කොළඹ කොටස් වෙළඳපොල (CSE) - 3


ආයෝජනයේ විවිධත්වය
කොටස් වෙළඳපොලක විවිධ සමාජ දේශපාලනික ආර්ථික හා පෞද්ගලික කාරණා මත එහි ලැයිස්තුගත සමාගම්වල කොටස්වල මිල නිරන්තරයෙන්ම ඉහල පහල යන බව ඔබ දැන් දන්නවා. එකම සමාගමක වුවද එහි කොටස් විකිනෙන්නේ එකම මිලට නොවේ. උදාහරණ ලෙස, ඔබ සතුව x නම් සමාගමේ කොටස් 1000ක් පවතී නම්, ඔබට ඉන් කොටස් 100ක් එක් මිලකටද, තවත් කොටස් 200ක් තවත් මිලකටද, ඉතිරි කොටස් 700 විකුනන්නේ නැතිවද තබා ගෙන සිටිය හැකිය.
 
කොටස් වෙළඳපොලක විවිධාකාරයේ ක්ෂේත්‍රවල සමාගම් පවතී. බැංකු, හෝටල්, වැවිලි වතු, විවිධ බඩු නිෂ්පාදනය කරන ආයතන ආදි වශයෙන් ඒවා විවිධ වේ. ඔබ සැලකිය යුතු මුදලක් කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්නට සිතනවා නම්, සාමාන්‍යයෙන් දෙනු ලබන උපදෙස නම්, ඔබේ සියලු මුදල් එක් සමාගමක ආයෝජනය කරන්න එපා කියලයි. ඊට හේතුව ඉතා පැහැදිලියි - එනම්, යම්කිසි හේතුවක් නිසා එම සමාගම පාඩු ලබන්නට වූවොත් ඔබට කිසිදු ප්‍රතිලාභයක් නොලැබී යන්නට පුලුවන්.
 
ඇත්තටම, ඉහත සිද්ධාන්තය ඊටත් එහාට ගොස් මෙසේද කියයි. එනම්, ඔබේ මුදල් එකම ක්ෂේත්‍රයකට අයත් සමාගම්වල පමනක් යොදන්නට එපා කියාය. උදාහරණයක් වශයෙන්, ඔබේ සියලු මුදල් සංචාරක ක්ෂේත්‍රයට අදාල සමාගම්වල පමනක් යොදන්නට එපා මක්නිසාද යත් යම් කිසි සමාජ-දේශපාලන-ආර්ථික හේතු නිසා, ඒ ඒ කාලවලදී එක් එක් ක්ෂේත්‍රයන් පසුබෑමට ලක් විය හැකියි. ඉතිං, එවැනි කාලයකදී ඔබට එලෙස පසුබෑමකට ලක්ව ඇති ක්ෂේත්‍රයකට අයත් සමාගම් දෙක තුනක ආයෝජනය කර තිබුණොත්, එම ආයතන සියල්ලම පසුබෑමට ලක් වන නිසා, ඔබට ලැබෙන ප්‍රතිලාභ ඉතා අවම වේවි.
 
ඉතිං, ඔබගේ මුදල් පරිස්සමින් ආයෝජනය කළ යුතු බව පෙනෙනවා නේද? එකම ක්ෂේත්‍රයක නොවන විවිධ ක්ෂේත්‍රවල විවිධ සමාගම්වල එම මුදල් ආයෝජනය කරන්න. එහිදී සමහරවිට ඔබට තරමක පාඩුවක් වුවද තිබෙන්නට පුලුවන් මොකද එම අවස්ථාවේදී ඉතා හොඳින් ක්‍රියාත්මකවන සමාගමක සියලු මුදල් ආයෝජනය කළා නම් ඉහලම ප්‍රතිලාභය ලැබිය හැකි වුවත්, ඔබ එසේ නොකර සමාගම් කිහිපයකම ආයෝජනය කරන නිසා. එහෙත් ප්‍රතිලාභය උපරිම වන සෑම තැනම අවදානමද උපරිම වන බව දැන පරිස්සමින් විනයකින් යුතුව ආයෝජනය කළ යුතු බව තේරුම්ගත යුතුය.
 
