Skip to main content

යථාරූප

ඔපදූප හා ස්ටාර් උන්මත්තක රූපවාහිනි රටාවෙන් බැහැරව  බොහෝ කලකට පසුව වටිනා වැඩසටහන් මාලාවක් දැන් රූපවාහිනි නාලිකාවේ දකින්නට ලැබීම සතුටට කරුණකි. යථාරූප ලෙස නම් කර ඇති එය සෑම බ්‍රහස්පතින්දා දිනකම රාත්‍රි 10.15ට පමණ විකාශය වේ. තවමත් නැවුම් වැඩසටහනක් වන එය ඉතා අගනා සමාජ පැති කඩවල් විමර්ෂනය කරන බවක් පෙනේ. කිහිප විටකම මේ ගැන සටහනක් තබන්නට සිතා සිටියත් අදයි ඒ සඳහා ඉඩහසර ලැබුණේ. පළමුව රූපවාහිනියටත් එය ඉදිරිපත් කරන මා හිතවත් වෛද්‍ය සමිතටත් සුභ පතමි.

අඳුරේ ගිලී පවතින සමාජයකට ආලෝකය ලබා දිය හැක්කේ වනචාර දේශපාලුවන්ට නොව අධ්‍යාපනයෙන්ය. විශේෂයෙන්ම විද්‍යුත් ජනමාධ්‍යයට එම ව්‍යායාමයේ වැඩිපුර බරක් ඉසිලීමට හැකියාව ඇත. ජනසමාජය සුවපත් කරන බුද්ධිමත් කරන ආලෝකමත් කරන බැරෑරුම් කාර්යේ පුරෝගාමින් ලෙස ඔවුන් ඉදිරිපත් විය යුතුය.

රටට වඩා අවශ්‍ය වන්නේ රටවැසියාගේ මනස හා ආකල්ප ශක්තිමත් කිරීම මිස, ඔවුන්ට කෑම බීම, ඔවුන්ගේ පාරවල් සාදා දීම නොව. අද ලාංකික මහජනයා දැනුමින් මෙන්ම බුද්ධියෙන්ද ධීන වී සිටී. භෞතිකව හාල් මල්ලක් පොත් මල්ලක් බෙදන මහලොකු සමාජ සේවකයන් යැයි කියා ගන්නා ෂෝකාරයින් එම හාල් හෝ පොත් මල්ල ලබා දෙන්නේ එය ලබන කෙනා තවත් ආකල්ප හා පෞරුෂ හීන තත්වයකට ඇද දමමින්ය මක්නිසාද යත්, ඒ සොච්චම් දේ ලැබුමට ලෝකයක් ඉදිරියේ දුක්මුසු කාලකන්නි ස්වරූපයෙන් පැමිණ, කොන්ද දණහිස තෙක් නමා එය ලබා ගැනීමේ රඟ දැක්වීම කිරීමට පෙළඹවීමෙනි. දෙන දේ සුවඳ යැයි සිතා, ලබන කෙනාට ඔහුගේ පෞරුෂය අභිමානය රැකෙන ලෙස එය ලබා ගැනීමට කටයුතු නොසලස්වන්නේ ඇයිද යන ප්‍රශ්නය ගැන සිතුවොත් මහාලොකු බඩුපොට්ටනි බෙදන මීඩීයා කාරයන්ගේ නියම ස්වභාවය හැඳින ගත හැකිය.

නැවතත් යථාරූප වැඩසටහන ගැන සිතුවොත් ඒ ගැනද යමක් කීමට තිබේ. විශේෂයෙන් අද වැඩසටහනේ මෝහනය ගැන පැවසූ සමහර කරුණු යම් පක්ෂපාති හා යම් එදිරිවාදිකමක් පිරිමැසීමට යොදා ගත් බවක් සියුම්ව බැලූ විට පෙනේ.

මෝහනය යන ක්ෂේත්‍රයේ නියැලෙන කිහිප දෙනෙකුගේ වංචාකාරි හැසිරීම (එනම්, තමන් වෛද්‍යවරයකු බව හැඟවෙන සේ ක්‍රියා කිරීම) එම ක්ෂේත්‍රයෙන් පලි ගැනීමට හේතුවක් නොවිය යුතුය. කෙලින්ම එම අධම වැඩේ කරන (ප්‍රසිද්ධ) වංචනිකයන්ගේ නම් පැවසුවා නම් ඊට වඩා ශිෂ්ට සම්පන්න විය හැකිව තිබුණි.

