Skip to main content

තෙරුවන් සරන ගිය මාලිමාව

තවත් අපූරු ඡන්දයක් නිම විය. එය කරුණු රැසක් නිසා අපූර්ව වේ. සමහරු කියන පරිදි රදලයන්ගේ දේශපාලනයේ අවසානයක් (තාවකාලිකව හෝ) ඉන් සිදු විය. වැඩ කරන ජනයාගේ, නිර්ධන පංතියේ නායකයෙකු හා පක්ෂයක් බලයට පත් වීමද සුවිශේෂී වේ. රටේ මෙතෙක් සිදු වූ සකල විධ අපරාධ, දූෂන, භීෂන සොයා දඩුවම් කරනවා යැයි සමස්ථ රටවැසියා විශ්වාස කරන පාලනයක් ඇති විය. තවද, බහුතර කැමැත්ත නැති (එනම් 43%ක කැමැත්ත ඇති) ජනපතිවරයකු පත් විය. ජවිපෙ නායකයෙක් "තෙරුවන් සරණයි" කියා පැවසීමත් පුදුමය. මේ සියල්ල ලංකා ඉතිහාසයේ පලමු වරට සිදු වූ අපූරු දේශපාලන සංසිද්ධි වේ. මාද විවිධ හේතුන් මත අනුරට විරුද්ධව මෙවර තර්ක විතර්ක, සංවාද විවාද, හා "මඩ" යහමින් ගැසූ තත්වයක් මත වුවද, ඔහු දැන් රටේ ජනපති බැවින් ඔහුට පලමුව සුබ පතමි.  ඔහුට විරුද්ධව වැඩ කලත්, මා (කිසිදා) කිසිදු පක්ෂයකට හෝ පුද්ගලයකුට කඩේ ගියේද නැති අතර අඩුම ගණනේ මාගේ ඡන්දය ප්‍රකාශ කිරීමටවත් ඡන්ද පොලට ගියෙ නැත (ජීවිතයේ පලමු වරට ඡන්ද වර්ජනයක). උපතේ සිටම වාමාංශික දේශපාලනය සක්‍රියව යෙදුනු පවුලක හැදී වැඩී, විප්ලවවාදි අදහස්වලින් මෙතෙක් කල් දක්වා සිටි මා පලමු වරට සාම්ප්‍රදායික (කන්සර්වටිව්

කොළඹ කොටස් වෙළඳපොල (CSE) - 2


තැන්පතු හා ආයෝජන
ඔබ හෝ වෙනත් ඕනෑම කෙනෙකු හෝ හැමවිටම බලන්නේ තමන් සතු මුදල් (හා සම්පත්) වලින් උපරිම ප්‍රතිලාභ/ප්‍රයෝජන ලබන්නනෙ. ඉතිං, මුදල් තිබෙන කෙනෙකුට ඒ සඳහා ප්‍රධාන මාර්ග 2ක් ඇත - තැන්පතු හා ආයෝජන.
 
තැන්පතු (deposit) යනු තමන් සතු මුදල් යම්කිසි සුරක්ෂිත ආයතනයක දමා ඉන් යම් පොලියක් ලබා ගැනීමයි. ඒ සඳහා නීත්‍යානුකූලව ඇති පහසුතම හා සුරක්ෂිතම ක්‍රමය වන්නේ යම් බැංකුවක හෝ මුදල් තැන්පතු ලබා ගත හැකි නීත්‍යානුකූල මූල්‍ය සමාගමක එම මුදල් තැන්පත් කිරීමයි. ඉනුත් සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිනුමක (savings account) නොදා, ස්ථිර තැන්පතුවක (fixed deposit) තැන්පත් කිරීම තමයි සාමාන්‍යයෙන් සිදු වන්නේ මොකද ස්ථිර තැන්පතු සඳහා ඉහල පොලියක් ලැබේ. මෙහිදී වැඩියෙන්ම පොලිය ලබා දෙන්නේ කවුද යන්න සේම, අදාල ආයතනයේ ස්ථාවරත්වය හා විශ්වාසදායි බව ගැනද සෙවිය යුතුය. තැන්පතුවක ඇති වාසිය වන්නේ මුදල තැන්පත් කළ පසු තමන්ට ඒ ගැන වද වෙවී ඉන්නට දෙයක් නොමැති වීමත්, කලට වෙලාවට නියමිත පොලිය ලැබීමත්, අවශ්‍ය වෙලාවට ඉක්මනින් තම මුදල ආපසු ලබා ගැනීමට (withdraw) ඇති හැකියාවයි.
 
එහෙත් තැන්පතුවලට වඩා වැඩි ප්‍රතිලාභ ලැබිය  හැකි ක්‍රමයක් වන්නේ ආයෝජන (investment) වේ. එහිදී තමන් ඉබේම ව්‍යාපාරිකයකු බවට පත් වේ. තම ලාභය වැඩි කර ගැනීමට හෝ තියුණු තරගකාරිත්වය යටතේ තම ව්‍යාපාරය දිගටම ලාභ ලබන මට්ටමින් තබා ගැනීමට හෝ බොහෝ වෙහෙස විය යුතුය (අර තැන්පතුකරුවන් සේ විශ්‍රාම සුවයෙන් සිටීමට බැරිය). ස්ථිර ලෙසම කලට වෙලාවට පොලියක්/ලාභයක් නොලැබේ. කොටින්ම කියතොත් බිස්නස්කාරයකු මෙන් හැසිරීමට සිදු වේ. එහෙත් මේ සියල්ල හොඳින් කළ හැකි වුවොත් යෙදවූ මුදලට සාපේක්ෂව ඉතා විශාල ලාභ ඉපැයිය හැකිය. ඒකනෙ ඉතිං සමහර මිනිසුන් බිස්නස් කරන්නෙත්.
 
මේ අනුව, කොටස් වෙළඳපොල යනු තැන්පතු ක්‍රමයක් නොව ආයෝජන ක්‍රමයකි. එහෙත් අර සාම්ප්‍රදායික ආයෝජන ක්‍රමයට (එනම් සාමාන්‍ය බිස්නස් කිරීම) වඩා එය වෙනස්ය. තැරැව්කරුවන් සිටින නිසා ඔබට එය තැන්පතු ක්‍රමයක් වැනි හැඟීමක් ඇති කරයි. ඔබට කරන්නට තියෙන්නේ තැරැව්කරුවන් කියන උපදෙස් පිලිපැද තම මුදල් “තැන්පත්” කිරීමයි. එහෙත් ඔබ තැරැව්කරුවන් කියන දේ පිලිපැදීමට බැඳී නැත. ඔබට කැමති තීරණ ඔබට ගත හැකිය. සමහරුන් ඇත්තටම තැරැව්කරුවන් කියන දේ ගණන් නොගෙන තමන් විසින්ම තීරණ ගෙන ක්‍රියාත්මක වේ. හැබැයි ඒ සඳහා කොටස් වෙළඳපොල, ලෝක හා රටේ ආර්ථික දේශපාලන ප්‍රවණතා ගැන ආදිය ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුය.
 