ඇත්තටම, ඉහත සිද්ධාන්තය කොටස් වෙළඳපොලෙන් ඔබ්බටද යයි. එනම්, ඔබ සතු සියලු මුදල් තනිකරම කොටස් වෙළඳපොලේ පමනක් ආයෝජනය නොකළ යුතුය. කොටස් වෙළඳපොලද සමස්ථයක් වශයෙන් රටේ යම් යම් කාලවලදී කඩා වැටේ. එනිසා, ඔබ සතු යම් මුදලක් විශ්වාසනීය බැංකුවල තැන්පත් කළ යුතුය. අවශ්‍ය නම්, ඉඩකඩම්, රන් භාණ්ඩ වැනි දේ මිල දී ගත හැකිය. වෙනත් ව්‍යාපාරවල ආයෝජනය කළ හැකිය. මෙලෙස තම මුදල් විවිධ තැන්වල තිබීමෙන් එකක් කඩා වැටුණත්, තවත් ඒවා ශක්තිමත්ව පවතීවි.
 

කොටස් වෙළඳපොලේ දර්ශක
දර්ශකයක් යනු යමක ක්‍රියාකාරිත්වය පෙන්වන මිනුමකි. වාහනයක වේගය දක්වන වේගමානයෙන්ද පෙන්වන්නේ දර්ශකයකි. එලෙසම කොටස් වෙළඳපොල ක්‍රියාකාරිත්වයද පෙන්නුම් කිරීමට දර්ශක ඇත. කොළඹ කොටස් වෙළඳපොලේද එවැනි දර්ශක කිහිපයක් ඇති අතර, සමස්ථ කොටස් මිල දර්ශකය (All Share Price Index – ASPI) හා S&P LK20 යනු ප්‍රධානතම දර්ශක දෙකයි. ඔබට මෙම දර්ශක ගැන එතරම් වැටහීමක් නැතත්, එම දර්ශක අගයන් ඉහල යන විට කොටස් වෙළඳපොල හොඳින් ක්‍රියාත්මක වන බවත්, එම දර්ශක අගයන් පහල යන විට වෙළඳපොල ක්‍රියාකාරිත්වය අඩු වී ඇති බවත් මතක තබා ගන්න.
 
මින් ASPI යනු කොටස් වෙළඳපොලේ සිටින සියලුම සමාගම් පිළිබඳ දර්ශකයකි. එනම්, මෙම දර්ශකය ගණනය කරන විට, කොටස් වෙළඳපොලේ සිටින සියලුම සමාගම්වල ක්‍රියාකාරිත්වයන් සැලකිල්ලට බඳුන් කෙරේ.
 
එහෙත් කොටස් වෙළඳපොලක් තුල, සෑම සමාගමක්ම එකාකාරව ක්‍රියාකාරි නොවේ. සමහර සමාගම්වල ක්‍රියාකාරිත්වයේ බලපෑම කොටස් වෙළඳපොලට දැඩිව දැනේ. තෝරාගත් “බලවත්” සමාගම් 20ක හැසිරීම ගැන පමණක් දක්වන දර්ශකය තමයි Standard & Poor’s Sri Lanka 20 (S&P LK20) කියන්නේ. විවිධ සාධක ගණනාවක් සැලකිල්ලට ගෙන මෙම “බලවත්” සමාගම් 20 කලින් කලට තෝරා ගැනේ.
 
මෙම දර්ශක දෙකම එකට වැඩි වන්නට හෝ අඩු වන්නට අවශ්‍ය නැත. එක් දර්ශකයක් ඉහල යන අතරේ අනෙක් දර්ශකය පහල වුවද යා හැකිය. කොටස් වෙළඳපොල ගනුදෙනු සිදු වී දිනය අවසානයේදී මෙම දර්ශක අගයන් මාධ්‍ය ඔස්සේද ප්‍රචාරය කරනු ඔබ දැක ඇති.
 
යම් දිනයක් තුල කොටස් වෙළඳපොල තුල සමහර සමාගම්වල කොටස්වල අගයන් සමස්ථයක් වශයෙන් ඉහල ගොස් තිබිය හැකිය. තවත් සමහර සමාගම්වල කොටස් සමස්ථයක් ලෙස පහල ගොස් තිබියද හැකිය. තවත් සමාගම්වල කොටස් එකක්වත් එදින තුල හුවමාරු නොවී තිබීමටද හැකිය. ඉතිං, යම් දිනක වැඩිම “බරකින්” කොටස් පහල ගිය සමාගම් top losers ලෙසද, වැඩිම “බරකින්” කොටස්වල අගය ඉහල ගිය සමාගම් top gainers ලෙසද හැඳින්වේ.

