මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 8


ඩිෂ් එක එසේ ඔබ කැමති විදියකින් සවි කිරීමට ඔබ දැන් තීරණය කර අවසන්. ඊළඟට තිබෙන්නේ ඩිෂ් එක චන්ද්‍රිකාවට එල්ල කිරීමයි. මේ සඳහා ස්මාට් ෆෝන් එකේ උදව්ව අවශ්‍ය වේ. මුලින්ම ඔබේ ඩිෂ් එක පිහිටුවන ස්ථානයේ අක්ෂාංශක හා දේශාංශක හරියටම දැන ගත යුතුය. ෆෝන් එකේ GNSS/GPS පහසුකමින් එය සිදු කර ගත හැකිය. මේ සඳහා ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් සඳහා GPS Status, GPS Test යන ඇප්ද, අයිෆෝන් සඳහා GPS Plan, Toolbox යන ඇප්ද යොදා ගත හැකිය. තවත් ඇප් ඕනෑ තරම් මේ සඳහා ඇත.
 

 

ඉන්පසුව, ඩිෂ් එක සවි කිරීමට යන එම ස්ථානයේ සිට චන්ද්‍රිකාවේ පිහිටීම කෙසේදැයි දැන ගත යුතුය. චන්ද්‍රිකා විස්තරය තුල තිබෙන චන්ද්‍රිකාවේ සාමාන්‍ය දේශාංශක පිහිටීම අපට මෙහිදී ඍජුවම ප්‍රයෝජනවත් නැත (උදාහරණ ලෙස, ඩයලොග් චන්ද්‍රිකාව නැගෙනහිර දේශාංශක 45 තිබේය යන දත්තය ඩිෂ් එක එල්ල කිරීමට අපට එකවර භාවිතා කළ නොහැකිය). ඔබට අවශ්‍ය කරන්නේ ඔබ සිටින ස්ථානයේ සිට බලන විට චන්ද්‍රිකාවේ පිහිටීමයි; එනම් ඔබේ ස්ථානයට සාපේක්ෂව චන්ද්‍රිකාවේ පිහිටුමයි. එම පිහිටුම කෝණ අගයන් දෙකකින් ලබා දෙන අතර මේවා look angles ලෙස හැඳින්වේ. මෙම කෝණ දෙක ඇසිමත් හා එලිවේෂන් ලෙස හැඳින්වේ.

   

 

මෙහි azimuth angle (Az) යනු පොලොවේ උතුරු දිශාවේ සිට ඉහත රූපයේ පෙන්වා දෙන ආකාරයට ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්තට මනින කෝණයයි. එවිට අංශක 0 යනු හරියටම උතුරු දිශාවයි. අංශක 90 ක ඇසිමත් එක යනු හරියටම නැගෙනහිර දිශාවයි. ඇසිමත් කෝණය 180º වන විට, එය හරියටම දකුණු දිශාවයි. එය අංශක 270 වන විට, බටහිර දිශාවයි. අංශක 360 වන විට එය අංශක 0 මත සමපාත වේ; ඒ කියන්නේ 360 යනු උතුරු දිශාවමයි. මෙම ඇසිමත් කෝණය මැන ගැනීමට සාමාන්‍ය මාලිමාවක් (compass) යොදා ගත හැකි වුවත්, ඊට වඩා පහසුවෙන් හා ඉතා නිවැරදිව එය සිදු කර ගැනීමට ස්මාට් ෆෝන් එකක ඇති compass ඇප් එකකින් හැකිය.
 
Elevation angle (El) යනු අනෙක් කෝනයයි. එම කෝණය 0 වන්නේ ඩිෂ් එක හරියටම තිරස්ව තිබුණොත්ය (එනම්, ඩිෂ් එක ක්ෂිතිජය බලාගෙන සිටී). ක්‍රමයෙන් ඩිෂ් එක උඩට හරවගෙන යන විට එලිවේෂන් කෝණ අගය වැඩි වේ. ඩිෂ් එක හරියටම ඉහලට/මුදුනට ඉලක්ක කර තිබෙන විට, එලිවේෂන් එක අංශක 90 වේ. ඒ අනුව, එලිවේෂන් කෝණය හැමවිටම අංශක 0ත් 90ත් අතර අගයකි.
 
එලිවේෂන් එක මැනීමට කවකටු පෙට්ටියේ ඇති සාමාන්‍ය පොඩි කෝනමානයක් (protractor) හෝ ඊට වඩා විශාල කෝණමානයක් යොදා ගත හැකි වුවත්, නැවතත් මෙම කාර්ය ස්මාට් ෆෝන් protractor ඇප් එකකින් කර ගත හැකි නිසා කෝනමාන වැඩක් නැත.
  


