Skip to main content

ඉලෙක්ට්‍රෝනික්ස් IV (Electronics) - 16

එමිටර් රෙසිස්ටරය

හරි… දැන් ඕනෑම මයික් එකකට ගැලපෙන පරිදි පරිපථය සැලසුම් කරන හැටි දන්නවා. “හැමවිටම වාගේ” ට්‍රාන්සිස්ටරයේ එමිටරයට අප එමිටර් රෙසිස්ටරයක් සවි කරනවා. එමඟින් පරිපථයේ ක්‍රියාකාරිත්වය ගුණාත්මකව ඉහල යනවා. පළමුව එමිටර් රෙසිස්ටරය යෙදීම නිසා, එහි ඩීසී ක්‍රියාකාරිත්වයට සිදු වන බලපෑම බලමු (එනම්, නිවාත අගයන්ට බලපාන අයුරු).


එමිටර් රෙසිස්ටරයක් (RE) සවි කළ පසු, එමිටර් අග්‍රය තවදුරටත් කෙලින්ම භූගතයට සවි නොවන නිසා, එම අග්‍රයේ විභවය වෝල්ට් 0 නොවේ. එය භූගතයට සාපෙක්ෂව යම් ධන වෝල්ටියතා අගයක් වේවි. එය එමිටර් වෝල්ටියතාව (Emitter Voltage – VE) ලෙස හඳුන්වමු. මෙවිට, එම ට්‍රාන්සිස්ටරයේ බේස්හි වෝල්ටියතාව වන්නේ එම එමිටර් වෝල්ටියතාවට වෝල්ට් 0.7 ක වෝල්ටියතාවක් (VBE) එකතු කළ විට ලැබෙන අගයයි. එනම්, VB = VE + VBE .

එමිටර් රෙසිස්ටරයේ අගය සොයන්නේ එමිටර් වෝල්ටියතාව එමිටර්/කලෙක්ටර් ධාරාවෙන් බෙදීමෙනි. ඉතිං, එම අගයන්/සාධක දෙකම පරිපථය නිර්මාණය කරන කෙනා විසිනුයි තීරණය කරන්නේ. එමිටර් ධාරාව තීරණය කරන අයුරු අප මීට පෙර ඉගෙන ගත්තා.

එමිටර් වෝල්ටියතාව ලෙස සාමාන්‍යයෙන් වෝල්ට් 1ට වඩා වැඩි හා සැපයුම් වෝල්ටියතාවෙන් 1/3 ක පංගුවකට වඩා අඩු වෝල්ට් ගණනක් අපගේ අභිමතය පරිදි තීරණය කළ හැකිය. තවත් අය එමිටර් වෝල්ටියතාව සැපයුම් වෝල්ටියතාවෙන් 1/10 ක් ලෙස තැබීමට යෝජනා කරනවා.

ඊට අමතරව, ට්‍රාන්සිස්ටරයේ වෝල්ටියතාවන් සෙට් කරන තවත් ප්‍රචලිත ක්‍රමයක් ඇත. අප භාවිතා කරන්නට යන්නේ මෙම ක්‍රමයයි. එහිදී, සැපයුම් වෝල්ටියතාවෙන් හරි අඩක් VCE (එමිටරයට සාපෙක්ෂව කලෙක්ටර් වෝල්ටියතාව) සඳහා වෙන් කෙරේ සුපුරුදු ලෙසම. ඉතිරි භාගයෙන් ¼ ක් පමණ එමිටර් වෝල්ටියතාව සඳහාද ඉතිරි ¾ කොටස කලෙක්ටර් රෙසිස්ටරය දෙපස ඩ්‍රොප් වන වෝල්ටියතාව සඳහාද වෙන් කෙරේ. උදාහරණයක් ලෙස, සැපයුම් වෝල්ටියතාව වෝල්ට් 8ක් නම්, VCE = ½ VCC = 4V , VE = ¼ (½ VCC) = 1/8 VCC = 1V , VRC = ¾ (½ VCC) = 3/8 VCC = 3V ද විය යුතුය. මේ අනුව, සැපයුම් විභවයෙන් 1/8 ක් පමන එමිටරයට ලබා දෙයි.