තැන්පතු හා ආයෝජන යන ක්‍රම දෙකක් තිබෙන විට, ඔබ තෝරා ගන්නේ කුමක්ද? එයනෙ වැදගත්ම ප්‍රශ්නය. කෙටිම පිලිතුර නම් වැඩිම ප්‍රතිලාභ ලැබෙන තැනක ඔබ මුදල් යෙදවිය යුතු බවයි. එහෙත් එහිදී ඔබට මුහුන දෙන්නට සිදු වන අවදානම (risk) ගැනද සැලකිලිමත් විය යුතුයි. ඔබ දන්නවා ලෝක න්‍යායක් තිබෙනවා ප්‍රතිලාභ වැඩිවන තරමට අවදානමද වැඩි වෙනවා කියා. එත්‍යයකි. ඔබ බුද්ධිමත් නම් හා මොලය වෙහෙසා වැඩ කිරීමට හැකි නම් ආයෝජන මාර්ගය ඔබට උචිත වේ.
 
එනිසා කොටස් වෙළඳපොලේ වේවා වෙනත් ආයෝජන ක්‍රමයක් වේවා, මෙන්න මෙම සරල “සූත්‍රය” මතක තබා ගන්න. ඔබ රටේ පිළිගත් හොඳම බැංකු කිහිපයක් තෝරා ගෙන එම බැංකුවල ස්ථිර තැන්පතු සඳහා ලැබෙන දළ වාර්ෂික පොලිය සොයා ගන්න. අපි සිතමු ලංකා බැංකුවේ එම පොලිය මේ කාලයේදී 12%ක් කියල. ඉතිං, ඔබ ආයෝජනයක් කරනවා නම් එම කාල පරාසයක් තුල, අනිවාර්යෙන්ම 12% කට වඩා වැඩි ප්‍රතිශතයක ප්‍රතිලාභයක් තමන් යෙදූ  මුදලට ලැබෙන ආයෝජන පමණක් තෝරා ගත යුතුය. මඳක් සිතා බලන්න ඔබට මුදල් තැන්පත් කර “චූන් එකේ” ඉඳන් ලැබෙන පොලියටත් වඩා අඩු ප්‍රතිලාභයක් නම් ලැබෙන්නේ මහන්සිවෙලා “මොලේ රත් කරගෙන” කරන ව්‍යාපාරයකින්, මොන “බම්බුවකටද” එවැනි ආයෝජනයක නිරත වෙලා ඉන්නේ? ක්‍රමය හරිම සරලයි නේද?
 
මුදල් තරමක් හෝ තිබෙන මිනිසුන්ම ආයෝජන මාර්ගයට හෝ තැන්පතු මාර්ගයට පෙළඹවීමට හැකියාවක් රජයට ඇත. උදාහරණ ලෙස, බැංකුවල තැන්පතු පොලී අනුපාත ඉහල දමන විට (එවිට ඉබේම රටේ වෙනත් පොලී අනුපාතද ඉහල යයි; ඉන් බිස්නස් කරුවන් ණය ගැනීමට මැලිකමක් දක්වන අතර, ව්‍යාපාර වැඩිදියුණු කිරීම මන්දගාමී වේ), මුදල් තිබෙන අය තම මුදල් තැන්පත් කිරීමට තමයි උත්සුක වන්නේ. එලෙසම පොලී අනුපාත අඩු වන විට මිනිසුන් වැඩි ප්‍රතිලාභ ලැබෙන ක්‍රම සොයයි. පොලී අඩු නිසා තව ණයද බැංකුවලින් ගෙන ව්‍යාපාර කිරීමටද (එනම් ආයෝජනයට) පෙළඹේ.


කොළඹ කොටස් වෙළඳපොල
ඒ ඒ ගමට/නගරයට බොහෝවිට වෙන වෙනම සති පොලක් තිබෙන්නා සේ, ඒ ඒ රටට තමන්ගේම කොටස් වෙළඳපොලක් ඇත. ඇමරිකාව වැනි රටක කොටස් වෙළඳපොලවල් කිහිපයක්ද ඇත (නමුත් බොහෝ රටවල තිබෙන්නේ එකයි). සාමාන්‍යයෙන් කොටස් වෙළඳපොල නම් කරන්නේ එය පිහිටා තිබෙන නගරයේ නමිනි (බ්‍රිතාන්‍ය සම්ප්‍රදාය අනුව විශ්ව විද්‍යාලද නම් කෙරෙන්නේ එසේය; ඒකනෙ කැලනිය විශ්ව විද්‍යාලය, කොළඹ විශ්ව විද්‍යාලය, පේරාදෙනිය විශ්ව විද්‍යාලය ආදි ලෙස ඒවා නම් කෙරෙන්නේ). ඒ අනුව ලංකාවේ කොටස් වෙළඳපොල පිහිටා තිබෙන්නේ කොලඹ නිසා, එය කොළඹ කොටස් වෙළඳපොල (Colombo Stock Exchange – CSE) ලෙස නම් කෙරේ. 
 
කීල්ස් සුපර් ආදි ලෙස සුපර්මාකට් මෙන් කොළඹ කොටස් වෙළඳපොලද ව්‍යාපාරයකි. එනිසා එයද සමාගමක් ලෙස රටේ පවතින නීතියට අනුව ලියාපදිංචි කර ඇත. කොටස් වෙළඳපොල තුල සිදුවන ගනුදෙනුවලින් කුඩා ප්‍රතිශතයක් (කොමිස් මුදලක්) ඔවුන්ගේ ලාභය ලෙස තබා ගනී. ලොව විශාලතම කොටස් වෙළඳපොල නිව්යෝර්ක් කොටස් වෙළඳපොල වන අතර, පැරණිතම එකම වන්නේ ඇම්ස්ටර්ඩෑම් කොටස් වෙළඳපොලයි.
ඉතිං, එක පැත්තකින් ලැයිස්තුගත සමාගම්වල කොටස් ඇත. අනෙක් පසින් එම කොටස් මිල දී ගැනීමට ආයෝජකයෝ ඇත. ඒ අනුව ඉල්ලුම හා සැපයුම න්‍යාය මත (එනම්, ඉල්ලුම වැඩි වන විට මිල ඉහල යෑම), විවිධ මිල ගණන් වලට විවිධ කම්පැනිවල කොටස් විකිනේ. සඳුදා සිට සිකුරාදා දක්වා දිනවල උදේ 9.30 සිට සවස 2.30 දක්වා කොලඹ කොටස් වෙළඳපොලේ “වෙළඳාම” සිදු වේ.