 

ඇසිමත් කෝණය ගැන තව දෙයක් කීමට තිබේ. මෙම කෝණයේ අංශක 0 පිහිටන්නේ උතුරු දිශාවට බව මා පැවසුවා. ඇත්තටම එය “සත්‍ය උතුර” (true North) විය යුතුය. එයට හේතුව, සත්‍ය උතුර හා චුම්භක උතුර (magnetic North) යනුවෙන් උතුරුවල් 2ක් ඇත. ඇසිමත් කෝණය සඳහා සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ සත්‍ය උතුරයි. මේ උතුරුවල් දෙකේ වෙනස කුමක්ද?
 
ඔබ දන්නවා පොලොව බඹරයක් සේ තමා වටා කරකැවෙනවා හෙවත් භ්‍රමණය වෙනවා (Earth rotation). එය පැය 24කට හෙවත් එක් දවසකට එක් වටයක් කරකැවෙනවා. මෙම කරකැවීම සිදු වන්නේ තමාගේම භ්‍රමණ අක්ෂය (roational axis) වටාය. මෙන්න මෙම භ්‍රමණ අක්ෂය පොලොවේ උඩු පැත්තෙන් කපාගෙන එලියට එන්නේ කොතැනද, එතැනයි නියම උතුර යනුවෙන් හැඳින්වෙන්නේ. එවිට, පොලොවේ යට කොටසින් එම අක්ෂය පොලොව කපන තැන නියම දකුණ (true south) වේ.
 
 

එලෙසම, ඔබ දන්නවා ඇති පොලොවේ හරි මැද අභ්‍යන්තරයේ තිබෙන්නේ ඉතා අධික උෂ්ණත්වයක් සහිත ලෝදියයි. එහි චුම්භක/කාන්දම් බලයක්ද ඇත. එය හරියට පොලොව මැද ඉතා විශාල කාන්දමක් තිබෙනවා සේ සැලකිය හැකියි. පොලොවේ ඇති මෙම කාන්දම් ගතිය භූචුම්භකත්වය (geomagnetism) ලෙස හැඳින් වෙනවා. මෙම චුම්භකය නිසා, පොලොව අවට විශාල චුම්භක ක්ෂේත්‍රයක් (magnetic field) පවතිනවා (ඇත්තෙන්ම පොලොව මත සියලු ජීවීන් ආරක්ෂිතව සිටින්නේ මෙම භූචුම්භකත්වයට පිං සිදු වන්නටයි; මේ ගැන තවදුරටත් සොයා බලන්න). ඔබ දන්නවා කාන්දමක් ළඟට යකඩ ඇනයක් ගෙන ආ විට එය ඇදලා ගන්නවා (ආකර්ෂණය කර ගන්නවා). ඊට හේතුව එම කාන්දම විසින් ඒ අවට තමන්ගේ බලය (චුම්භක ක්ෂේත්රය) පතුරුවාගෙන සිටිනවා. පොලොවේ චුම්භක ක්ෂේත්රයක් පොලොව මතුපිට සිට කිලෝමීටර් දස දහස් ගණනක් ඈතට (ඉතා දුර්වලව) විහිදෙනවා
 
ඉතිං, පොලොව තුල තිබෙන චුම්භකත්වයේද උතුරක් හා දකුනක් තිබෙනවා (සෑම චුම්භකයකම උතුරු ධ්‍රැවයක් හා දකුණු ධ්‍රැවයක් තිබෙනවානෙ). මෙන්න මෙම චුම්භකත්වයේ එක් ධ්‍රැවයක් පොලොව මතුපිටින් එලියට එන ස්ථානය තමයි චුම්භක උතුර කියන්නේ.
 
ඇත්තටම පොලොව ඇතුලේ තිබෙන ලෝදිය නිරන්තරයෙන්ම සෙමින් සෙමින් කර කැවෙන නිසා චුම්භකත්වයද ඒ සමඟම කැරකැවේ. එනිසා චුම්භක උතුරද සෙමින් සෙමින් නිරන්තරයෙන්ම තමන් සිටිනා ස්ථානය වෙනස් කර ගනී. මේ මොහොත වන විට, එම චුම්භක උතුර තිබෙන්නේ කැනඩාව පැත්තේ ඉහල කොටසක් මතය. ඇත්තෙන්ම භූචුම්භකත්වයේ හැසිරීම සංකීර්ණ වන අතර, ඒ ගැන විසිතුරු විස්තර අන්තර්ජාලයෙන් කියවා දැන ගත හැකිය.
 