 
Market Capitalization
යම් සමාගමක් කොටස් 1000 ක් කොටස් වෙළඳපොලට එක කොටසක් රුපියල් 100 ගණනයේ පවතිනවා යැයි සිතමු (යම් දිනක). ඒ කියන්නේ එම දිනය තුල එම සමාගමේ කොටස් වෙළඳපොල තුල රුපියල් 1000 x 100 = 100,000 ක වටිනාකමක් සහිත කොටස් ප්‍රමාණයක් තිබෙනවා නේද? යම් මොහොතක කොටස් වෙළඳපොල තුල යම් සමාගමක තිබෙන කොටස්වල මුලු වටිනාකම තමයි වෙළඳපොල ප්‍රාග්ධනීකරණය (market capitalization) කියන්නේ.
 
ඇත්තටම ඉහත උදාහරණය ඉතාම සරල එකකි. සාමාන්‍යයෙන් යම් මොහොතක් ගත් විට, යම් සමාගමක සියලු කොටස් එම උදාහරණයේ දක්වා ඇති පරිදි එකම මිලට නොවේ ගනුදෙනු වී පවතිනු ඇත්තේ. එවිට, එම සමාගමේ ප්‍රාග්ධනීකරනය සෙවීමට ඒ එක් එක් කොටස්වල ඒ ඒ මිලෙන් වැඩි කර, එම අගයන් සියල්ල එකතු කළ යුතු වෙනවා.
 
ඉහත ක්‍රමයට කොටස් වෙළඳපොල තුල තිබෙන සියලු ලැයිස්තුගත සමාගම්වල වෙළඳපොල ප්‍රාග්ධනීකරණය වෙන වෙනම ගණනය කර, ඒ සියලු අගයන් එකට එකතු කළ විට, සමස්ථ කොටස් වෙළඳපොලෙහිම වෙළඳපොල ප්‍රාග්ධනීකරණය ලැබෙනවා. මා මෙය ලියන මොහොතේ සමස්ථ කොටස් වෙළඳපොලෙහිම ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 2893කි. එම අගය දිනෙන් දින වෙනස් වේ (කොටස්වල මිල නිතරම වෙනස් වෙන නිසා). කොටස් වෙළඳපොල කොතරම් විශාලද යන්න මෙම අගයෙන් සෙවිය  හැකිය. ලෝකයේ තිබෙන විවිධ කොටස් වෙළඳපොලවල් සංසන්දනය කිරීමට මෙම අගය යොදා ගත හැකිය.

 
Turnover
යම් සමාගමක යම් දිනක ගනුදෙනු වූ කොටස්වල සමස්ථ වටිනාකම එදින එම සමාගමේ පිරිවැටුම (turnover) ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස, යම් සමාගමක කොටස් 1000ක් කොටස් වෙළඳපොල තිබෙනවා යැයි සිතමු. එම කොටස් අතුරින් අද දින කොටස් 100ක් රුපියල් 10 ගණනයේද, තවත් කොටස් 200ක් රුපියල් 11 ගණනයේද ගනුදෙනු වූවා යැයි සිතමු. එවිට, අද දින (100 x 10) + (200 x 11) = 1000 + 2200 = රුපියල් 3200ක පිරිවැටුමක් එම සමාගමට ඇත.
 
එලෙස, යම් දිනක් තුල කොටස් වෙළඳපොල තුල ගනුදෙනු වූ කොටස් සියල්ලේම එකතුව ගත් විට එදින කොටස් වෙළඳපොලේ පිරිවැටුම ලැබේ. උදාහරණයක් ලෙස, අද දින කොටස් වෙළඳපොලේ පිරිවැටුම රුපියල් 633,654,728 ක් ලෙස සටහන් වී තිබේ.
 
කොටස් වෙළඳපොලක් තුල යම් දිනක වැඩි වැඩියෙන් කොටස් ගනුදෙනු වේ නම් එය හොඳින් ක්‍රියාකාරී කොටස් වෙළඳපොලක ලක්ෂණයකි. බොහෝ දෙනාගේ උනන්දුව එතැන පවතී.