තැරැව්කරුවන්
ලංකාව තුල කොටස් වෙළඳපොලේ ගනුදෙනු කිරීමට ඔබට ඍජුවම බැරිය. එනම්, ඔබට බැහැ කෙලින්ම කොම්පැනිවල කොටස් අර කඩෙන් බඩු ගන්නවා මෙන් කොටස් වෙළඳපොල තිබෙන භූමියට ගොස් මිලට ගන්නට. ඇත්තටම, කොටස් වෙළඳපොලේ ඔබ සිදු කරන සියලුම ගනුදෙනු තැරැව්කරුවකු (stock broker) හරහා පමනක් සිදු වේ. දැනට එවැනි ලියාපදිංචි තැරැව්කරුවන් විසිතිස් ගණනක් සිටී. එම තැරැව්කරුවන් නියාමනය කරන්නේද විනිමය කොමිෂම විසිනි.
 
ඒ අනුව, ඔබ අලුතින් කොටස් මිලට ගන්නවා නම්, ඔබ තෝරාගත් තැරැව්කාර ආයතනයට උපදෙස් දිය හැකියි අහවල් කම්පැනියෙන් අච්චර කොටස් ප්‍රමාණයක් අහවල් මිලගණන්වලට ගන්නට කියා. තැරැව්කාර ආයතනය බැඳී සිටිනවා එය ඔබ වෙනුවෙන් සිදු කිරීමට. එලෙසම ඔබ සතුව දැනට ඇති කොටස් විකුනන්නට අවශ්‍ය විටත්, ඔබ විසින් තැරැව්කරුට උපදෙස් දිය යුතු වෙනවා තමන්ගේ අහවල් කම්පැනියේ කොටස් අච්චරයක් මෙච්චර මිල ගණන්වලට විකුනන්න කියා. 
 
තවද, කොටස් වෙළඳපොල පිලිබඳ නවතම දත්ත සංඛ්‍යා ලේඛනද ඔබට ඔබේ තැරැව්කරුගෙන් ලබා ගත හැකිය. ඔබට අවශ්‍ය විශේෂඥ උපදෙස්ද ඔවුන්ගෙන් නොමිලේ ලබා ගත හැකිය. තවද, කොටස් වෙළඳපොලට ආයෝජකයන් ලියා පදිංචි කරන්නේද තැරැව්කරුවන් විසිනි. එලෙසම, කොටස් වෙළඳපොල වෙනුවෙන් මුදල් ගනුදෙනු ඇත්තටම හුවමාරු වන්නේද තැරැව්කරු හරහාය. සෑම දිනකම කොටස් වෙළඳපොල හා රටේ සමස්ථ ආර්ථිකය ගැන ඔවුන් සමීක්ෂණ සිදු කරයි. එම තොරතුරු අනුව තමයි ඔබට උපදෙස් ලැබෙන්නේ. 
 
ඒ අනුව, ඔවුන්ගේ විවිධ සේවා ඇත. ඇත්තටම තැරැව්කාර ආයතන තිබීමේ වැදගත්කමද එයයි. කොටස් වෙළඳපොල තුල ආයෝජනය කරන්නට එන සෑම දෙනාම එක සේ ඒ ගැන හොඳ දැනුමක් අවබෝධයක් තිබෙන අයම නොවේ. ඉතිං, තැරැව්කරුවන් සිටීමෙන් එම අඩුපාඩුව මඟ හැරේ. සාමාන්‍යයෙන් එම තැරැව්කරුවන් විසින් ඔබට වැරදි තොරතුරු හා උපදෙස් ලබා නොදේ.
 
රට හොරු විසින් පාලනය වන සමයන්වල හා නීතියේ ආධිපත්‍ය දුර්වල කාලවලදී, අනෙක් සියලු සමාජ ස්ථරයන් සේම, මෙම තැරැව්කාර සමාගම්ද හොර වැඩ කළ හැකිය. එනම්, යම් යම් තෝරාගත් බලවත් ධනවත් අයට වාසි වන අයුරින් අතිශය බහුතර ආයෝජකයන්ව අමාරුවේ දැමිය හැකිය. මෙවිට ප්‍රබුද්ධ ස්වාධින යැයි සලකන විනිමය කොමිෂමද දූෂිතව වැඩ කරයි. “අප්පොච්චා රජ කළ” පසුගිය “රජ සමයක” එසේ සිදු විය. එනිසා පෞද්ගලිකව මා හට ලංකාවේ කොටස් වෙළඳපොල ගැන තිබූ ගෞරවාන්විත හැඟීම නැත්තටම නැති වී ඇත. ආයෝජකයන්ගේ විශ්වාසය කොටස් වෙළඳපොල තුල අත්‍යවශ්‍ය අංගයකි.
 
තැරැව්කරුවන් මේ දේවල් කරන්නේ නොමිලේ නොවේ. ඔවුන්ට යම් කොමිස් මුදලක් ලැබේ. ඒ කියන්නේ ඔබ කොටස් මිලට ගන්නා හා විකුනන සෑම විටම ඉතා කුඩා ප්‍රතිශතයක කොමිස් මුදලක් තැරැව්කරුට ලැබේ. එය නීතියෙන් අනුමත කර ඇති නිශ්චිත ප්‍රමාණයකි.

ආයෝජකයන්ගේ ලියාපදංචිය
කොටස් වෙළඳපොල තුල මූලිකව කණ්ඩායම් දෙකක් සිටින බව පෙනේ.

       1.      ආයෝජකයෝ
       2.      කොටස් විකුනන ලැයිස්තුගත සමාගම්

ආයෝජකයෝ රුපියල් කෝටි ගණන් ආයෝජනය කරන ඉතා ධනවත් පුද්ගලයන් විය හැකිය. රුපියල් දහා දෙදහා ආයෝජනය කරන “දුප්පත්” ආයෝජකයන් විය හැකිය. කවුරුන් වුවද, ඔවුන් වෙළඳපොල තුල ගනුදෙනු කිරීමට කොටස් වෙළඳපොල තුල ලියා පදිංචි විය යුතුය. ලියාපදිංචිය පහත ආකාරයට සිදු කෙරේ. මේ සඳහා ඔබට කිසිදු මුදලක් අය නොකෙරෙන අතර, අවශ්‍ය නම් තැරැව්කරුවන් කිහිප දෙනෙකු ළඟම රෙජිස්ටර් විය හැකිය. 