සාමාන්‍ය මාලිමාවක් ගත් විට එහි පෙන්වන්නේ නියම උතුර නොව චුම්භක උතුරයි මොකද මාලිමාවේ කටුව කරකැවෙන්නේ පොලොවේ චුම්භක ක්ෂේත්‍රයේ බලපෑමටනෙ. එනිසා, සැටලයිට් එලයින් කිරීමට යෑමේදී සාමාන්‍ය මාලිමාවක් භාවිතා කරන අයකුට යම් චන්ද්‍රිකාවකට අදාල ඇසිමත් කෝණය ලබා ගත් පසු ඊට සත්‍ය උතුර හා චුම්භක උතුර අතර ඇති කෝණ වෙනස (magnetic declination) අමුතුවෙන් එකතු කර ගැනීමට සිදු වෙනවා. භූචුම්භකත්වයේ තිබෙන සංකීර්ණතාව නිසා, පොලොවේ සෑම තැනකටට මැග්නටික් ඩෙක්ලිනේෂන් අගය එක සමානද නොවේ. දළ වශයෙන් ශ්‍රී ලංකාව තුල එම මැග්නටික් ඩෙක්ලිනේෂන් එක අංශක 2ක් පමණ වේ. තවද, චුම්භක උතුර ශ්‍රී ලංකාව තුල සිට බලන විට සෑම වසරකදීම අංශක 0.067කින් නැගෙනහිර පැත්තට ගමන් කරමින්ද සිටී.
 
එහෙත් ස්මාට් ෆෝන් එකක් භාවිතා කරන්නේ නම් ඇප් එකේ සෙටිංස්වලින් බොහෝවිට සකසන්නට හැකියි සත්‍ය උතුරද චුම්භක උතුරද ඔබ යොදා ගන්නේ කියා. සැටලයිට් වැඩේට සත්‍ය උතුර හැමවිටම තෝරා ගන්න. උදාහරණ ලෙස, iphone සඳහා එන compass නම් දිශා සොයන ඇප් එක ගැන බලමු. එහි චුම්භක උතුරු නොව සත්‍ය උතුර දක්වන ලෙස සැකසිය හැකියි අයිෆෝන් එකේ settings වලට ගොස් එම සෙටිංස් පේජ් එක තුල පහලින් දක්නට ලැබෙන Compass යන සෙටිං එක ඕපන් කර  එහි Use True North යන්න එනේබල් කිරීමෙන්. බොහෝ ඇප්වල එම සෙටිං එක සකසන්නට තිබෙන්නේ ඇප් එක තුලම ඇති සෙටිංස්වලිනි.‍
 
ඉතිං, යම් චන්ද්‍රිකාවක් දෙසට ඔබේ ඩිෂ් එක එල්ල කිරීමට හෙවත් “එලයින් කිරීමට” (dish alignment) ඇසිමත්-එලිවේෂන් කෝණ දෙක (ලුක් ඈන්ගල්ස්) අවශ්‍ය වේ. එම කෝණ දෙක පහසුවෙන්ම ගණනය කර ගැනීමට හෝ සොයා ගැනීමට හැකියි. ඒ සඳහා චන්ද්‍රිකාවේ අක්ෂාංශක හා දේශාංශකත් (ඇත්තටම ටීවී සැටලයිට්වල අක්ෂාංශකය හැමවිට 0 නිසා එය අමුතුවෙන් දැනගැනීමට දෙයක් නැත), ඔබ සිටිනා ස්ථානයේ අක්ෂාංශක හා දේශාංශකත් අවශ්‍ය වේ. එම කෝණ ගණනය කරන්නේ පහත දැක්වෙන සූත්‍රයන්ට අනුවයි.
ඇසිමත් කෝණය හා එලිවේෂන් කෝණය සෙවීමට පහත පියවර අනුගමනය කරන්න:
 
 

උදාහරණයක් ලෙස, ඉන්ටෙල්සැට් 38 චන්ද්‍රිකාවේ පිහිටුම 45E වේ. ඔබගේ පිහිටුම 80.024444E, 7.064222N නම් ඇසිමත් කෝණය සොයන්න.
 
a = 80.024444 – 45 = 35.024444º
b = 7.064222º
 
azimuth = 180º + tan-1[tan(35.024444º)/tan(7.064222º)] = 259.97º (දළ වශයෙන් 260º ලෙස ගන්න)
 