ඒ අනුව කලෙක්ටර්/එමිටර් ධාරාව මිලිඇම්පියර් 10ක් ලෙසත්, එමිටර් වෝල්ටියතාව වෝල්ට් 1ක් ලෙසත් ගත් විට, එමිටර් රෙසිස්ටරයේ අගය 1V/10mA = 100Ω ලෙස ලැබේ. ඉතිං මෙම අගය ප්‍රිෆර්ඩ් අගයකි (ඒ කියන්නේ එම අගයෙන්ම කඩෙන් එය මිලදී ගත හැකිය).

එමිටර් රෙසිස්ටරය නිසා බේස් වෝල්ටියතාවත් ඉහල ගියානෙ. එනිසා, බේස් රෙසිස්ටර්වල අගයත් වෙනස් වෙනවා. උදාහරණයක් ලෙස ඉහත රූපය සැලකූ විට, බේස් වෝල්ටියතාව, VB = VE + VBE = 1V + 0.7V = 1.7V වේ. පෙර විස්තර කළ පරිදි ගණනය කළ විට බේස් ධාරාව IC/β = 10mA/150 = 66.7μA පමණ වේ. එවිට, ඉහත රූපයේ බේස් රෙසිස්ටර් අගය (VCC – VB)/IB = (6 – 1.7)V/66.7μA = 64k4 පමණ වේ. එහි ප්‍රිෆර්ඩ් අගය 62k හෝ 68k ලෙස ගත හැකිය.

එමිටර් රෙසිස්ටරය නිසා කලෙක්ටර් රෙසිස්ටර් අගයද කලෙක්ටරය මතට වෙන් කරන වෝල්ටියතාව මත වෙනස් කිරීමට සිදු වෙනවා. එමිටර් රෙසිස්ටරයක් නැති විට, අප සාමාන්‍යයෙන් (එමිටරයට සාපෙක්ෂව) කලෙක්ටර් වෝල්ටියතාව පවත්වාගෙන ගියේ සැපයුම් වෝල්ටියතාවෙන් ½ ක් වන පරිදිනෙ. VC = VCE + VE නිසා, එමිටර් රෙසිස්ටරයක් නැති විටක (එනම් එමිටර් වෝල්ටියතාව 0 වන විට), VC = VCE වේ. එහෙත් එමිටර් රෙසිස්ටරයක් යෙදූ පසු එම VC (භූගතයට සාපෙක්ෂව කලෙක්ටර් වෝල්ටියතාව) හා VCE (එමිටරයට සාපෙක්ෂව කලෙක්ටර් වෝල්ටියතාව) දෙක එකිනෙකට සමාන නොවේ.

ඉහත විස්තර කළ පරිදි එමිටර් රෙසිස්ටරය නැති විටත්, ඇති විටත් (වෙනසක් නැතිව) VCE = ½ VCC ලෙස පවත්වා ගෙන යෑම සාමාන්‍යයෙන් සිදු කෙරේ. එවිට, එමිටර් රෙසිස්ටරයක් නොමැති විට, VCE = VC නිසා කලෙක්ටර් වෝල්ටියතාව (භූගතයට සාපෙක්ෂව) ½ VCC වනු ඇත. එහෙත් එමිටර් රෙසිස්ටරය යෙදූ විට, එමිටර් රෙසිස්ටරය දෙපස ඩ්‍රොප් වන විභවය හෙවත් එමිටර් වෝල්ටියතාව (VE) අර VCE අගයට එකතු කළ යුතු වේ. එවිට, එමිටර් රෙසිස්ටරය සහිත විට, සැපයුම් වෝල්ටියතාව 8 V නම්, ඉහත කළ ගණනය කිරීම් අනුව කලෙක්ටර් වෝල්ටියතාව 4 + 1 = 5 V වේ. මෙහි 4 V යනු VCE වන අතර එය සැපයුම් වෝල්ටියතාවෙන් ½ කි; 1 V යනු VE වන අතර එය සැපයුම් වෝල්ටියතාවෙන් 1/8 කි.