ලංසු තැබීම (Bidding)
ඔබට යම් සමාගමක කොටස් අවශ්‍ය යැයි සිතමු (ඒ කියන්නේ ඔබ දැන් ගැනුම්කරුවෙක්/අයෝජකයෙක්). එවිට, එම සමාගමෙන් අච්චර කොටස් ගණනක් කොටසක වටිනාකම මෙච්චර මුදලකට ගැනීමට තමන් කැමති යැයි කොටස් වෙළඳපොලට තැරැව්කරුවකු හරහා දැන්විය යුතුය. ඇත්තටම මෙය ප්‍රායෝගිකව සිදු වන්නේ ඔබ එම උපදෙස ඔබගේ තැරැව්කරුට දැන්වීම මඟිනි. එය දුරකතනයෙන් හෝ තැරැව්කරු සිටින තැනට ගොස් දැනුම් දිය හැකියි. අන්තර්ජාල පහසුකම් තිබේ නම්, තැරැව්කරුට දන්වනවා වෙනුවට කෙලින්ම ඔබ ඔන්ලයින් ක්‍රමයෙන් පරිගනකයේ සිට එම උපදෙස කොටස් වෙළඳපොලට දැන්විය හැකියි. ඔබ එලෙස කොටස් ගැනීමට කැමැත්ත පළ කරපු වටිනාකම bidding price ලෙස හැඳින්වේ.
 
ඔබ එලෙස ලංසු තබන්නාක් සේම, තවත් බොහෝ දෙනෙකු සමහරවිට විවිධ මිල ගණන්වලට ඔබ ඉල්ලන කොටස්වලටම ලංසු තබා තිබෙන්නට හැකියි. එතැන තරගයක් පවතී. එනිසා, ඔබ ඉල්ලූ කොටස් ප්‍රමාණය ඔබට ලැබෙනවාමයි කියා සහතිකයක් නැත. සමහරවිට එම කොටස් තිබෙන කිසිවෙකු කොටස් කිසිවක් විකුනන්නේ නැතිව සිටීමට හැකියි. සමහරවිටක, එම කොටස් විකුණන අය සිටියත් ඔබට වඩා වැඩි මිලකට එම කොටස් ඉල්ලා සිටින අය සිටිත් නම්, ඔබට ලැබීමට පෙර වැඩිම මුදලට ඉල්ලා තිබෙන අයට එම කොටස් විකිනේ.
 
කොටස් වෙළඳපොලේ ගනුදෙනු සියල්ල සිදු වන්නේ පරිගනක ආශ්‍රයෙනි. එය සකස් කර ඇත්තේ කිසිවෙකුට හොර කරන්නට බැරි විදියටය. එය ස්වයංක්‍රියව සිදු වේ. හැමවිටම වැඩිම මිලට ඉල්ලන අයට තමයි කොටස් ස්වයංක්‍රියව විකිනෙන්නේ.
 
සමහරවිට මෙසෙත් සිදු වේ. එනම්, ඔබට වඩා ඉහල අගයන්ට ලංසු තබා ඇති අයට කොටස් ඉබේම විකිනී, තවත් කොටස් ඉතිරි වේ නම් හා ඔබ ඉල්ලූ මුදලටද කොටස් ඔබට ලැබේවි. ඔබට අවශ්‍ය කොටස් ගණන විකිනීමෙන් පසුව, එම කොටස් තවත් විකිනීමට ඇත් නම්, ඔබගේ ලංසුවට වඩා අඩු මුදලටත් කොටස් විකිනේවි. මෙසේත් සිදු වේ. ඔබ යම් මුදලකට කොටස් ප්‍රමාණයක් ඉල්ලා තිබුණත්, එම මුදලට ඔබ ඉල්ලා ඇති කොටස් ගණනට වඩා අඩු කොටස් ගණනක් නම් තිබෙන්නේ, ඔබ ඉල්ලූ කොටස් ගණනට වඩා අඩු කොටස් ගණනක් තමයි ඉබේම මිලදී ගැනෙන්නේ (උදාහරණයක් ලෙස, ඔබ කොටස් 500ක් ඉල්ලුවත්, ලැබෙන්නේ 200කි).
 