       1.      වයස 18 ට වැඩි නම්, තමන්ගේ ජාතික හැඳුනුම්පත හා එහි කොපියක් සමඟ කොටස් වෙළඳපොලේ තැරැව්කාර ආයතනයකට යා යුතුය.

තැරැව්කරුවන් සියල්ලන්ගේම මූලස්ථාන පිහිටා තිබෙන්නේ කොළඹය. ඊට අමතරව, රට පුරා ප්‍රධාන නගරවල ඔවුන්ගේ ශාකා තිබිය හැකිය. ඉතිං, එවැනි ළඟම ඇති ශාකාවකට වුවද යා හැකිය.

තවද, තැරැව්කාර ආයතන සියල්ලම කරන්නේ එකම රාජකාරිය වුවත්, ඔවුන්ගේ සේවාවල ගුණාත්මක බව වෙනස් විය හැකිය. සමහරුන් වැඩි සැලකිලි දක්වන්නේ පොහොසත් අයටයි. සමහරුන් ප්‍රතිචාර දක්වන්නේ අලස විදියටයි. ඉතිං, ඔබ තැරැව්කාර ආයතන කිහිපයක් සමඟම කටයුතු කර බලන්න. දන්න අය සමඟද කතා බහ කර හොඳ කවුද යන්න සොයා බලන්න.

සමහර තැරැව්කරුවන් ඔබට පරිගනකය හරහා නිවසේ සිටම “ඍජුවම” කොටස් මිලට ගැනීමට, විකිනීමට හැකි ඔන්ලයින් පහසුකමද ලබා දේ. මා පෞද්ගලිකව මෙම පහසුකම අවශ්‍ය දෙයක් ලෙස සලකන නිසා මෙම පහසුකම සපයන තැරැව්කරුවකු ළඟයි මා නම් ලියාපදිංචි වන්නේ. මේ ගැන තවදුරටත් පසුවට විමසා බලමු.

       2.      ඉන්පසු තැරැව්කරු විසින් සපයන ෆෝර්ම් එකද නිවැරදිව පුරවා, හැඳුනුම්පතේ කොපියද සමඟ ඔවුන්ට භාර දෙන්න. ඔබට කොටස් වෙළඳපොලේ ලියාපදිංචිය ලැබේවි.

මෙවිට ඔබට කොටස් වෙළඳපොලේ ගිනුමක්ද (account) විවෘත වේ (හරියට බැංකු ගිනුමක් වගේ). ඔබ කොටස් වෙළඳපොලේ සිදු කරන සියලු ගනුදෙනු පිළිබඳ විස්තර මෙම ගිනුමේ සටහන් වේ.

ඇත්තටම කොටස් වෙළඳපොල තුල වෙනමම ස්වාධීන ගිනුම් පද්ධතියක් තිබෙනවා “මධ්‍යම තැන්පතු පද්ධතිය” (Central Depository System – CDS) නමින්. මෙම පද්ධතියද වෙනමම කොම්පැනියක් ලෙස පවතී. එම සමාගමේ අයිතිය කොළඹ කොටස් වෙළඳපොල සතු වේ. ආයෝජකයන්ගේ හා ලැයිස්තුගත සමාගම්වල ගනුදෙනු සටහන් වන්නේ (බැංකුවකදී මෙන්) මෙම පද්ධතිය තුලයි. එනිසා, තැරැව්කරු ඔබ වෙනුවෙන් විවෘත කරන ගිනුම ඇත්තටම CDS ගිනුමකි.

ඉහත ආකාරයට ඉතා පහසුවෙන් ඔබට කොටස් වෙළඳපොලේ ලියාපදංචි විය  හැකිය. එලෙසම පොදු සමාගම්ද SEC ගේ කොන්දේසි සපුරමින් කොටස් වෙළඳපොල තුල ලියාපදිංචියක් සිදු වේ. හැබැයි එය සිදු වන්නේ තැරැව්කාර ආයතන හරහා නොව, ඍජුවම වේ.

මූලික කොටස් නිකුතුව
යම් පොදු සමාගමක් ඉහත පැවසූ ලෙස කොටස් වෙළඳපොල තුල ලියාපදංචි වී නිකං සිටිය නොහැකිය. ඔවුන්ගේ කොටස් දැන් වෙළඳපොලට නිකුත් කළ යුතුය. යම් සමාගමක් එලෙස පළමු වරට කොටස් වෙළඳපොලට තම කොටස් නිකුත් කිරීම මූලික කොටස් නිකුතුව (Initial Public Offering – IPO) ලෙස හැඳින් වේ. එය සිදු කරන්නේද අපූරු ආකාරයකට වන අතර, මෙහිදී පුදුමෙට මෙන් කොටස් වෙළඳපොලෙන් පරිභාහිරවයි එම කටයුත්ත සිදු වන්නේ. ඒ කෙසේද?
 
යම් සමාගමක් දැන් තීරණය කරනවා තමන්ට කොතරම් මුදලක්/අරමුදලක් අවශ්‍ය වන්නේද වග. අපි සිතමු එම අරමුදල රුපියල් කෝටියක් කියා. ඉන්පසු ඔවුන්ගේ කැමැත්ත පරිදි එය කොටස් කරනවා. සිතමු ඔවුන් එය කොටස් (ෂෙයාර්ස්) 100,000 කට කඩනවා කියා. එවිට කොටසක මිල රුපියල 100කි. දැන් ඔවුන් කරන්නේ ලංකාවේ බැංකුවක් හරහා එම කොටස් මිලට ගන්නා මෙන් රටේ පොදු ජනයාට ආරාධනා කිරීමයි. එම ආරාධනාව පත්තර හා ජනමාධ්‍ය ඔස්සේ යවනවා. ඊට අමතරව, කොටස් වෙළඳපොලේද මෙම තොරතුරු ප්‍රචාරය කරනවා. ඒ සමඟම එම සමාගම විසින් තම සමාගමේ “කෙරුවාව” පිළිබඳ විස්තරයක්ද ඉදිරිපත් කරනවා. එය prospectus ලෙස හැඳින්වෙනවා. ඉස්සර ලස්සන පොඩි පොතක් ලෙස සකස් කර ලබා දුන් මෙය, අද වියදම් අඩු කිරීමට අන්තර්ජාලය හරහා PDF file එකක් ලෙස ලබා දේ.
 