තවද, ප්‍රලය වීම, ආවේශය මිථ්‍යාවක්ය යන මතය ගැන වැඩිම අවධානය යොමු කිරීම නිසා වෛද්‍ය රූමි මහතා (බොහෝවිට නොදැනුවත්ව) අතින් කෙරුණු සමහර පැහැදිලි කිරීම් අසාර්ථකය. උදාහරණයක් ලෙස, මෝහනයෙන් අතීත භවයකට යා හැකිද වැනි ප්‍රශ්නයට ඔහු දුන් පිළිතුර අසාර්ථකය. මෝහන විෂය තුල අතීතයට ගෙන යෑමක් හෙවත් ප්‍රතිගමනය (regression) ගැන ඉගැන්වේ. ඒ විතරක්ද නොවේ, ඉදිරි භවයන්ට යෑම (progression) පවා සිදු වේ. ඇත්තටම මෙහිදී පසු හෝ ඉදිරි භව වලට යෑමක් සිදු නොවේ (පුනර්භවයක් කියා දෙයක් නැත). එය සිතේ මවාගන්නා මනෝ තත්වයක් පමණි. එහෙත් එම යථාර්ථවාදී නොවන මනෝතත්වය පවා යොදාගෙන ප්‍රතිකර්ම සිදු කෙරේ. එහි ඇති වරදක් නැත. ඕනෑ තරම් සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේදීත් මෙවන් තත්ව වලින් ප්‍රයෝජන ලබා ගැනේ. ප්ලැසීබෝ පෙති පවා නිපදවන්නේ එනිසානෙ. අභාග්‍යකට මෙන් ඒ බැව් විද්‍යාත්මකව පහදා නොදී ඔහු එතැනදී මෝහනය දෙකහි පනහට දැමුවේය.

නිතර නිතර ඔවුන් පැවසූ ලෙසම මෝහනය යනු කෝකටත් තෛලය නොවේ. එය පහතට දමා දෙවැනි පංතියේ දෙයක් ලෙස කතා කළ යුතු දෙයක්ද නොවේ. වෛද්‍ය විද්‍යාවට එය තරග කරුවෙකුද නොවේ. මෝහනය යනු වෙනමම ස්වාධීනව හැදී වැඩුණු තත්වයකි. ඉතිහාසය බලන විට, වෛද්‍ය විද්‍යාවේ මාතෘත්වය පවා සමහරවිට මෝහනය විය හැකි තරමට එය පැරණිය. තවද, එහි ෆ්‍රොයිඩ් ගැනද කියවිණි. ෆ්‍රොයිඩ්ගෙන් මෝහනයට ලැබුණු වටිනාකමක් නොමැත (ඒ වෙනුවට ෆ්‍රොයිඩ්ගේ විකල්පය වූයේ psychoanalysis ය). එදා සිටම වෛද්‍යවරුන් මෝහනයට එදිරි වූයේය (ඊට හේතු වෙනම සලකා බැලිය යුතුය). ඉතිං අද වැඩසටහන තුලත් සිදු වූයේ එයමයි. එහෙත් මෝහනය කිසිකමකට නැති ජ්‍යොතිෂය වැනි දෙයක් ලෙස හෙලා නොදැක ඉන් රූමි මහතාද ප්‍රයෝජනය ලබන බව පෙන්වීම තරමක් හෝ පැසසිය යුතුය.