එලෙසම VC අගය දැන ගත් විට, VRC = VCC – VC හෙවත් VRC = VCC – (VCE + VE) නිසා දැන් කලෙක්ටර් රෙසිස්ටරය දෙපස පාතනය වන වෝල්ටියතාව පහසුවෙන්ම දැනගත හැකිය. මේ විදියට පියවරින් පියවර VRC සොයා ගන්නවා වෙනුවට, ඉහත මා යෝජනා කළ ක්‍රමය අනුගමනය කරන්නේ නම්, කෙලින්ම සැපයුම් වෝල්ටියතාවෙන් 3/8 ක් ලෙසද එය සෙවිය හැකිය. දැන් මෙම වෝල්ටියතාව කලෙක්ටර් ධාරාවෙන් බෙදූ විට ලැබෙන්නේ කලෙක්ටර් රෙසිස්ටර් අගයයි.

එමිටර් රෙසිස්ටරය දැමූ විට පරිපථයේ ගුණාංග සියල්ලම පාහේ වෙනස් වේ (ධාරා වර්ධනය (β) හැරෙන්නට). ධාරා වර්ධනය තීරණය වන්නේ ට්‍රාන්සිස්ටරය නිෂ්පාදනය කරන විධිය මතනෙ (ඊට අමතරව උෂ්නත්වය, කලෙක්ටර් ධාරාව මතද ධාරා වර්ධනය විචලනය වන බව මීට පෙර දැන ගත්තානෙ). ට්‍රාන්සිස්ටරයේ ඉන්පුට් ඉම්පිඩන්ස් අගය, අවුට්පුට් ඉම්පිඩන්ස් අගය, වෝල්ටියතා වර්ධනය යන පරාමිතින්ට එමිටර් රෙසිස්ටරයෙන් ඇති වන බලපෑම දැන් සොයා බලමු. ඒ කියන්නේ දැන් අප සොයන්නට යන්නේ එමිටර් රෙසිස්ටරය පරිපථයේ ඒසී ක්‍රියාකාරිත්වයට බලපාන අයුරුයි.

මතකද කොමන් එමිටර් වින්‍යාසයේ පවතින ට්‍රාන්සිස්ටරයක ඉන්පුට් ඉම්පිඩන්ස් අගය (1+β)re වන බව පැවසුවා? මෙම සිම්පල් අකුරින් ලියන එමිටර් රෙසිස්ටරය (re) හා කැපිටල් අකුරින් ලියන එමිටර් රෙසිස්ටරය (RE) යනු එකක් නොව දෙකකි; න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒ දෙක එකිනෙකට වෙනස් දෙකකි. re යනු අප විසින් පිටින් සවි කරන රෙසිස්ටරයක් නොවේ. ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරි වන විට ඉබේම ට්‍රාන්සිස්ටරය තුල හට ගන්නා යම් ප්‍රතිරෝධ අගයකි. එය එමිටර් ධාරාව අනුව තීරණය වන බවත් අප දන්නවා (re = 25/IE(mA) ). එහෙත් RE යනු අප විසින් පිටින් යොදන රෙසිස්ටරයකි. මෙම ප්‍රතිරෝධ දෙකම ශ්‍රේණිගතව පවතී. ඒ කියන්නේ එමිටර් අග්‍රයේ සමස්ථ ප්‍රතිරෝධය මේ දෙකේ සමක ප්‍රතිරෝධයයි (එකතුවයි).

සාමාන්‍යයෙන් re අගය ඕම් දහයක් පහලොවක් පමණ වේ (සමහරවිට ඊටත් අඩුය). re = 25/IE (mA) යන සූත්‍රයට මිලිඇම්පියර 1ත් 10ත් අතර අගයන් යෙදූ විට ඕම් 25ත් 2.5ත් අතර අගයන් නේද ලැබෙන්නේ? එහෙත් සාමාන්‍යයෙන් RE අගය ඕම් සිය ගණනක් හෝ දහස් ගණනක් වේවි. එනිසා, එමිටර් රෙසිස්ටරයක් තිබෙන අවස්ථාවක re අගය RE ට වඩා 1/10ක් හෝ ඊටත් අඩුවෙන් පවතී නම්, re නොසලකා හැරිය හැකිය (කැමති නම්).

