියට තවත් සුලු වෙනස් කිරීමට සිදු වෙනවා).
 




ඇත්තෙන්ම ඉහත විස්තරය කියවන විට එය “පටස් ගාලා” සෙට් කළ හැකි බව සිතුනත්, තරමක කාලයක් මේ සඳහා ගත වේ. ප්‍රායෝගික ගැටලු ඇත. එනම්, එල්එන්බී ආම් එක මත තබා ඉහත කෝන සැකසුවත් බොහෝවිට එලිවේෂන් කෝණය නිවැරදි නොවේ (ඇසිමත් කෝණය නම් බොහෝවිට නිවැරැදිය). ඊට හේතුව එල්එන්බී ආම් එක හා දීසිය අතර යම් සුලු කෝණ වෙනසක් ඇත. දීසිය මත ෆෝන් එක තබා බැලුවත් දීසිය වක්‍ර මතුපිටක් බැවින් දීසිය මත විවිධ තැන්වල එලිවේෂන් කෝණය වෙනස් නිසා එකවරම කුමන ස්ථානය නිවැරදිදැයි සිතිය නොහැකි වේ. එනිසා, ඩිෂ් එක එහාට මෙහාට පොඩ්ඩ පොඩ්ඩ කරකවා බලා එය සිදු කළ යුතුය.
 
එහෙත්, කෙසේ හෝ එක් වරක් යම් චන්ද්‍රිකාවක් අල්ලා ගත් පසුව ඔබට කළ හැකි කට්ටකමක් ඇත. එනම්, එම චන්ද්‍රිකාවේ සත්‍ය ඇසිමත් හා එලිවේෂන් කෝණ දෙක ඇප් එකෙන් ලබා ගන්න (හෝ ගණනය කර ලබා ගන්න). එලෙසම, එල්එන්බී ආම් එක මත ෆෝන් එක තබා එහි පෙන්වන ඇසිමත් හා එලිවේෂන් කෝණ දෙකත් ලබා ගන්න. බොහෝවිට ඇසිමත් කෝණ දෙක සමාන වේවි. එහෙත් එලිවේෂන් කෝණ දෙක අතර වෙනසක් පවතීවි. ඔබට කරන්නට තිබෙන්නේ එම වෙනස සෙවීමයි. 
 
ඉතිං, මෙතැන් සිට වෙනත් චන්ද්‍රිකාවකට එලයින් කරන විට, මෙම වෙනස ඊට එක්කහු කරගෙන ඉක්මනින්ම එලයින් කිරීමට හැකි වේවි. උදාහරණයක් ලෙස, ගණනය කර හෝ ඇප් එකකින් ලබා ගත් එලිවේෂන් කෝණය 56 නම්, හා දීසියේ එල්එන්බී ආම් එක මත තබා බැලූ විට ලැබෙන එලිවේෂන් එක 62 නම්, සත්‍ය අගයට වඩා ආම් එක මත අගය අංශක 62 – 56 = 6 කින් වැඩිය. මෙවිට, උදාහරණයක් ලෙස, ඔබ නැවත එලිවේෂන් කෝණය 40 සහිත චන්ද්‍රිකාවකට එලයින් කරන්නට යන විට, ඔබ ආම් එක මත ෆෝන් එක තබා එලිවේෂන් කෝණය අංශක 40 + 6 = 46 වන පරිදි දීසිය කරකැවිය යුතුය. එච්චරයි.
 
ඉහත විස්තර කළ ආකාරවලටත් වඩා පහසුවෙන් හා ඉක්මනින් ඇසිමත් හා එලිවේෂන් කෝණ දෙකම සෙට් කළ හැකි ක්‍රමයක් හඳුන්වා දී තිබෙනවා. එහිදී ස්මාට්ෆෝන් එකක් හා Augmented Reality (AR) නම් ක්‍රමයට සැකසූ ඩිෂ් එලයින්මන්ට් ඇප් එකක් (SatFinder 3D යන iPhone app එක මා භාවිතා කරනවා) අවශ්‍ය කරනවා. පලමුව ඕග්මන්ටඩ් රියැලිටි යනු කුමක්දැයි කෙටියෙන් හඳුනාගමු.
 