ඇසිමත් කෝණය සෙවීමට මයික්‍රොසොෆ්ට් එක්සෙල් ෂීට් එකක සෙල් එකක් තුල පහත ප්‍රකාශය පේස්ට් කරන්න. මෙහි ටෑන් අනුපාත තුල 57න් බෙදා ඇත්තේ අංශකවලින් රේඩියන් නම් ඒකකයට හැරවීම සඳහාය මක්නිසාද යත් එක්සෙල් තුල ටෑන් අනුපාතයන්ට ලබා දිය යුත්තේ අංශක නොව රේඩියන් අගයන් වීමයි. එලෙසම, atan() විසින් ලබා දෙන්නේ රේඩියන් අගයක් නිසා, අපට අවශ්‍ය වන්නේ අංශක අගයක් නිසා, රේඩියන් අංශක කිරීමට 57න් ගුන කර ඇත.
 
=180+ATAN(TAN(35.024444/57)/TAN(7.064222/57))*57  
 
elevation =  tan-1[{cos(35.024444º).cos(7.064222º) – 0.1512} / {1 – cos2(35.024444º ).cos2(7.064222º )}] =  48.6237º  (දළ වශයෙන් 48.6º ලෙස ගන්න)
 
එලිවේෂන් කෝණය ගණනය කිරීමට අවශ්‍ය එක්සෙල් ගනිත ප්‍රකාශය පහත දැක්වේ.
 
=ATAN((COS(35.024444/57)*COS(7.064222/57) - 0.1512)/SQRT(1 -((COS(35.024444/57))^2)*((COS(7.064222/57))^2)))*57
 
ඉහත ගණනය කිරීම සිදු කරන ඇන්ඩ්‍රොයිඩ් හා ඇප්ල් ඇප්ස්ද තිබේ. IPhone සඳහා Dish Align, Satellite Finder යන ඇප් මා භාවිතා කරනවා. එවිට, ඔබට සැටලයිට් ලිස්ට් එකෙන් ඔබට අවශ්‍ය චන්ද්‍රිකාව තේරීමට පමනයි සිදු වන්නේ. ෆෝන් එකේ ඇති GNSS/GPS එකෙන් ඉබේම ඔබේ පිහිටුම සොයා ගෙන ලුක් ඈන්ගල්ස් ගණනය කර දක්වයි.
 
ඊටත් අමතරව, එය සිදු කරන වෙබ් අඩවිද තිබේ. http://www.groundcontrol.com/Satellite_Look_Angle_Calculator.htm යනු එවැනි හොඳ වෙබ්පිටුවකි. එහි සැටලයිට් ලිස්ට් එකෙන් තමන්ට කැමති චන්ද්‍රිකාව තෝරා ගෙන, සර්ච් බොක්ස් එක තුලට “7.064222,80.024444” යන ෆෝමැට් එකෙන් ඔබේ අක්ෂාංශක හා දේශාංශක ඇතුලු කරන්න.
 
ශ්‍රී ලංකාව සමකයට වඩා අංශක 7ක් පමන උඩට වන්නට පිහිටයි. එනිසා, භූ-ස්ථාවර චන්ද්‍රිකා පිහිටි ක්ලාර්ක් බෙල්ට් එක ලංකාවේ දකුණු දිශාවට වන්නට පහලින් පිහිටයි. ලංකාවේ කුමන ප්‍රදේශයක සිට හෝ එබැවින් කුමන චන්ද්‍රිකාව ඇල්ලුවත් ඩිෂ් එක දකුණු දිශාවට බරව පිහිටයි. ඩිෂ් එලයින් කිරීමේදී අපට හමුවන එක් වැදගත් රටාවකි මෙය. 
 
ශ්‍රී ලංකාව පිහිටන්නේ දළ වශයෙන් නැගෙනහිර දේශාංශක 80 දී බැවින්, යම් චන්ද්‍රිකාවක් පිහිටියේ 80E වල නම්, ඔබේ ඩිෂ් ඇන්ටනාව එක එල්ලේම දකුණු දිශාවට යොමු වේ. එහිදී එලිවේෂන් කෝණයද ගත හැකි විශාලම අගය ගනී (අංශක 82ක් පමන). එහෙත් එම අසූවේ දේශාංශකයේ සිට බස්නාහිර හෝ නැගෙනහිර දේශාංශකවල පිහිටි චන්ද්‍රිකා අල්ලන විට (එනම් ක්‍රමයෙන් වමට හෝ දකුනට ඩිෂ් එක යොමු කරන විට), ක්‍රමයෙන් එලිවේෂන් කෝණය අඩු වේ. ඩිෂ් එලයින් කිරීමේදී හමුවන තවත් වැදගත් රටාවක් වනුයේ මෙයයි.
Look angles වලට අමතරව LNB skew යනුවෙන් හැඳින්වෙන තවත් කෝණයක් අපට අවශ්‍ය වේ. දැන් ඒ ගැන බලමු.
 