ඔබ යම් මිලට ගැනීමට යෑමේදී එම කොටස්වලට මිලක් නියම කරන්නා සේම, කොටස් සතු අයත් තම කොටස් විකිනීමට යෑමේදී තමන් අච්චර කොටස් ගණනක් මෙච්චර මුදලකට විකිනීමට කැමැති යැයි කොටස් වෙළඳපොලට දන්වයි. මෙලෙස විකුනුම්කරු විසින් ඉල්ලා සිටින කොටසක වටිනාකම asking price යැයි කියනවා. විකුනුම්කරුත් එය සිදු කරන්නේ කොටස් මිලට ගැනීමේදී ගැනුම්කරු අනුගමනය කළ ක්‍රමයමයි. එනම්, තමන්ගේ තැරැව්කරුට දැන්වීමෙන් හෝ අන්තර්ජාල/ඔන්ලයින් ක්‍රමයෙනි.
හැමවිටම කොටස් වෙළඳපොලේ මං පෙර කියූ පරිගනක පද්ධතිය විසින් කොටස් විකුනන්නේ විකුනුම්කරු ඉල්ලා සිටින මිලට වඩා වැඩි මිලක් ලංසු තබා තිබෙන විට පමනි. එහිත් වැඩිම ලංසුවේ සිටයි විකිනෙන්නේ (පෙර විස්තර කළ සේ).

 
ගනුදෙනු සිදු කිරීම (trading)
කොටස් වෙළඳපොල පිළිබඳ හොඳ දැනුමක් ලබා ගත් පසු, ඔබ සතු මුදල්වලින් කොටසක් (සියල්ලම එපා) කොටස් වෙළඳපොල තුල ආයෝජනය කිරීමට ඔබට සිතී, විස්තර කර ඇති පරිදි සුදුසු තැරැව්කරුවකු හරහා ඔබ කොටස් වෙළඳපොල තුල ලියාපදිංචි වී, ඔබට දැන් කොටස් වෙළඳ පොළ තුල ක්‍රියාකරුවකු විය  හැකිය. අත්දැකීම ලැබීමට ඔබ මුලින්ම කුඩා මුදලක් ආයෝජනය කරන්න ටික කලක් යන තුරු (රුපියල් දෙතුන් දහක් වුණත් කමක් නැහැ).
 
ඔබ කොටස් මිලට ගැනීමේදී එම මුදල් ඔබ තැරැව්කරුට ලබා දිය යුතුයි. සාමාන්‍යයෙන් ඔවුන් ඔබට බැංකු ගිනුම් අංකයක් ලබා දෙන අතර, එම බැංකු ගිනුමට ඔබ යොදවන්නට යන මුදල බැර කළ යුතුයි. ඉන්පසු, පෙර කී පරිදි, එම මුදල් යම් යම් කොටස්වල ආයෝජනය කරන්නට උපදෙස් දෙන්න. සමහරවිට, ඔබට දැනුමක් ඇත් නම්, අහවල් අහවල් සමාගම්වල කොටස් ගන්න යැයි කිව හැකිය. දැනුමක් නැතිනම්, වඩා හොඳම තැන්වලට එම මුදල් යොදවන්න යැයිද තැරැව්කරුට උපදෙස් දිය හැකියි.
 
ඔබ සතු කොටස් විකුණන විට ඔබට එම මුදල් ලැබෙන්නේද තැරැව්කරු විසින් ලබා දෙන වෙක් එකකිනි. ඉතිං, ඔබ එම චෙක් එක අරං බැංකුවට ගොස් ඔබගේ ගිනුමට බැර කර ගත හැකිය. ඊට අමතරව, තැරැව්කරුට උපදෙස් දිය හැකියි ඔබගේ බැංකු ගිනුමට එම මුදල් බැර කරන ලෙසත්.
 
සමහර තැරැව්කරුවන් ඔන්ලයින් පහසුකම ලබා දේ. එමඟින් ඔබට හැකියි නිවසේ සිටම ඔබේ පරිගනකයේ ස්ථාපනය කර ගන්නා විශේෂිත පරිගනක වැඩසටහනකින් (සොෆ්ට්වෙයාර් එකකින්) කොටස් ඔබට කැමති කැමති විදියට මිලට ගැනීමට හා විකිනීමට. එම සොෆ්ට්වෙයාර් එක මඟින් ඔබට ඒ ඒ වෙලාවේ කොටස් වෙළඳපොලේ පවතින තත්වයන් සජීවීව දැක ගත හැකියි (හරියටම කොටස් වෙළඳපොල තුලට ගියා වගේ). මේ සඳහා හොඳ බ්‍රෝඩ්බෑන්ඩ් අන්තර්ජාල පහසුකමක් අවශ්‍ය වේ. මෙම පසුකම ලබා ගැනීමේදී ඔබට යූසර්නේම් හා පාස්වර්ඩ් එකක් ලැබෙන අතර, එය පරිස්සම්කර ගත යුතුය. එය තිබෙන ඕනෑම කෙනෙකුට ඔබේ කොටස් ඔබ දන්නේ නැතිවම විකුණා දැමීමට හෝ කොටස් මිලට ගැනීමට හැකියාව ලැබේ. එය භයානක තත්වයකි.
 