ඉතිං, ඉන්පුට් ඉම්පීඩන්ස් අගය සෙවීමට මුලින් අප දුටු (1+β)re යන සූත්‍රයේ re කියා තිබුණත්, ඇත්තටම එය එමිටර් අග්‍රයේ මුලු/සමක ප්‍රතිරෝධ අගයයි. එමිටර් රෙසිස්ටරයක් නැති විට සමක අගය නිකංම re පමණක් වේ. එනිසයි අපට එම සූත්‍රය එමිටර් රෙසිස්ටරයක් නැති අවස්ථාවේදී re විතරක් සහිතව මුලින් හමු වූයේ. එමිටර් රෙසිස්ටරයක් යෙදූ පසු එම සූත්‍රය

rin = (1+β)(re + RE)

ලෙස වඩා සාධාරණ/නිවැරදි ලෙස ලිවිය යුතුය. පෙර විස්තර කළ පරිදි, re ට සාපේක්ෂව RE අගය සාමාන්‍යයෙන් ඉතා විශාල නිසා, re නොසලකා හැරිය හැකිය. එවිට ඉහත සාධාරණ සූත්‍රය (1+β)RE ලෙස තවත් සරල වේ. දැන් ඉන්පුට් ඉම්පිඩන්ස් අගය සොයන හැටි ඉගෙන ගත්තා (එහි අමුතුවෙන් පාඩම් කිරීමට දෙයකුත් නැහැ).

දැන් බලමු වෝල්ටියතා වර්ධනය කොපමණදැයි. එමිටර් රෙසිස්ටරයක් නැති විටක, එය -RC/re යන සූත්‍රයෙන් සෙවිය හැකියි (තවත් සූත්‍රයක්ද තිබුණා). ඉන්පුට් රෙසිස්ටන්ස් සෙවූ විට යොදපු තර්කයම මෙහිදිත් යොදන්න. මෙහිත් re යොදා තිබෙන්නේ එමිටර් රෙසිස්ටරයක් නැති විටකයි. එය ඇති විටක, එම අගයත් re සමඟ ශ්‍රේණිගතව එකතු වේ. එවිට, එමිටර් රෙසිස්ටරයක් සහිත කොමන් එමිටර් වින්‍යාසයේ ඇති ට්‍රාන්සිස්ටරයක වෝල්ටියතා වර්ධනය

AV = -RC/(re + RE)

වේ. පෙර කියූ ලෙසම, RE ට සාපේක්ෂව re ඉතා කුඩා නිසා, re නොසලකා හැරිය හැකිය. එවිට එම සූත්‍රය -RC/RE ලෙස තවදුරටත් සරල වේ. ඔබ හොඳින් බැලුවොත් පෙනේවී එමිටර් රෙසිස්ටරය දැමීමෙන් වෝල්ටියතා වර්ධනය ඉතා විශාල ලෙස අඩු වෙනවා. මා ඉහතදී යෝජනා කළ ක්‍රමය අනුව, එමිටර් වෝල්ටියතාව සැපයුමේ වෝල්ටියතාවෙන් 1/8 ක් ලෙස හා කලෙක්ටර් වෝල්ටියතාව3/8ක් ලෙස පවත්වාගෙන ගියොත් පහත සුලු කිරීමෙන් පෙන්වා දෙන පරිදි වෝල්ටියතා වර්ධනය 3 ක් වැනි කුඩා අගයක් දක්වා අඩු වේ.

De-coupling Capacitor

ඉහත සුලු කිරීමෙන් පෙන්වා දුන් පරිදි එමිටර් රෙසිස්ටරයක් දැමීමෙන් වෝල්ටියතා වර්ධනය ඉතා විශාල ලෙස අඩු වේ. එය පාඩුවකි. කුඩා ප්‍රමාණයකින් අඩු වීම එතරම්ම ගැටලුවක් නොවේ; මේ තරම් ප්‍රමාණයක් අඩු වීම නම් පිලිගත නොහැකිය. ඇත්තටම මෙම පාඩුව විශාල ලෙස අවම කර ගත හැකිය. ඒ සඳහා අපගේ සහයට එන්නේ කැපෑසිටරයයි. පහත රූපයේ ආකාරයට කැපෑසිටරයක් එමිටර් රෙසිස්ටරය “වට වන සේ” (එනම්, රෙසිස්ටරයේ අග්‍ර දෙපස) හෙවත් රෙසිස්ටරය සමඟ සමාන්තරගතව යොදයි.