චන්ද්‍රිකාවක ට්‍රාන්ස්පොන්ඩරයට සම්බන්ද ඇන්ටනාව එක්කෝ වර්ටිකල් නැතහොත් හොරිසොන්ටල් ධ්‍රැවීයතාව පවතින ලෙස සකසයි (circular polarization යොදා නොගන්නේ නම්; සර්ක්‍යුලර් පොලැරිටි හිදි එල්එන්බී ස්කිව් සකස් කිරීමක් නැත). වර්ටිකල් පොලරයිසේෂන් ලෙස එය ඇති විට, අදාල ට්‍රාන්ස්පොන්ඩරයේ ඇන්ටනා කූර පිහිටන්නේ පොලොවේ උතුරු-දකුණු යා කරන රේඛාවක් ඔස්සේය (පහත රූපයේ දුඹුරු පාට දේශාංශකයෙන් හා දුඹුරු පාට තරංගයෙන් පෙන්වන්නේ එයයි). එය හොරිසොන්ටල් පොලරයිසේෂන් ලෙස සකසන විට, ඇන්ටනා කූර පොලොවේ සමකය ඔස්සේ පිහිටයි (නිල් පාට තරංගයෙන් හා අලුපාට සමකයෙන් පෙන්වන්නේ එයයි).
 
 

බොහොම කලාතුරකින් යම් චන්ද්‍රිකාවක මීට වෙනස් ආකාරයකට සම්ප්‍රේෂක ඇන්ටනා කූර සකසා තිබියද හැකිය. ඔබ දන්නවා සංඥා ග්‍රහනය කරන ඇන්ටනා කූරද (එල්එන්බී එක තුල තිබෙන ප්‍රෝබ් එක) සංඥා සම්ප්‍රේෂනය කරන ඇන්ටනා කූරේ ධ්‍රැවීයතාවට සමාන වීම අවශ්‍යයි. එනිසා, චන්ද්‍රිකාවේ ඇන්ටනාව සිරස් නම් (ඒ කියන්නේ එම ඇන්ටනා කූර පිහිටන්නේ පොලොවේ උතුර හා දකුන යා කරන රේඛාව ඔස්සේය), ඔබේ ඩිෂ් එකට සවි කර තිබෙන එල්එන්බී එක ඇතුලේ ඇති ප්‍රෝබ් එකද සිරස් විය යුතුය. 
 
LNB එකක් සාමාන්‍ය (default) පිහිටුම පහත රූපයේ දැක්වෙන ආකාරයට විය යුතුය. ඇත්තටම මෙම වින්‍යාසයට/ආකාරයට සාමාන්‍යයෙන් එල්එන්බී එකක් සකසන්නේ නැති තරම් වේ. ඒ මන්දැයි ඔබට මොහොතකින් අවබෝධ වේවි.
  

 

දීසියේ පිටුපස සිට චන්ද්‍රිකාව දෙස බලා සිටින අයුරින් ඉදිමිනුයි එල්එන්බී එකේ සිරස්/තිරස් ධ්‍රැවීයතාව සොයන්නේ. ඉහත රූපයේ පෙනෙන ආකාරයට ඔරලෝසුවේ 9 කට්ට සමග සමපාත වන පරිදි එල්එන්බී එකෙන් පිටවන කේබලය පිහිටිය යුතුයි සිරස් ධ්‍රැවීයතාව සඳහා. දැන් එන යුනිවර්සල් එල්එන්බීවල සිරස් හා තිරස් ප්‍රෝබ් 2ක් තිබෙන නිසා, ඉහත රූපයේ ආකාරයට සිරස් ධ්‍රැවීයතාවට එල්එන්බී එක සෙට් කරන විට, ඉන් එක ප්‍රෝබ් එකක් සිරස්වද, එවිට අනෙක් ප්‍රෝබ් එක ඉබේම තිරස් ධ්‍රැවීයතාවටද සෙට් වේ.
 
තවද, පහත රූපයේ දිස්වන ආකාරයට එල්එන්බී කේබලය ඔරලෝසුවේ 9 ස්ථානය හා සමපාත වන ලෙස තබනවා වෙනුවට හරියටම අංශක 180කින් (එනම්, ඔරලෝසුවේ 3 ස්ථානයේ) තැබූ විටත් කිසිදු වෙනසක් සිදු නොවේ; තවමත් එය සිරස් ධ්‍රැවීයතාවම තමයි. කෙසේ වෙතත්, හරි දේ හරි විදියටම කිරීම සුදුසු නිසා, 9 ස්ථානය සිරස් ලෙස සැලකීම සුදුසුය.
 