ඔබේ ෆෝන් එකේ කැමරා ඇප් එක ඔන් කළ විට, ඔබට කැමරාව තුලින් දර්ශන පේනවානේ. ඒ පෙනෙන්නේ සත්‍ය වටපිටාවමයි (කැමරාව නැතිවත් ඔබට එම දර්ශන ඔබගේ ඇස්වලින් දර්ශනය වේ). එහෙත් එම ඇප් එකේම ඕගමන්ටඩ් රියැලිටි පහසුකමක් පවතී නම්, වටපිටාවේ ඇත්තටම තිබෙන දර්ශන/දේවල්වලට (reality) අමතරව තවත් රූප හා දත්තද ඔබට කැමරා ඇප් එක තුලින් පෙන්වාවි. ඒ කියන්නේ ඔබගේ සත්‍ය දර්ශන වැඩි දියුණු කර (augment) ඇත
 
ඕග්මන්ටඩ් රියැලිටි මඟින් ඉතාම ප්‍රයෝජනවත් දේවල් කර ගත හැකි බව පැහැදිලිය (කැමති නම් ඒ ගැන තව දුරටත් අන්තර්ජාලයෙන් සොයා බලන්න). රාත්‍රී හා දවල් කාලයේ අහසේ තිබෙන තරු, තරු රටා, ග්‍රහලෝක, ආදි නොයෙක් ආකාරයේ ග්‍රහ වස්තුන් ෆෝන් එක තුලින් බැලිය හැකි පරිදි සකසා ඇති ඕග්මන්ටඩ් රියැලිටි සහිත ඇප් ඉතා ඇබ්බැහිවන සුලුය. තාරකා විද්‍යාව ඉගෙනීමට ඊටත් වඩා හොඳ තාක්ෂණික මෙවලමක් මට සිතා ගත නොහැකිය. Star Chart, Night Sky යනු (අයිෆෝන් සඳහා) සකසා ඇති එවැනි ඇප් දෙකකි (ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් සඳහාද stellarium වැනි එවැනි ඇප් ඇත). 
 
ඉතිං, සැටලයිට් එලයින් කිරීමට යොදා ගන්නා එවැනි ඕග්මන්ටඩ් රියැලිටි ඇප් එකකින් සිදු වන්නේ කුමක්ද? එයද බැලූබැල්මට කැමරා ඇප් එකකි. එනම්, ෆෝන් එකෙන් බලන විට පෙනෙන්නේ ඔබ ෆෝන් එක එල්ල කර ගෙන සිටින වටපිටාවයි. එහෙත්, මීට අමතරව සමකයට ඉහල අහස දෙසට එය එල්ල කරන විට ස්වාභාවික සත්‍ය අහසට අමතරව ටීවී චන්ද්‍රිකා පේලියක්ද පෙන්වාවි. ඇප් එක උඩට යටට කරන විට (සමකය දිගේ) එම එක් එක් චන්ද්‍රිකාව ඉස්මතු වී පෙනේ. ඉතිං, එම ඇප් එකක් ඕපන් කරගෙන ෆෝන් එක එහෙට මෙහෙට කරමින් එසේ පෙන්වන චන්ද්‍රිකා පෙලින් එක් චන්ද්‍රිකාවක් තෝරන විට, ඔබ ෆෝන් එක එල්ල කරගෙන තිබෙන්නේ හරියටම ඔබ තෝරා ගත් එම චන්ද්‍රිකාව දෙසටයි (එනම්, ඔබේ ෆෝන් එක දැන් හරියටම එම චන්ද්‍රිකාවට අදාලව ඇසිමත් හා එලිවේෂන් කෝණවලට එලයින් වී ඇත).
 