කැපෑසිටරයක් නැති විට සංඥා ගමන් කරන්නේ රෙසිස්ටරය හරහාය. එම රෙසිස්ටරය හරහා සංඥා ගමන් කරන නිසානෙ වෝල්ටියතා ගේන් එක අඩු වන්නේ. ඉතිං අපට හැකියි නම් සංඥා එම රෙසිස්ටරය හරහා යන්නට නොදී කෙලින්ම එමිටර් අග්‍රයේ සිට භූගතයට යවන්නට වෝල්ටියතා ගේන් එක අඩු වීම වලක්වා ගත හැකියි නේද? මෙවිට සංඥාවට දැනෙනු ඇත්තේ එමිටර් රෙසිස්ටරයක් සම්බන්ද කර නැති අවස්ථාව මෙනි. ඔව්, එය පහසුවෙන්ම සිදු කළ හැකියි ඉහත ආකාරයට කැපෑසිටරයක් රෙසිස්ටරයට සමාන්තරගතව සවි කළ විට. ඒ කෙසේද?

එමිටර් අග්‍රයෙන් සංඥා (ඒසී විදුලිය) පහලට ගලා ගෙන එයි. ඊට භූගතය තෙක් ගලා යෑමට දැන් මාර්ග දෙකක් ඇත (රෙසිස්ටරය හා කැපෑසිටරය සමාන්තරගත නිසා). එවිට, ඒ මාර්ග දෙක ඔස්සේම ධාරාව බෙදී ගමන් කරයි (එය විදුලියේ ස්වභාවය බව අප නිතර නිතර මතක් කර ගත යුතුයි). එසේ ධාරාව බෙදෙන්නේ එම ගමන් පථයේ ඇති ප්‍රතිරෝධය අනුවයි; ප්‍රතිරෝධය අඩු වන තරමට ධාරාව වැඩියෙන් යයි. එමිටර් ප්‍රතිරෝධය නිශ්චිතයිනෙ (එහි ඕම් ගණන අප දන්නවා). දැන් අප කරන්නට අවශ්‍ය වන්නේ කැපෑසිටරය සහිත පථයේ ඕම් ගණන රෙසිස්ටරයට වඩා ඉතා අඩු වන ලෙස (එනම් 1/10 ක් වත් අඩුවෙන්) තැබීමයි. එය කළ හැකියි 1/(2 π f C) සූත්‍රයට අනුව කැපෑසිටර් අගය අවශ්‍ය තරම් විශාල කරමින්.


මෙවිට සංඥා ධාරාවෙන් ඉතා විශාල ප්‍රමානයක් කැපෑසිටරය හරහා ගමන් කරාවි. ඉතා කුඩා සංඥා ධාරාවක් තමයි රෙසිස්ටරය හරහා ගමන් කරන්නේ. කැපෑසිටරයේ අගය තව තවත් වැඩි කිරීමෙන් ඔබට රෙසිස්ටරය හරහා යන කුඩා ධාරාවත් තව තවත් කුඩා කළ හැකියි.