දැන් ඒ ගැන උනන්දු ආයෝජකයන් අර පොත කියවා සමාගම ගැන පැහැදී ඊට තම මුදල් ආයෝජනය කිරීමට කැමැත්ත ඇති කර ගන්නවා. ඉතිං සිතමු ඔබ එම සමාගමේ රුපියල් ලක්ෂයක් ආයෝජනය කිරීමට සිතනවා කියා. ඒ කියන්නේ ඔබට කොටස් 1000ක් අවශ්‍යයි. දැන් ඔබ කරන්නේ එම බැංකුවට ගොස් අර සමාගමේ කොටස් අච්චරක් ගැනීමට කැමති යැයි පවසා අවශ්‍ය ෆෝර්ම් එක පිරවීමයි. දැන්ම සල්ලි දීමට අවශ්‍ය නැහැ මොකද ඔබට කොටස් දෙනවාද නැද්ද කියා තීරණය කරන්නේ අදාල සමාගම විසිනි. එනිසා, ඔබ බැංකුවට සල්ලි නොදී, ඒ වෙනුවට තමන් අර තමන්ට අවශ්‍ය කොටස් ගණන මිලට ගන්නා බව තහවුරු කිරීමට බැංකු ගැරන්ටියක් ලබා දෙනවා.
 
මෙලෙස ඔබ වැනිම තවත් සිය දහස් ආයෝජකයන් පිරිසක් එය සිදු කරාවි. මෙලෙස ඔබට ඉල්ලුම් කළ හැකි කාල සීමාවක් තිබෙනවා. එය අවසානයේ, බැංකුව සියලු විස්තර කොම්පැනියට ලබා දෙනවා. මෙහිදී විවිධ අය විවිධ ප්‍රමාණයෙන් කොටස් ඉල්ලා සිටීමට හැකියි. බොහෝවිට (කොම්පැනිය හොඳ එකක් නම්), මෙලෙස ඉල්ලුම්කර ඇති කොටස් ගණන එකතු කර බැලුවහම ඔවුන් ඉදිරිපත් කර ඇති කොටස් ගණනටත් වඩා වැඩි වෙවි. ඒ කියන්නේ ඉතා හොඳ ඉල්ලුමක් තිබෙන බවයි. මෙය oversubscription එකක් යැයි කියනවා. සමහරවිට ඉල්ලුම් කර ඇති සියලු කොටස් ගණන කොම්පැනිය ඉදිරිපත් කර තිබෙන කොටස් ගණනට වැඩිය අඩු වියද හැකියි; මෙය undersubscription ලෙස හැඳින්වේ. ඉතිං, දැන් කොම්පැනිය ඒ එක් එක් ඇප්ලිකේෂන් එක බලා ඒ ඒ අයව තෝරා ගන්නවා හරියට ආයතනයකට සේවකයකු බඳවා ගන්නා විට තෝරා ගන්නවා වගේ. 
 
එලෙස තෝරා ගත් අයට දැනුම් දෙනවා ඒ ඒ අයට මුදල් ගෙවන ලෙස. සමහරවිට ඔබ ඉල්ලූ කොටස් ප්‍රමාණයම ඔබට නොලැබී යන්නටත් පුලුවන්. ඒ වෙනුවට ඔවුන් ඔබට ඊට වඩා අඩු කොටස් ගණනක් මිලදී ගන්න යැයි යෝජනා කර තිබෙන්න පුලුවන්. ඉතිං, ඔබ ඔවුන්ගේ යෝජනා සමඟ එකඟ නම් මුදල් ගෙවා කොටස් ටික මිලට ගත හැකියි.
 
බෝහෝ අය ඇත්තටම කොටස් මිලට ගන්නේ මෙලෙස ipo එකකින් නොවේ. එනිසා ඔබට මෙම තොරතුරු එතරම්ම වැදගත් නොවන්නටත් පුලුවන්. ඔබ දකින්නට ඇති මෙම ක්‍රියාවලිය තුල කොටස් වෙළඳපොල සම්බන්ද වූයේ නැත. කොටස් වෙළඳපොල සම්බන්ද වන්නේ මෙතනින් පසුවයි. එනම්, එලෙස මූලික කොටස් නිකුතුවකින් ලබා ගත් කොටස්, දැන් ඒ ඒ ආයෝජකයන් විසින් කොටස් වෙළඳපොල තුලට ගෙන ආ යුතුය. ඒ සඳහා නැවත තැරැව්කරුවන් හරහා එය සිදු වේ. ඒ අනුව යම් කාලයක් ගත වන විට, මූලික කොටස් නිකුතුවකින් නිකුත් කළ සියලු කොටස් කොළඹ කොටස් වෙළඳපොල තුල සටහන් වේ. නියම කොටස් ගනුදෙනු සිදු වන්නට පටන් ගන්නේ මෙතැන් සිටය. එනම්, දැන් ඔබ එලෙස මූලික කොටස් නිකුතුවකින් ලබා ගත් කොටස්, වෙන අයට විකුනා දැමිය හැකිය. ඒ කියන්නෙ කොටස් වෙළඳපොල තුල එම කොටස් එකිනෙකා අතරේ විකුනා දැමිය හැකිය.
 
ඇත්තටම, සෑම සමාගමක්ම එලෙස මූලික කොටස් නිකුතුවක් පළමු වරට සිදු කළ යුතුය. එහෙත් එතැන් සිට එම සමාගම නැවත එය කරන්නේ නැත. සමාගමට අවශ්‍ය නම් කාලින් කාලෙට තව තවත් කොටස් නිකුත් කළ හැකි අතර, එම කොටස් කෙලින්ම කොටස් වෙළඳපොල තුල සමාගම විසින්ම විකුණා දමයි.

කොටස් ගනුදෙනු හා කොටස්වල මිල ඉහල පහල යෑම
ඉහත විස්තර කළ ආකාරයට විවිධ ලැයිස්තුගත සමාගම් තම තමන්ගේ කොටස් විවිධ  මිල ගණන් යටතේ නිකුත් කළ පසු, එම මිල ගණන් එලෙසම පවතින්නේ නැත. එහෙත් ඊට පෙර ආයෝජකයන් කොටස් මිලට ගන්නේ ඉන් ලාභ ඉපැයීමට බව සිහිතබා ගන්න (ඒ අතර පාඩුද සිදු වේ). ඔබ යම් සමාගමක කොටස් ලබා ගත් පසු, එම සමාගමේ කොටස්හිමියෙක් (අයිතිකාරයෙකු) බවට පත් වේ. එනිසා, වසර අවසානයේ ලාභ බෙදන විට, ඔබට හිමි කොටස් ගණන අනුව ලාභාංශ හිමි වේ. ඇත්තටම කොටස් වෙළඳපොල තුල දෙයාකාරයකින් ලාභ ඉපැයිය හැකිය.
 