දැන් කරන්නට තිබෙන්නේ ෆෝන් එක රබර් බෑන්ඩ් එකක් මඟින් හෝ දෙපැත්තම ඇලවෙන ටේප් පටියකින් එල්එන්බී එකේ ඉදිරියෙන් හරි මැදට වන්නට සේ තබා සවි කර ගැනීමයි. මෙහිදී එල්එන්බී එකේ හරි මැදට ෆෝන් එක ගානට සවි කළ යුතුය. ඉන්පසු, ඇප් එක දෙස බලාගෙන සිටිමින් දීසිය අවශ්‍ය පරිදි කරකවන්න ඔබට අවශ්‍ය චන්ද්‍රිකාව ඇප් එකෙන් තෝරා ගැනෙන තෙක්. 
 
මා හට නම් මෙම ක්‍රමය එතරම් සාර්ථක නොවීය. ඊට හේතුව එල්එන්බී එක මත ෆෝන් එක රඳවා කරකැව්වත්, ඇන්ටනාව හා එල්එන්බී අතර කෝණ වෙනසක් පැවතීම විය හැකිය. මීට පෙර විස්තර කළ ක්‍රමය මට විනෝදයක් ලබා දෙන නිසා හා එම ක්‍රමය මට පහසු නිසා වෙනත් ක්‍රමයක් අනුගමනය කිරීමට මා මැලිකමක්ද දක්වනවා.
 
ලුක් ඈන්ගල්ස් සෙට් කර ගත් පසු, එල්එන්බී එක සවි වී තිබෙන නට් බුරුල් කර, එල්එන්බී ස්කිව් අගයට සමාන කෝණයක් සෙමින් කරකවාගන්න. එල්එන්බී එක පහසුවෙන් කරකැවිය හැකි වන සේ නට් බුරුල් කර එය කරකවන්න; නැත්නම් එල්එන්බී එක සවි වී තිබෙන ප්ලාස්ටික් කෑල්ල කැඩී යනු ඇත (අව්වේ තිබෙන විට ප්ලාස්ටික් දිරාපත් වන බැවින් එම ප්ලාස්ටික් කැබැල්ල දැනටමත් දිරා පත්ව ඇති බැවින් පහසුවෙන් කැඩී යෑමට හැකියි). 
 
ඩයලොග්වලට +77ක පමන කෝණයක් තිබෙන නිසා, පහත දැක්වෙන සේ ඔරලෝසුවේ කටු කර කැවෙන පැත්තට කරකවා ගන්න. මතක තබා ගන්න දීසියේ පිටුපස සිට චන්ද්‍රිකාව දෙස බලන ආකාරයට සිටගෙනයි අපි මෙම වාමාවර්ත/දක්ෂිනාවර්ත තීරණය කළේ. සමහරුන් එල්එන්බී එක ඉදිරියෙන් (දීසියේ වල පැත්ත බලාගෙන) සිටිමින්ද මෙම දිශාව කියන අතර, එවිට වම දකුන මාරු කර අගයන් කිව යුතුය (එනම් වමට කරකවන ඒවා දකුනටද, දකුනට කරකවන විට වමටද කරකැවිය යුතුය). ඇත්තටම මෙම කෝණය ඉතා නිවැරදිවම තිබීම අත්‍යවශ්‍ය නැත. මෙම කෝණය නිවැරදි වන්නට වන්නට සංඥා ග්‍රහනය වීම වඩා වඩා හොඳ වේවි.
 




දළ වශයෙන් ඩිෂ් එක දැන් එලයින් කර අවසන්ය. එහෙත් එය තවදුරටත් සීරුමාරු කිරීමට (fine-tune) තිබේ. එය සිදු කරන අයුරු දැන් බලමු. පෙර විස්තර කළ පරිදි උපකරණ සියල්ල එකිනෙකට කනෙක්ට් කළ පසු, රිසීවරයත්, ටීවී එකත් ඔන් කර, ටීවී එකේ අදාල TV Mode එක තෝරා ගන්න. AV ක්‍රමයට නම් රිසීවරය කනෙක්ට් කළේ AV mode තෝන්න (AV1, AV2 ආදි ලෙස ඒවී මෝඩ් කිහිපයක් පවතින අතර, ඉන් ගැලපෙන එක තෝරන්න). HDMI ක්‍රමයට නම් කනෙක්ට් කළේ HDMI mode එක තෝරා ගන්න (මෙහිද HDMI1, HDMI2 ආදි ලෙස hdmi මෝඩ් කිහිපයක් ඇති අතර, ඉන් ගැලපෙන එක තෝරන්න). හරි මෝඩ් එක තේරුවා නම්, සැටලයිට් රිසීවරයෙන් එන යම් රූපයක් ටීවී ස්ක්‍රීන් එකේ පෙන්වාවි. මාගේ කොකිට් නම් සැට් රිසීවරයකින් පහත ආකාරයේ රූපයක් රූපවාහිනි තිරය මත දර්ශනය කරනවා.
 