මතකද අප මීට පෙර කප්ලිං කැපෑසිටර් ගැන කතා කළා? එහිදී කැපෑසිටරය විසින් සිදු කළේ සංඥා ගමන් කරන එක් මාර්ගයක් තවත් මාර්ගයකට සම්බන්ද කිරීම හෙවත් couple කිරීමයි. එහෙත් මෙතැන සිදු වන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයයි. එනම්, එමිටරය හරහා ගලා යෑමට තිබූ සංඥාව ඒ හරහා ගමන් කරන්නට නොදී වෙනත් මඟක් (කැපෑසිටරය) තුලින් යෑමට සැලැස්වීමයි. එය සංඥා වියදුම් කිරීම හෙවත් සංඥා විතැන් කිරීම ලෙස හැඳින් වේ (ඉංග්‍රීසියෙන් signal decoupling යැයි කියයි). සංඥා වියෑදුම්/ඩිකප්ල් කරන නිසා, එම කැපෑසිටරය decoupling capacitor (වියඳුම් ධාරිත්‍රකය) ලෙස හැඳින් වේ. රෙසිස්ටරය මඟහැර හෙවත් “බයිපාස් කර” සංඥාව ගමන් කර වූ නිසා ඩිකප්ලිං කැපෑසිටරයම විපථ ධාරිත්‍රකය (bypass capacitor) ලෙසත් හැඳින් වේ.

දැන් කෙනෙකුට ගැටලුවක් ඇති විය හැකියි සංඥා එසේ බයිපාස් කරනවා නම් එමිටර් රෙසිස්ටරයක් යෙදීමෙන් වැඩක් නැහැනෙ කියා. ඔබ මෙතැන පටලවා ගන්නා තැන එයයි. අප එමිටර් රෙසිස්ටරයක් යෙදුවේ පරිපථයේ නිවාත/ඩීසී විදුලියට බලපෑමක් ඇති කිරීමටයි (සුලු මොහොතකින් මෙහි වාසි බලන විට එය තවත් පැහැදිලි වේවි). එහෙත් රෙසිස්ටරයට විදුලිය ඒසීද ඩීසීද යන්නෙහි වැදගත්කමක් නැත. ඉතිං එම රෙසිස්ටරය “අනවශ්‍ය ලෙස” ඒසී/සංඥා විදුලියටද බලපෑම ඇති කරයි; අන්න එම බලපෑම තමයි බයිපාස් කැපෑසිටරය විසින් වලක්වන්නේ. ඔබ දන්නවා කැපෑසිටරයක් හරහා ගලා යා හැක්කේ ඒසී විදුලියකටම පමණයි. එනිසා, නිවාත/ඩීසී ක්‍රියාකාරිත්වයට බයිපාස් කැපෑසිටරයෙන් කිසිදු බලපෑමක් නැත; ඩීසී විශ්ලේෂනයේදී එම කැපෑසිටරය තිබුණත් නැහැ වගෙයි.

දැන් අපි සොයා බලමු බයිපාස් කැපෑසිටරයේ අගය හරියටම සොයන විදිය. ගලා යන සංඥාවේ පවතින කුඩාම සංඛ්‍යාතය පළමුව දැන ගන්න. උදාහරණයක් ලෙස මිනිස් කනට ඇසෙන ශබ්ද සංඥාවක් නම් එම අවම සංඛ්‍යාතය 20 Hz වේ. ඉන්පසු බයිපාස් කරන රෙසිස්ටරයේ මුලු ඕම් ගණනද දැනගත යුතුය (ඒ කියන්නේ අපගේ පරිපථයේදී එය එමිටර් රෙසිස්ටර් අගයයි). පෙරත් සඳහන් කළ සේ, මෙම ප්‍රතිරෝධ අගයට වඩා බොහෝ අඩු ප්‍රතිරෝධයකුයි කැපෑසිටරයේ ප්‍රතිබාද අගය ලෙස පැවතිය යුත්තේ. උදාහරණයක් ලෙස, එමිටර් රෙසිස්ටර් අගය කිලෝඕම් 1ක් නම්, ධාරිත්‍රක ප්‍රතිබාදය ඕම් 100ක් හෝ ඊට අඩු විය යුතුය. ඉතිං, මෙම 20 Hz, 100 Ω අගයන් 1/(2 π f R) යන සූත්‍රයට ආදේශ කරන්න. එවිට, 1/ (2 x 3.14 x 20 Hz x 100 Ω) = 79.6 μ ලැබේ. මේ සඳහා 82 μ යන ප්‍රිෆර්ඩ් අගය සහිත කැපෑසිටරයක් යෙදිය හැකිය.