 

තවද, සිරස් ධ්‍රැවීයතාවක් සහිත ටීපී එකකට අපගේ ඩිෂ් එකේ සිරස් ධ්‍රැවීයතාව වෙනුවට පහත රූපයේ ආකාරයට තිරස් ධ්‍රැවීයතාවට එල්එන්බී එක සෙට් කළත් ලොකු අවුලක් නැත මොකද මෙවිට එල්එන්බීය තුල තිබෙන ප්‍රෝබ් දෙකෙන් එකක් හැමවිටම ඉබේම සිරස් ධ්‍රැවීයතාවට සෙට් වනු ඇත. එහෙත් ප්‍රායෝගිකව ගත් කළ, සිරස් ධ්‍රැවීයතාවට තිරස් ධ්‍රැවීයතාව සෙට් කිරීමේ සුලු දෝෂයක් ඇත. එය තේරුම් ගත යුත්තේ මෙසේය.
   




රිසීවරයෙන් ටීපී ස්කෑන්/ටියුන් කරන විට, එහි වැදගත් පරාමිතියක් වූයේ පොලැරිටි (ධ්‍රැවීයතාව) බව පෙර අප දැක්කා. පෙරත් විස්තර කළ පරිදි රිසීවරයට හැකියාව තිබෙනවා වෙන වෙනම සිරස් ටීපී හා තිරස් ටීපී සඳහා එල්එන්බී එකේ ප්‍රෝබ් දෙකෙන් එකක් සුදුසු පරිදි තෝරා ගන්න. ඉතිං, රිසීවරයෙන් මේ මොහොතේ බලන්නේ තිරස් පොලැරිටි එකක් සහිත ටීපී එකක චැනලයක් නම්, රිසීවරය විසින් ස්වයංක්‍රියවම තිරස් පොලැරිටි ප්‍රෝබ් එක තෝරා ගන්නවා; එලෙසම, ඊ ළඟ මොහොතේ ඔබ බලන්නේ සිරස් පොලැරිටි එකක් සහිත ටීපී එකක චැනලයක් නම්, රිසීවරය විසින් ඊට ගැලපෙන සිරස් ප්‍රෝබ් එක තෝරා ගන්නවා. මෙය සිදු කරන ආකාරය ඉතා සරල වන අතර එය පහත විස්තර කරන ආකාරයට සිදු වේ.
 
ඔබ දන්නවා එල්එන්බී එකට විදුලි බලය සපයන්නේ සැට් රිසීවරය විසිනි (කේබලය හරහා). රිසීවරයට හැකියාව තිබෙනවා වෝල්ටියතා මට්ටම් දෙකකින් (13V හා 18V) එම විදුලි බලය සපයන්න. 13V ක විදුලියක් සපයන විට, සිරස් ප්‍රෝබ් එක තෝරා ගැනෙන අතර, තිරස් ප්‍රෝබ් එක තෝරා ගැනීමට අවශ්‍ය විට 18V ක විදුලියක් සැපයේ. ක්‍රමය හරිම සරලයි නේද?
 
ඉතිං, යම් චැනලයක් ඔබ බලන විට, රිසීවරය විසින් එම චැනලය අඩංගු ටීපී එකට ටියුන් වේ. රිසීවරය සතුව තිබෙනවා ඒ ඒ ටීපීවල පොලැරිටි ගැන විස්තර (එම විස්තර බ්ලයින්ඩ් ස්කෑන් විසින් හෝ අතින්/මැනුවලි රිසීවරයට ඇතුලු වී තිබේ). එම ටීපී එක සිරස් නම්, රිසීවරයෙන් එල්එන්බී එකට යැවෙන්නේ වෝල්ට් 13ක විදුලියකි; මෙවිට සිරස් ප්‍රෝබ් එක තේරේ. ටීපී ‍ එකේ පොලැරිටි එක තිරස් නම්, වෝල්ට් 18ක විදුලියක් සැපයේ; මෙමඟින් තිරස් ප්‍රෝබ් එක තේරේ.
 