මා නම් මුලින්ම සිදු කරන්නේ රිසීවරය ගැන අධ්‍යනය කිරීමයි. ඒ සඳහා රිසීවරයේ මැනුවල් එක කියවිය යුතුය. රිමෝට් කන්ට්‍රෝලර් එකේ ඒ ඒ බට්න්වලින් කුමක්ද කරන්නේ, රිසීවරයේ සෙටිංස් සකසන්නේ කෙසේද යන්න මැනුවල් එකේ තිබේවි. කාලයක් සැටලයිට් රිසීවර් සමඟ වැඩකරපු අයට නම්, මැනුවල් එකක් නැතිව වුවද, රිසීවරයේ සෙටිංස් සකසන්නට හැකියි ටික වෙලාවක් රිසීවරය සමඟ වැඩ කිරීමෙන් පසුව.
 
ඉතිං, පලමු වරට රිසීවරය ඔන් කළ පසු, එහි ඇති මූලික සෙටිංස් ටික සකසන්න. සෑම රිසීවරයකම සෙටිංස් සාමාන්‍යයෙන් පොදු වුවත්, එක් එක් රිසීවරයේ එම සෙටිංස් තිබෙන ස්ථාන වෙනස් විය හැකිය. එනිසා මා මෙහි වැඩිපුර පෙන්වන්නේ koqit යන බ්‍රෑන්ඩ් එකේ රිසීවරයකට අදාලව සෙටිංස් සකසන අයුරුයි. වෙනස් වෙනස් රිසීවර්වල මා විස්තර කරන සෙටිංස් වෙනස් වචනවලින් හෝ/හා වෙනස් වෙනස් ස්ථානවල පවතීවි. එකම ජාතියේ රිසීවරයක වුවද, එහි නිෂ්පාදන වර්ෂය අනුවද සුලු සුලු වෙනස්කම් දක්නවට ලැබේවි. ඒවා ගණන් ගත යුතු දේවල් නොවේ.
 
රිමෝට් එකේ menu බට්න් එක ඔබන විට රිසීවරයේ සෙටිංස් මතු වේ. සියලු සෙටිංස් එහි තුල ඇති විවිධ මෙනු තුලින් ගොස් සැකසිය හැකිය. මාගේ රිසීවරයේ මෙනු බට්න් එක ඔබන විට පහත ආකාරයේ තිරයක් දිස් වේ. විවිධ චැනල් ටියුන් කිරීම සිදු කරන්නේ මෙම දිස්වන මෙනුව තුලිනි (මොහොතකින් ඒ ගැන බලමු).
 

රිමෝට් එකේ වම-දකුන-උඩ-යට පැති වලට ඇති ඊහිස් සහිත බොත්තම් එබීමෙන් මෙම මෙනු හරහා ගමන් කළ හැකිය. එලෙස රිමෝට් එකේ වම් පැත්තට ඇති බට්න් එක ඔබන විට පහත මෙනු එකට ගමන් කරයි. රිසීවරයේ පොදු සෙටිංස් සකසන්නේ මෙම මෙනුව තුලිනි.