ඇත්තටම ඩිකප්ලිං කැපෑසිටරය විසින් සිදු කරන්නේ “ඉහල සංඛ්‍යාතයන්” භූගත කිරීමයි. ඒ කියන්නේ අඩු සංඛ්‍යාතයන්ට යන්නට සලසා ඉහල සංඛ්‍යාතයන් ෆිල්ටර් කරයි. එනිසා බයිපාස් කැපෑසිටරය ලෝපාස් ෆිල්ටරයක් (LPF) ලෙසද ඔබට පැවසිය හැකිය. මතකද එලෙසම අප හඳුනා ගත්තා කප්ලිං කැපෑසිටරය හයිපාස් ෆිල්ටරයක් බව?

බයිපාස් කැපෑසිටරය ලෝපාස් ෆිල්ටරයක්ද වන බැවින්, එය අප යොදා ගන්නවා සංඥාව සමඟ මුසුව පවතින ඝෝෂාවන් (සංඥාව සමඟ පවතින ඝෝෂාවට ඇත්තේ ඉහල සංඛ්‍යාතයන්ය) සංඥාවෙන් ගලවා දමා භූගත කිරීමට. එනම් ඝෝෂා පෙරනයක් (noise filter) ලෙසද පරිපථයක අවශ්‍ය තැන්වල බයිපාස් කැපෑසිටර් යෙදිය හැකිය. එවිට බයිපාස් ෆිල්ටරයම සමහරවිට noise filtering capacitor හෝ filter capacitor ලෙසත් හැඳින්විය හැකියි.

ඩිජිටල් පරිපථවල විවිධ ඩිජිටල් අයිසී ඇත. ඒවාට විදුලිය සපයන ධන මාර්ගය දිගේ මෙවන් බයිපාස් ෆිල්ටර් සවි කෙරේ (එකක් නොව සමාන්තරගතව කැපෑසිටර් කිහිපයක්/පොකුරක් එකට සම්බන්ද කෙරේ). පරිගනක මදර්බෝඩ් එකක් බැලූ විට කුඩා වැලි කැට සේ පෙනෙන smd උපාංග සිය ගණනක් හෝ දහස් ගණනක් දැකිය හැකි අතර, ඉන් අඩකටත් වැඩිය තියෙන්නේ ඇත්තටම මෙසේ සවි කරපු ෆිල්ටර් කැප් තමයි. ඩිජිටල් පාඩම්වලදී මේ ගැන ගැඹුරින් සලකා බලමු.

එලෙසම, ඕනෑම පරිපථයකට විදුලිය සපයන විදුලි සැපයුමේ ධන වයරයේ සමහර තැන්වල මෙවන් බයිපාස් කැපෑසිටර් සවි කෙරේ. එහිද රාජකාරිය වන්නේ සුමට ධන විදුලියක් සැපයිය යුතු ධන වයරය ඔස්සේ ගමන් කරන ඝෝෂා ෆිල්ටර් කිරීමයි. බයිපාස් ෆිල්ටරයක් මෙවන් ප්‍රයෝජන සඳහා යොදා ගන්නා අයුරු විස්තරාත්මකව පසුවට සලකා බලමු.

බයිපාස්/ෆිල්ටර් කැප් හරහා සංඥාව භූගත වීම සිදු වෙනවා මිස, සංඥාව අධියරයෙන් අධියරයට ඉදිරියට රැගෙන යන්නේ නැත. එනිසා කැප් එක ඉතා ඉහල ගුණාංග තිබීම අත්‍යවශ්‍ය නොවේ. එනිසාම මේ සඳහා ලාභෙට මිල දී ගත හැකි සෙරමික් කැපෑසිටර් යොදා ගත හැකිය. ඉලෙක්ට්‍රලිටික් කැපෑසිටර්ද යොදා ගත හැකිය.

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් ඩවුන්ලෝඩ් කර ගැනීම

මෙම බ්ලොග් එකෙහි කොටස් වශයෙන් පළකළ ඉංග්‍රීසි පාඩම් මාලාව තනි පොතක් ලෙස ඊ-බුක් එකක් ලෙස පහත ලින්ක් එකෙන් ඔබට ඩවුන්ලෝඩ් කරගත හැකිය. පහසුවෙන් ඉංග්‍රිසි කඩිනමින් PDF