ඔබ යම් යම් සමාගම්වල කොටස් මිලට ගෙන ඇති නම්, එම සමාගම්වල වාර්ෂික හා විශේෂිත වාර්තා තැපෑලෙන් ලැබේ (එලෙස වාර්තා සැපයීම නීතියෙන් අනිවාර්ය වේ). සාමාන්‍යයෙන් සිදු වන්නේ එම වාර්තා සීඩී තැටියක තැන්පත් කර එම තැටිය තැපෑලෙන් ඔබට ලැබෙන්නට සැලැස්වීමයි. ඊට අමතරව, යම් කාලයකට සැරයක් කොටස් වෙළඳපොලෙන්ද ඔබට සාරාංශ වාර්ථාවක්ද එවයි.

 
ඒකක භාර
කොටස් වෙළඳපොල තුල තම මුදල් ඍජුවම තමන් තීරණ ගෙන ආයෝජනය කළ හැකිය. එතරම් දැනුමක් නැතිනම්, තැරැව්කරුට එම වගකීම දිය හැකිය. එහෙත් තමන්ට දැනුමක් නැතිනම්, තවත් ක්‍රමයක් තිබේ. කොටස් වෙළඳ පොල තුල ප්‍රතිලාභ හොඳින් ලැබෙන සේ ආයෝජනය කරන ව්‍යාපාර විශේෂයක් තිබෙනවා ඒකකභාර (unit trust) ලෙස. මේවායින් කරන්නේ ආයෝජකයන්ගෙන් මුදල් ගෙන, එම මුදල් කොටස් වෙළඳපොල තුල ආයෝජනය කිරීමයි. එමඟින් ලැබෙන ලාභයෙන් යම් ප්‍රතිශතයක් එම ව්‍යාපාර විසින් ලබා ගෙන (ඒක තමයි ඔවුන්ගේ ලාභය) ඉතිරිය ආයෝජකයන් යෙදූ මුදලට සාපෙක්ෂව බෙදා දේ. සාමාන්‍යයෙන් රුපියල් 1000න් ඉහලට ඕනෑම මුදලක් ඔබට ඒකකභාරයකට ලබා දිය හැකිය.

 
අවසාන වශයෙන්...
කොටස් වෙළඳපොලක ඉහත විස්තර කළ පරිදි සමාගම්වල කොටස් හැරෙන්නට වෙනත් මූල්‍යම උපකරණ (මෙතැන “උපකරණ” යනුවෙන් අදහස් කරන්නේ “මුදල් ගනුදෙනු සිදු වන ක්‍රම” යන්නයි) පවා ගනුදෙනු විය හැකිය. භාණ්ඩාගාර බිල්පත්, බැඳුම්කර, ණයකර ආදිය එවැනි උපකරණ කිහිපයකි. කොටස් වෙළඳපොලේ ගනුදෙනු වන උපකරණ රටින් රටට වෙනස් විය හැකිය. මෙනිසා stock market යන නමද ඊට භාවිතා වේ.
 
විදේශකයන් (එනම් විදේශිය අරමුදල්) පවා අපේ කොටස් වෙළඳපොල තුල ආයෝජනය කරයි. එමඟින් ලංකා රජයට විදේශ විනිමය උපයා ගත හැකිය. එහෙත් විවිධ හේතු නිසා, එම විදේශ අරමුදල් විසින් කොටස් වෙළඳපොලේ තමා සතු කොටස් විකුණා දමා එම ඩොලර් තම රටවලට රැගෙන යා හැකිය. එවිට, ලංකාව වැනි ආර්ථිකය දුර්වල රටවලට විදේශ විනිමය ගැටලුද ඇති වේ.
 