මොහොතකට පෙර පැවසූ පරිදි සිරස් තිරස් මාරු වීම ක්‍රියාකාරිත්වයට බාධාවක් නොවුණත් එහි සුලු දෝෂයක් තිබෙනවා. එනම්, ටීපී එක ඇත්තටම සිරස් වුවත්, රිසීවරයේ ටීපී විස්තරය තුල එය තිරස් ලෙස සටහන් වේවි. එනම් සිරස හා තිරස එකිනෙකට ලේබල් මාරු කරගෙන තිබේ. එය නිකං කවුරු හරි වැරදීමකින් ඔබට ඔබේ යාලුවාගේ නමද, ඔබේ යාලුවාට ඔබේ නමද කියා කතා කරන්නා සේය. ඒ ගැන එච්චරයි.
 
කෙසේ වෙතත්, එල්එන්බී සවි කිරීමේ වෙනත් විශාල ගැටලුවක් ඇත. එනම්, අභ්‍යවකාශයේ රැඳි චන්ද්‍රිකාව මත සිට හිඳ බලද්දී (උතුර-දකුණු ධ්‍රැව යා කරන රේඛාව ඔස්සේ) වර්ටිකල් හෝ (නැගෙනහිර-බටහිර යා කරන සමකය ඔස්සේ) හොරිසොන්ටල් ලෙස ටීපී එකේ ඇන්ටනා කූර දර්ශනය වෙමින් පැවතියත්, පොලොවේ පිහිටි සංඥා ග්‍රහනය කරන ඇන්ටනාවට එම ටීපී එකේ ඇන්ටනා කූර සිරස්ව හෝ තිරස්ව පිහිටියා සේ දර්ශනය නොවේ (නොදැනේ). 
 
ඇත්තටම යම් චන්ද්‍රිකාවක පිහිටි ටීපී එකක සිරස් හෝ තිරස් ධ්‍රැවීයතාව එලෙසම සිරස් හෝ තිරස් ලෙස දකින්නේ එම චන්ද්‍රිකාවේ දේශාංශක අගයට සමාන පොලොවේ දේශාංශකය මත පිහිටි ඩිෂ් එකකට පමනි. එනිසා ඔබ සිටින ස්ථානයට බොහෝවිට එවැනි චන්ද්‍රිකා පවතිනු ඇත්තේ එකක් පමනි. 
 
එනිසා, පොලොවේ තිබෙන අපේ ඩිෂ් එකේ එල්එන්බී එක ඉහත විස්තර කර තිබෙන විදියට හරියටම සිරස් හෝ තිරස් ලෙස සකසා තැබිය නොහැකිය. ශ්‍රී ලංකාව පිහිටි දේශාංශකය වන නැගෙනහිර 80 අගයට සමාන 80E පිහිටුමේ රඳවා තිබෙන චන්ද්‍රිකාවකට හැර, හැමවිටම අන් සියලු චන්ද්‍රිකාවකම සිරස් හෝ තිරස් ටීපී එක පෙනෙන්නේ තරමක් (වාමාවර්තව හෝ දක්ෂිනාවර්තව) කැරකී තිබෙන්නාස් මෙනි. ඒ කියන්නේ පහත ආකාරවලට එල්එන්බී තැබිය නොහැකිය.




එනිසා උදාහරණයක් ලෙස, චන්ද්‍රිකාවේ ටීපී ඇන්ටනා කූර සිරස් නම් (ඒ කියන්නේ පොලොවේ උතුර-දකුන යා කරන රේඛාව ඔස්සේ තබන විට), ඔබේ එල්එන්බී එකේ ප්‍රෝබ් එක හරියටම සිරස්ව (ඉහත තෙවන හෝ සිව්වැනි රූපයේ මෙන්) තැබිය නොහැකිය. මෙනිසා හැමවිටම වාගේ ඔබේ එල්එන්බී එක වාමාවර්ථව හෝ දක්ෂීනාවර්තව යම් කෝණයක් කරකැවිය යුතුය. මෙම කරකැවිය යුතු කෝනය LNB skew හෙවත් polarization ලෙස හැඳින්වේ. එසේ කරකැවීමෙන් සිදු වන්නේ ටීපී එකේ ඇන්ටනා කූර සමඟ ඩිෂ් එකේ ඇන්ටනා කූර එක එල්ලේ තිබෙන සේ (align) සැකසීමයි.
 


එල්එන්බී ස්කිව් කෝණය චන්ද්‍රිකාවට සාපේක්ෂව ඔබේ පිහිටීම අනුව වෙනස් වන අතර, එය පහත සූත්‍රයෙන් ගණනය කළ හැකිය.