එක් දෙයක් පැහැදිලි විය. රූමි මහතා මෝහනය ඉගෙන තිබෙන්නේ පැරණි සාම්ප්‍රදායික ක්‍රමවේද ඔස්සේය. මෝහනය යනු කුමක්දැයි ඔහු ලබා දුන් අර්ථ කථනය (නින්දක් වගේ කීම) පවා මෝහනය යන්නට ආදී කාලයේ දී තිබෙන නරකම අර්ථ දැක්වීම්වලින් එකකි. මානසිකව දුර්වල අයවයි මෝහනයට පත් වන්නේ කීම අනෙක් කෙප්පයයි. හැමකෙනාම එනිසා මෝහනය කළ නොහැකිය යනුද මුසාවකි. මේ සියලු දේවල් අතීතයේ මෝහනයට අයත් දේවල්ය. ඒ ඔහු ඒ කාලයේ ඉගෙන තිබෙන විදිය වෙන්න ඇති. එනිසා ඔහු නූතන මෝහනය ගැන නැවත සොයා බැලිය යුතුය.

බොහෝ දෙනෙකුට එකවර නොවැටහෙන තත්වයක් තිබේ. එනම්, බොහෝ උගතුන් තමුන්ගේ ක්ෂේත්‍රය ගැන දැනුම යාවත්කාලීන කිරීමට අපොහොසත් වීමයි. කාර්යබහුල වීම නිසා හෝ තමන්ගේ වෘත්තිය/ආදායම් මාර්ගය ස්ථිර වූ පසුව තම දැනුම යාවත්කාලීන කිරීම මඟහැරෙන ස්වභාවයක් තිබේ. එය වඩාත්ම දැකගත හැක්කේ පාසල් ගුරුවරුන් තුලයි.

මාද විනෝදාංශයක් ලෙස මෝහනය කරන්නෙකු බැවින්ද, මාගේ බ්ලොග් එකෙහි මෝහනය ගැන විශාල විස්තරයක් ලියා අනෙක් අයට ඉගෙන ගන්නට අවස්ථාව සලසා දී තිබෙන නිසාද, ඉහත කරුණු සැකෙවින් හෝ ලියා තැබීමට සිත් විය.

අවසාන වශයෙන් වැඩසටහනට නව මානයක් යෝජනා කිරීමටද කැමතියි. එනම්, විද්‍යාව යනුද යථාරූපය (reality) නොවන බව ජනයාට ඉගැන්වීමයි. ජ්‍යොතිෂය, යන්ත්‍ර මන්ත්‍ර ආදිය "මිත්‍යා" ලෙස දක්වමින් විද්‍යාව යනු සත්‍ය ලෙස දැක්වීමද මුලාවකි. මිත්‍යා ලෙස හඳුන්වනු ලබන දේ වේවා, විද්‍යාව වේවා මේ සියල්ලම දැනුම් පද්ධති වේ. ඒවා මානවයාගේ නිර්මිතයන්ය. නිශ්චිතවම ලෝක ස්වභාවය කියා දෙයක් තිබුණත් නැතත් එය අද වනතුරුත් විද්‍යාවෙන් සොයාගෙන නැත (ආගම්වලින් නම් සොයාගත් බවක් කියුවත් ඒවාද හුදු ප්‍රලාප වේ). එහෙත් අනෙක් දැනුම් පද්ධතිවලට වඩා විද්‍යාවේ විශේෂතා ඇත. එහි ප්‍රායෝගික වටිනාකමක් ඇත. ඉන් සොයා ගත් දේ කරලා පෙන්විය හැකියි. නැවත නැවතද කළ හැකියි නිශ්චිතතාව එකම ලෙස පවත්වාගනිමින්. එබැවින් විද්‍යාව ප්‍රායෝගික සත්‍යයක් ලෙස පෙන්විය යුතුය (එහෙත් විද්‍යාව යථාර්ථය නොවේ). එහි වටිනාකම පෙන්විය යුතුය. විද්‍යාව තව තවත් නිර්මාණය කිරීමේ හා වැඩිදියුණු කිරීමේ වැදගත්කම පෙන්විය යුතුය. එහෙත් යථාරූපය විනිවිද දැකුමට නම්, මේ සියල්ලම නිර්මිත ප්‍රලාප බවද පෙන්වා දී නියම ආලෝකය ජනයාට ලබා දිය යුතුය. මා නැවතත් මා මිත්‍ර වෛද්‍ය සමිතට සුභ පතනවා වැඩසටහන බොහෝ කාලයක් ඉදිරියට කරගෙන යෑමට ලැබේවා යැයි ආශිර්වාද කරමින්...

Comments

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...