රටේ ආර්ථිකය පිළිබඳ කැටපතක් ලෙසත් බොහෝ රටවල කොටස් වෙළඳපොල සැලකේ. ඒ කියන්නේ, එම රටේ කොටස් වෙළඳපොල ක්‍රියාකාරිත්වය හොඳයි නම්, එම රටේ ආර්ථිකය සුභවාදී බව සැලකේ. එහෙත් ලංකාව වැනි රටක තවමත් කොටස් වෙළඳපොල ප්‍රසාරණය වී නැත. තවමත් අතිවිශාල ව්‍යාපාර ප්‍රමාණයක් පවතින්නේ කොටස් වෙළඳපොලෙන් පිටය. එනිසා, කොටස් වෙළඳපොල ක්‍රියාකාරිත්වය මඟින් ඇත්තටම ලංකාවේ ආර්ථික තත්වය හොඳින් මැන ගත හැකිදැයි විවාද සම්පන්න වේ.
 
අවසාන වශයෙන් ඩේ ට්‍රේඩිං ගැනත් වචනයක් කිය යුතුය. මෙය තරමක සූදුවකි; හොඳ සූදුවකි (බූරුව ගහනව වගේ, රෙස් අල්ලනවා වගේ ජරා සූදුවක් නොවේ). මේ සඳහා කොටස් වෙළඳ පොල ගැන හොඳ/කපටි දැනුමක් අවශ්‍ය වේ. අන්තර්ජාල හරහා ගනුදෙනු කිරීමේ පහසුකමත් අවශ්‍ය වේ. මෙහිදී කරන්නේ උදේ වරුවේදී යම් යම් සමාගම්වලින් යම් කොටස් ප්‍රමාණයක් මිල දී ගැනීමයි. එය හිතුමතේ නොකරයි. තමන් විසින් කරන විශ්ලේෂන ඔස්සේ අද දවසේ මිල ඉහල යාවි යැයි සිතෙන සමාගමක හෝ සමාගම් කිහිපයක කොටස් තමයි ගන්නේ. එලෙස, පැය කිහිපයක් යන විට එම කොටස්වල මිල ඇත්තටම ඉහලට ගියා නම්, එම කොටස් විකුණා දමයි. මෙහි අභියෝග බොහෝ පවතී. ඉතා හොඳ සංයමයක්ද අවශ්‍ය වේ (වැඩි ලෝභකම අවාසියකි). කොටස් මිල ඉහලට යන විට ලෝභකම වැඩි වුවොත්, එම මිල තව තවත් ඉහලට යන තෙක් බලා සිටීමට සිතේවි. එහෙත් සමහරවිට තවටිකක් ඉදිරියට යන විට ඉහල ගිය කොටස්වල මිල (විවිධ හේතු නිසා) ආපසු පහලට ගොස් ඔබගේ ලාභය අඩු වීම හෝ පාඩු වීමද සිදු විය  හැකිය.



නිමි....

Comments

  1. ස්තූතී , වටිනවා..ජයවේවා.. :) :)

    ReplyDelete
  2. වටිනා ලියමනක්. මම මෙවැනි දෙයක් පටංගන්න ආසාවෙන් ඉන්නා විටයි ඔබ මෙය ලියුවේ. මට ඔන්ලයින් ආකාරයට කොටස්වෙළඳපොල ගනුදෙනු කරන්නට පහසුකම් දෙන තැරැව්කාර සමාගමක් තෝරා දෙන්න පුළුවනිද?

    ReplyDelete
    Replies
    1. මං අහල තියෙන විදිහට Asia securities හොදයිලු. ඒගොල්ලන්ගෙ online trading පහසුකමත් තියෙනව.

      ඔයාට US stocks වල invest කරන්න ඕන්නම් සම්පත් බැංකුවේ PFCA එකක් open කරල Ustocktrade.com/lk එකෙන් කරන්න පුලුවන්.

      තව Webull කියල app එකක් තියෙනව ඒකෙන් international stocks වල පවා invest කරන්න පුලුවන්. ඒකෙ refferal link එකකින් reg උනොත් $10 ක විතර free stocks හම්බෙනව...

      SL biz කියල youtube channel එකක් තියෙනව ලංකාවෙ stock market එක ගැන සිංහලෙන් උගන්නන..

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - පාඩම 1

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

දෛශික (vectors) - 1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 7

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1

දැනගත යුතු ඉංග්‍රිසි වචන -1

මුදල් නොගෙවා සැටලයිට් ටීවී බලන හැටි - 1