පලමුවෙන්ම ඔන් කරන විට, භාෂාව (language) සමහර රිසීවරවල තේරීමට සිදු වේ. ඉන් English තෝරාගන්න. ඇත්තටම, භාෂාවන් තේරීමට ඇති සෑම තැනකදීම English තෝරන්න (සිංහල තේරීමට නැත). සමහරවිට රට (country) තේරීමටද ඇති අතර, Sri Lanka තිබුණොත් එය තෝරන්න; ලංකාව නැතිනම් Other තෝරා ගන්න. ඉහත දිස්වන මෙනුවේ Language යන්න තෝරා රිමෝට් එකේ OK බට්න් එක ඔබන විට පහත ආකාරයේ සෙටිංස් පිටුවක් ලැබෙන අතර, එහා මා සියල්ලම English ලෙස තෝරා ඇත.
 




ඉහත රූපයේ පෙන්වා ඇති පරිදි සෙටිංස් පෙන්වා තිබෙන්නේ මා Menu Language එක English ලෙස තෝරා ඇති බැවිනි. සමහර සැටලයිට් චැනල්වල කැමති නම් තෝරා ගත හැකි සිරස්තලද තිබිය හැකිය (භාෂා කිහිපයකින් එම සිරස්තල එවිය හැකිය). එවිට, රිමෝට් එකේ ඇති Subtitle යන බට්න් එක ඔබන විට එම සිරස්තල තිරය මත පෙන්වාවි. මෙහි ඇති First Audio Language එකෙන් කියන්නේ English සිරස්තලය පෙන්වන ලෙසයි. 
 
සාමාන්‍යයෙන් චන්ද්‍රිකා චැනලයක ඉදිරියේදී පෙන්වන වැඩසටහන් කාලසටහනක් ඇත (සාමාන්‍ය ටීවී හා රේඩියෝ සඳහා වන මෙම කාලසටහන් සති අන්ත පුවත්පතක සාමාන්‍යයෙන් පල වේ). මෙය EPG (Electronic Program Guide) ලෙස හැඳින්වන අතර, රිමෝට් එකේ ඇති EPG බට්න් එක එබීමෙන් එය තිරය මත දර්ශනය කර ගත හැකිය. එම කාලසටහන English භාෂාවෙන් පෙන්වන ලෙස ඉහත EPG Language සෙටිං එකෙන් සෙට් කර ඇත.
 
ඉන්පසුව, කාලය සම්බන්ද සෙටිංස් (time settings) වෙත ගොස් time zone එක ලෙස +5.30 තෝරන්න (+5.30 ට ඉදිරියන් කුමන නගරවල නාමයන් තිබුණත් අවුලක් නැත). සමහර රිසීවර්වල ටයිම් සෝන්වල 5.30 නැති අතර එවිට +6 තෝරන්න (මෙවිට පැය භාගයක වෙනසක් දිගටම පවතීවි; කරන්නට දෙයක් නැත). මෙහිදී Mode එක Auto ලෙස තෝරා ගෙන, ටයිම්සෝන් එක +6 යන්න තෝරා ගෙන ඇත (නිවැරදි අගය වන +5.30 තේරීමට නැති නිසා).
 






ටයිම් සෝන් එක යනු ග්‍රිනිච් වෙලාවට (Greenwich Mean Time – GMT) සාපේක්ෂව ලංකාවේ සම්මත වෙලාවේ වෙනසයි. හැමවිටම ග්‍රිනිච් වෙලාවට වඩා ලංකාවේ වෙලාව පැය 5යි විනාඩි 30ක් ඉදිරියෙන් සිටී. එනම්, මේ වෙලාවේ එංගලන්තයේ ග්‍රිනිච් නගරයේ වෙලාව දවල් 1 යි නම්, ලංකාවේ වෙලාව සවස 6.30 වේ. ග්‍රිනිච් වෙලාව ඇසුරින් තම තම රටවල වෙලාව දැක්වීම ලෝක සම්මත ක්‍රමයකි. සාමාන්‍යයෙන් එකම දේශාංශකය ඔස්සේ උත්තර ධ්‍රැවයේ සිට දක්ෂිණ ධ්‍රැවය දක්වා පවතින්නේ එකම වෙලාවකි. පහත දැක්වෙන්නේ ලෝකය පුරාම ග්‍රිනිච් වෙලාව සරලව දක්වන සිතියමකි.
 





Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1