      1.      ඉහත පැවසූ ආකාරයට තමා සතු කොටස් ගණනට ලාභාංශ හිමි කර ගැනීම. ඇත්තටම කොටස් වෙළඳපොල තුල සැබෑ ආයෝජන ලෙස සලකන්නට සිදු වන්නේ මේවා තමයි. එලෙස යම් සමාගමකින් කොටස් ලබා ගත් පසු, සමහරවිට වසර ගණනක් එම කොටස් තබා ගනී. එම කාල තුලදී ලාභාංශ ලබා ගනී. විශාල ආයෝජකයන් සිදු කරන්නේ මෙයයි.

ඇත්තටම ඔබ යම් සමාගමකින් කොටස් මිල දී ගත් පසු, ඔබ එහි අයිතිකරුවකු වුවත්, ඔබට ඔබේ අයිතිය බලාත්මක කිරීමේ හැකියාව ලැබෙන්නේ ඔබ සතු කොටස් ගණන අනුවයි. වැඩි වැඩියෙන් කොටස් ඔබ ගන්නේ නම්, වැඩි වැඩියෙන් බලයක් එම සමාගමෙන් ඔබට ලැබේ. වැඩියෙන්ම කොටස් තිබෙන අය තමයි සමාගමක අධ්‍යක්ෂකවරු (directors) බවට පත් වන්නෙත්. ඔබ දන්නවා ආයතනයක පාලනය සිදු කරන්නේ අධ්‍යක්ෂකවරුන් පිරිසක් (අධ්‍යක්ෂක මණ්ඩලය - director board) මඟිනි. ඉතිං, කොම්පැනියක් වසරක බිස්නස් කර ලාභය බෙදන අයුරු තීරණය කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලය විසිනි.

ඉතිං, සමහර අවස්ථාවලදී අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කළ හැකියි ලාභ ලැබුවත් එම සම්පූර්ණ ලාභය කොටස්හිමියන් අතර බෙදා නොදීමට. සමහරවිට කිසිදු ලාභාංශයක් නොගෙවීමටද හැකියි. සමාගමක් එය සමහරවිට සිදු කරන්නේ එම ලාභය (එසේ රඳවා ගත් ධනය retained profit හෝ retained earnings ලෙස හඳුන්වනවා) නැවත සමාගම දියුණු කිරීමට ආයෝජනය කිරීමටයි. එය හොර වැඩක් නම් නොවේ මොකද එලෙස අඩුවෙන් ගෙවුවත් හෝ කිසිත් නොගෙවා සිටියත්, එම ලාභය කොටස්හිමියන්ට වෙනස් ආකාරයකින් දෙනවා. එනම්, ඔබට හිමි ලාභාංශයට සමානුපාතිකව ඔබට අමතර කොටස් ලැබෙනවා. මෙම අමතර කොටස් bonus shares ලෙස හැඳින්වේ. උදාහරණයක් ලෙස, ගණනය කළ විට ඔබට රුපියල් ලක්ෂයක ලාභාංශයක ලැබිය යුතු වුවත්, අර කියූ ලෙස අධ්‍යක්ෂක මණ්ඩලය එම ලාභය නොගෙවා සිටීමට තීරණය කළා යැයි සිතමු. කොටසක වටිනාකම රුපියල් 100ක් නම්, ඔබට දැන් බෝනස් කොටස් 1000ක් ලැබේවි. ඒ කියන්නේ දැන් ඔබ සතු කොටස් ගණන ඉහල ගොස් ඇත.

සමහර අවස්ථාවලදී යම් සමාගමක් වසරකට කිහිප වතාවක්ම ලාභාංශ ලබා දෙනවා. එවිට එලෙස වසර අවසානයට පෙර ලබා දෙන ලාභාංශ interim dividend ලෙස හැඳින්වෙනවා. එය එක්තරා විදියකට අර රැකියා කරන අය මාසය අවසානයේ පඩිය ලැබෙන්නට පෙර ඉල්ලා ගන්නා “ඇඩ්වාන්ස්” එක වැනිය.

     2.      ලාභ ලැබීමේ තවත් ක්‍රමයක් ඇත. මා මෙය  හඳුන්වන්නේ කොටස් වෙළඳපොලේ “සූදුව” ලෙසයි. එහිදී යම් සමාගමක කොටස් යම් ප්‍රමාණයක් යම් මිලකට මිලදී ගෙන, එම කොටස්වල මිල වැඩි වූ විට විකුණා දමයි. උදාහරණයක් ලෙස, ඔබ යම් සමාගමකින් කොටසක් රුපියල් 10 බැඟින් කොටස් 10,000ක් මිල ගෙන සතියකින් (හෝ පැය කිහිපයකින් වුවද) එම සමාගමේ කොටසක් රුපියල් 11ක් වූ විට, එම මිලට ගත් සියලු කොටස් විකුණා දමයි. එවිට එක කොටසකින් රුපියලක ලාභයක් ලැබෙන අතර, කොටස් 10,000කින් රුපියල් 10,000ක ලාභයක් ලබයි. මෙම ලාභය ප්‍රාග්ධන ලාභය (capital gain) ලෙස හැඳින්වෙනවා.

එහෙත් සමහර අවස්ථාවලදී ඔබ ලබා ගත් කොටස් ඔබ මිලදී ගත් පසුව ඒවායේ අගය අඩු වෙන්නට පුලුවන්. එවිට එම කොටස්වල අගයන් ඔබ අපේක්ෂා කළ ඉහල අගයට ළඟා වීමට විශාල කාලයක් ගත වීමටද පුලුවන්. එතෙක් ඉවසා සිටීමට බැරි නම්, ඔබට සිදු වේවි ගත් මිලටත් වඩා අඩුවෙන් එම කොටස් විකිනීමට. එවිට ඔබට ලැබෙන්නේ ප්‍රාග්ධන පාඩුවකි (capital loss).