ඉතිං, ඉහත සූත්‍රය ඇසුරින් ඔබට ස්කිව් එක ගණනය කර ගත හැකිය. එසේත් නැතිනම් ලුක් ඈන්ගල් ගණනය කර දෙන වෙබ්අඩවි හා ඇප්වලින් එල්එන්බී ස්කිව් අගයද ලබා ගත හැකියි. මීට පෙර ලුක් ඈන්ගල් ගණනය කිරීමට යොදා ගත් දත්තම භාවිතා කර එම ස්කිව් අගය ගණනය කර බලමු අභ්‍යාසයක් විදියට. මෙම සූත්‍රයට කෝණ අගයන් ආදේශ කරන විට රේඩියන් ඒකකයෙන් ලබා දිය යුතුය. එනිසයි අංශකවලින් දී තිබෙන අගයන් රේඩියන් බවට පත් කර ගැනීමට 57න් ඒ ඒ කෝණ අගයන් බෙදන්නේ. එලෙස සුලු කර ලැබෙන අවසන් පිලිතුර රේඩියන් ඒකකයෙන් වන අතර, එය අංශක බවට පත් කර ගැනීමට අවසානයේදී 57න් ගුණ කර ඇත. Microsoft Excel sheet එකක =ATAN((SIN((80.0244/57)-(45/57))/SIN(7.0642/57)))*57 යන්න සෙල් එකක පේස්ට් කර මෙම අගය පහසුවෙන්ම සෙවිය හැකිය.
 
LNB Skew = tan-1[sin{ (80.024444/57) – (45/57)}/sin(7.064222/57)] = 1.36rad x 57 = 77.5º
 
ඉහත ලැබෙන අගය + අගයක් නම්, එල්එන්බී එක කරකැවිය යුත්තේ ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්තටයි; එය - අගයක් නම් අනෙක් පසට කරකවන්න. මෙහිදී ඔරලෝසුවේ කටු කර කැවෙන පැත්ත සොයන්නේ ඔබ එල්එන්බී හා දීසිය යන දෙකටම එකවර පිටුපසින් චන්ද්‍රිකාව දෙස බලාගෙන සිටින ලෙසයි. නිකමට හෝ එල්එන්බී එක පැත්තේ පිටුපස්සෙන් (එනම් චන්ද්‍රිකාවට පිටුපා) සිටගෙන සිටියොත් එවිට ඔරලෝසුවේ කටු කරකැවෙන පැත්ත එකිනෙකට මාරු වේ.
 
ස්කිව් කෝණයේද යම් රටාවක් ඇත. එනම්, ඔබ සිටින දේශාංශකයෙන් බටහිරට වන්න පිහිටි චන්ද්‍රිකාවක් සඳහා ලැබෙන ස්කිව් කෝණ අගය ධනද, ඔබ සිටින දේශාංශයෙන් නැගෙනහිරට වන්නට පිහිටි චන්ද්‍රිකාවක් සඳහා ලැබෙන ස්කිව් කෝණ අගය ඍනද වේ.


අප උදාහරණය සඳහා භාවිතා කරන්නේ ඩයලොග්ලාගේ චන්ද්‍රිකාව බැවින්, එම චන්ද්‍රිකාවේ ලුක් ඈන්ගල්ස් ඉහත ආකාරයට ඔබ විසින්ම ගණනය කිරීමෙන් හෝ ඇප්/වෙබ්අඩවි මාර්ගයෙන් හෝ ලබා ගන්න. ඩයලොග් චන්ද්‍රිකාව සඳහා, ලංකාවේ කොතැනත් දළ වශයෙන් ඇසිමත් කෝණය අංශක 260ක් පමනද, එලිවේෂන් කෝණය අංශක 48ක් පමනද වේ (ලංකාව කුඩා රටක් නිසා). LNB Skew අගය +77º ක් පමණ වේ. පහත දැක්වෙන්නේ groundcontrol.com නම් වෙබ්අඩවියෙන් මාගේ නිවසේ පිහිටීමට ඩයලොග් චන්ද්‍රිකාවේ ලුක් ඈන්ගල්ස් හා ස්කිව් අගයන්ය.
 





එම දේශාංශකයේම පිහිටි චන්ද්‍රිකාවක එම විස්තර මාගේ ෆෝන් ඇප් එකෙන් දකවා තිබෙන හැටි පහත රූපයේ ඇත (මෙයත් මාගේ නිවසට අදාලවයි). ඉහත හා පහල රූප දෙකෙහිම ඇසිමත් කෝණය සත්‍ය උතුර හා චුම්භක උතුර යන දෙක සඳහාම පෙන්වා තිබෙන අයුරු බලන්න.

  
 

Comments

  1. උත්සහ කරලා බලන්න ඕනේ වැඩේ කරන්න

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1