ධනවතුන් හා ව්‍යාපාර කොටස් වෙළඳපොල තුල ආයෝජනය සිදු කළත්, විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්, තරුණ පිරිස්, හා එතරම් ධනයක් නැති අය බොහෝවිට සූදුව සිදු කරයි. එහි වරදක් නැත. පෞද්ගලිකව මාද ඊට කැමතිය. එනිසා මෙම සූදූව සිදු කරන අයුරු පසුවට තවදුරටත් කතා කරමු.
මඳක් සිතා බලන්න. යම් සමාගමක් තමන්ගේ කොටස් පළමුවරට විකුණා දැමූ පසු, සමාගමට අවශ්‍ය කරපු මුදල් ටික ඔවුන්ට ලැබී තිබේ. එම මුදල්වලින් ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ගනී. ඉන්පසු ලැබෙන ලාභය කොටස්හිමියන් අතරේ බෙදා ගනී. එහෙත් කොටස්හිමියන් සදාකල්හිම එම කොටස් තබාගෙන සිටින්නේ නැත. විවිධ හේතු නිසා ඔවුන් එම කොටස් තව අයට විකුණා දැමීමට පෙළඹේ. උදාහරණ ලෙස, තමන්ට හෝ පවුලේ හෝ හිතමිතුරකුගේ අවශ්‍යතාවකදී මුදල් අවශ්‍ය වන විට, ඔවුන් සතු මෙම කොටස් විකුණා දැමිය හැකිය (හරියට තමන්ගේ රං භාණ්ඩ උකස් කරන්නා සේ; තමන්ගේ වාහනය විකුණා දමන්නා සේ). එසෙත් නැතිනම්, සමාගමෙන් ලැබෙන ලාභාංශය ප්‍රමාණවත් නැතැයි ඔහුට සිතිය හැකියි.
කෙසේ හෝ වේවා, ප්‍රායෝගික තත්වය නම්, කොටස් ගත් අය නිරන්තරයෙන්ම එම කොටස් විකිනීම සිදු කරයි. එවිට, ඒවා මිලට ගැනීමටද පිරිසක් සිටී. දැන් සැපයුමක් මෙන්ම ඉල්ලුමක් පවතී. ඒ කියන්නේ ඉල්ලුම සැපයුම න්‍යාය මෙතැන ක්‍රියාත්මක වේ. එවැනි අවස්ථා කිහිපයක් ඔබගේ වැටහීම වර්ධනය වීම පිනිස සලකා බලමු.

      1.      ඔබට ඉතා හදිසියෙන් මුදල් අවශ්‍ය වේ. ඔබ සතුව කොටස් ඇත. එම කොටස් ඔබ බොහෝවිට බලන්නේ ගත් මිලට වඩා වැඩිපුර වැඩිම මිලට දෙන්නයි. උදාහරණ ලෙස, ඔබ කොටසක් ගත්තේ රුපියල් 20 බැඟින් නම්, ඔබ කොටසක් 200ට හෝ ඊටත් වැඩි ගණනකට විකිනීමට කැමති වනු ඇත. එහෙත් ගැටලුව වන්නේ ඒවා මිලට ගැනීමට කවුරුත් අකමැති වීමයි. ඔබගේ හදිසිය වැඩිය. එනිසා ඔබ එය 21ට විකිනීමට දමයි. සමහරවිට එම මිලටද ගැනීමට අය නැති වීමට හැකියි. එවිට ඔබ ගත් මිලටම (එනම් 20) විකිනීමට දමයි. එවිටද ගැනීමට කවුරුත් නැතැයි සිතමු. දැන් හදිසිය නිසාම එලෙස ඔබ ගත් මිලට වඩා අඩු මිලට ඒවා ඉදිරිපත් කළ හැකිය. ඉතිං, යම් අවස්ථාවකදී ගැනුම් කරුවන් එම අඩු මිලට මිල දී ගනීවි. මෙහිදි ඇත්තටම ඔබට සිදු වූයේ පාඩුවකි (ගත් මිලටත් වඩා අඩු මිලට විකිනීම). එහෙත් අපගේ හදිසි අවශ්‍යතා වැඩි වුණාම එවැනි දේ සිදු වීම සාමාන්‍ය දෙයක් බව ඔබ අත්දැකීමෙන්ම දන්නවානෙ.

      2 .      සිතන්න ඔබ යම් සමාගමක දැනටමත් කොටස් යම් ප්‍රමාණයක් හිමිකර ගෙන තිබෙනවා කියා. ඔබට දැන්  සිතෙනවා එම සමාගමේ “ලොකු අයිතිකාරයෙක්” හෝ අධ්‍යක්ෂකවරයෙකු වීමට. එහෙත් ඔබ සතු කොටස් ප්‍රමාණය ඒ සඳහා ප්‍රමාණවත් නොවේ. එනිසා, ඔබට “කොහොම හරි” තව තවත් කොටස් ගැනීමට අවශ්‍ය වෙනවා. ටිකක් වැඩිපුර මිලට හරි ඔබ ගන්නයි හදන්නේ. එවිට, දැනට කොටස් තිබෙන අය පෙළඹෙනවා ඔබට වැඩි මුදලකට කොටස් විකුනන්නට.

     3.      කොටස් වෙළඳපොල තුල ආයෝජකයන් දස දහස් ගණනක් සිටිනවානෙ (වෙනත් රටවල නම් ලක්ෂ ගණන් සිටිනවා). ඉතිං, මේ සෑම දෙනාම සිතන විදිය එකාකාර නොවේ. ඔබට ඒ ගැන වැටහීමක් කළ නොහැකිය. ශක්‍රයටවත් එය කළ නොහැකිය. ඉතිං, බොහෝ අය කරන්නේ කොටස්වල මිල ඉහල පහල යන රටාව අධ්‍යනය කර, වැඩි ඉල්ලුමක් සහිත කොටස් මිලට ගැනීමයි. එලෙස පෙළඹීට සාධාරණ හේතුවක්ද ඇත. එනම්, බොහෝ පිරිසක් යම් සමාගමක කොටස් වැඩි වැඩියෙන් ගැනීමට පෙළඹෙන්නේ එම සමාගම මේ කාලයේ හොඳින් ලාභ උපයන හෝ උපයන්නට යන නිසා කියා අපට සිතෙනවා. යම් බඩුවක් අප දන්න කියන බොහෝ දෙනා ගන්නා විට, එය ගැනීමට අපටත් සිතෙනවා නේද? ඉතිං, ඔබටත් මෙම රටාවට නතු වී ඒ ඒ විවිධ මිල ගණන්වලට කොටස් මිල දී ගැනීමට සිතේවි.

මේ ආදි ලෙස විවිධාකාරයේ හේතු මත විවිධ මිල ගණන්වලට කොටස් ගැනීම සිදු වේ. මෙම මිල ගණන් ඕනෑම මොහොතක වෙනස් වේ (fluctuation). එම වෙනස්වීම් කෙසේ කොපමණ කාලයක් වේවිදැයි නිශ්චිතවම කිව නොහැකිය. මේවා නිකංම අනුමාන (speculation) පමනි. කොටස් වෙළඳපොල තුල අනුමාන ඉතා වැදගත් හා බරපතල ආකාරයෙන් බලපෑම් ඇති කරයි. සමහරු කියන්නේ කොටස් වෙළඳපොල (හා විදෙස් විනිමය වෙළඳපොලත් - foreign exchange market – forex) දුවන්නේ ස්පෙක්‍යුලේෂන් මත බවයි. ඇත්තටම මෙම අනුමාන නිකංම (නූගත්) අනුමානද නොවේ. අනුමාන ඇති කර ගත හැකි ආකාර දෙකක් තිබේ.

     1.      තාක්ෂනික පදනම මත ඇති කර ගන්නා අනුමාන - මෙහිදී යම් කාලාන්තරයක් පුරාවට ඒ ඒ සමාගම්වල කොටස් විචලනය වීමේ රටාවට ප්‍රමුඛතාව ලබා දේ. උදාහරණයක් ලෙස, යම් සමාගමක පසුගිය දවස් කිහිපයේම කොටස්වල මිල ඉහල යෑමක් පෙන්වන්නේ නම්, අද දිනද එම ට්‍රෙන්ඩ් එක පවතීවි යනුවෙන් කෙනෙකු සිතිය හැකිය. මෙවැනි විශ්ලේෂන තාක්ෂනික විශ්ලේෂන (technical analysis) ලෙස හඳුන්වමු. මෙම අනුමාන කිරීම් තරමක් පහසුවෙන් කළ හැකිය. කොටස්වල හැසිරීම (එනම් මිලට ගැනීම් හා විකිනීම්) පිලිබඳ පැරණි දත්ත (statistics) තමයි අවශ්‍ය වන්නේ. ඒවා තැරැව්කාර ආයතනවලින් ලබා ගතද හැකියි.

     2.      රටේ මූලික කරුණු මත ඇති කර ගන්නා අනුමාන - මෙහිදී රටේ හා ලෝකයේ තත්වයන් හා ප්‍රවණතාවන් සැලකිල්ලට ගනී. උදාහරණ ලෙස, ලංකාවේ නැවත යුධ තත්වයක් ඇති වන්නේ නම්, ඉන් සංචාරකයන් පැමිනීම අඩු වේ. එය හෝටල්වලට නරකට බලපායි. ඒ කියන්නේ හෝටල් කර්මාන්තය පාඩු වේ. ඉතිං පාඩු විදින්නට යන හෝටල්වල කොටස්හිමියන් විගහට තම කොටස් විකුනා දැමීමට පෙළඹේ. මෙලෙස සැපයුම විශාල වන විට, ඉල්ලුම සැපයුම න්‍යාය අනුව එම කොටස්වල මිල විශාල ලෙස පහත වැටේ.

එලෙසම ඇමරිකාව වැනි රටවල පවතින ආර්ථික දේශපාලන තත්වයන්ද අපට බලපායි. මෙය ලියන මොහොත වන විටත් එවැන්නක් අපගේ කොටස් වෙළඳපොලට සිදු වෙමින් පවතී. මේ සමයේ ඇමරිකාවේ බැංකු පොලී එරට විසින් ඉහල දමා ඇති අතර, ඇමරිකානු සමාගම් විසින් අපගේ කොටස් වෙළඳපොලේ ආයෝජනය කර තිබෙන මුදල් ඉන් ඉවත් කර තම රටේ බැංකුවල තැන්පත් කරන බව විශේෂඥයන් කියයි (මෙලෙස ඩොලර් ලංකාවෙන් ඉවතට ඇදී යෑම නිසා ලංකා රුපියල බාල්දු වෙමින් ආර්ථික ගැටලුවක්ද මේ වන විට ඇති වෙමින් පවතී). මෙලෙස මූලික කරුණු මත ඇති කර ගන්නා විශ්ලේෂන ප්‍රමූලික විශ්ලේෂන
(fundamental analysis) ලෙස හඳුන්වමු.

ඔබත් ප්‍රාමානික බුද්ධිමතකු නම්, ඉහත ආකාරයේ විශ්ලේෂන ඔබටම සිදු කර ගත හැකියි. එහෙත් ඒ සඳහා ඔබට නිරන්තරයෙන් රටේ ලෝකයේ සිදුවන දේවල් ගැන අවබෝධයක් තිබිය යුතුය. ඒ ගැන ප්‍රමාණවත් තරම් උගත්කමක් තිබිය යුතුය. එහෙත් සංකීර්ණ කාර්යබහුල ලෝකයේ ඔබට එලෙස සිදු කළ නොහැකි වීමට පුලුවන්. එනිසා තැරැව්කරුවන් ඒ දේ ඔබ වෙනුවෙන් සිදු කර, ඒවායෙන් ලබා ගන්නා කරුණු මත හොඳ උපදෙස් ඔබට දෛනිකව ලබා දෙයි.

දැන් ඔබට වැටහෙනවා ඇති ඇත්තටම සමාගමට සල්ලි හිඟවෙන්නේ නැහැ කොටස් වෙළඳපොල තුල තම කොටස්වල අගයන් ඉහල පහල ගියා කියා (මොකද ඔවුන්ගේ සල්ලි දැන් ලැබී අවසන්නෙ). එහෙත් සමාගම් කැමැතියි තමන්ගේ කොටස්වල මිල පහල නොබැස ඉහලින් තියෙනවා නම්. ඒක සමාගමේ “රෙස්පෙක්ට් එකට” (කීර්ති නාමයට) හොඳයිනෙ. සමාගමේ කීර්ති නාමය හොඳයි නම්නෙ එම සමාගම සමඟ ගනුදෙනු කිරීමට තවත් සමාගම් හා පිරිස් පෙළඹෙන්නේ. කෙසේ වෙතත්, කොටස් වෙළඳපොල තුල ඇති කොටස්වලට “ගහා මරා” ගන්නේ (කොටස් එහෙට මෙහෙට විකුනා දමන්නේ හා මිලට ගන්නේ) ඉන් වාසි ගන්නට හදන “ආයෝජකයන්” වේ. බලාගෙන ගියාම එයත් පුදුම තත්වයකි. යම් මවාගත්තු තත්වයකි.