Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala) - 1


Quantum (ක්වන්ටම්) යන වචනය අන්තර්ජාලයෙ හා වෙනත් ලිපි තුල නොයෙකුත් ක්ෂේත්‍රවල යොදා ගනු ලබන බව පෙනෙනවා. ක්වන්ටම් න්‍යායන් ඔස්සේ ආගමික සිද්ධාන්ත සාධනය කරන අය, යන්ත්‍රමන්ත්‍ර ආදිය ඔප්පු කරන්න උත්සහ කරන අය පවා ඒ අතර සිටී. ඊටත් අමතරව, විද්‍යා ප්‍රබන්ද හා බැලූබැල්මට විද්‍යාත්මක දේවල් යැයි සිතෙන නමුත් තවමත් විද්‍යාත්මක නොවන බොහෝ දෑ ක්වන්ටම් යන ලේබලය යටතේ විස්තර කර ඇත. උදාහරණයක් ලෙස, ලංකාවේ සිටින ප්‍රකට විද්‍යාඥයකු වන ආචාර්ය ග්‍රැන්විල් ධර්මවර්ධන පවා සිත යනු ක්වන්ටම් සංසිද්ධියක් යැයි නිතරම පවසනු මා අසා ඇත. එහෙත් විද්‍යා සමාජය තුල සිත යනු හරියටම කුමක්දැයි නිර්වචනය කර නොමැති අතර එය කිසිසේත් ක්වන්ටම් මඟින් තවමත් පැහැදිලි කරද නැත. එය ඔහුගේ හා ඔහුගේ පිරිවරේ මතය පමනි. ඉතිං, මේ සියලු අනවශ්‍ය හා අවිද්‍යාත්මක දේවල් බැහැර කර ගත් විට, ඇත්ත ක්වන්ටම් විද්‍යාව හමු වේ. ඒ හැරත් මේ සියලු මනස්ගාත සමඟ ක්වන්ටම් විද්‍යාව අධ්‍යනය කිරීම ඇරඹිය නොහැකිය.
 
විද්‍යාව (science) යනු තත්කාලයේ (ඒ කියන්නේ කතා කරන මොහොත වන විට) විද්‍යා සමාජය විසින් සම්මත විද්‍යාත්මක පර්යේෂන ක්‍රමවේද (scientific method) ඔස්සේ ඔප්පු කර තිබෙන දැනුම් පද්ධතියකි (knowledge system). විද්‍යාව සෑම තත්පරයක් පාසාම දියුණු වෙමින් පවතී. එනිසා පැරනි කාලයේ විද්‍යාව යටතේ ගැනුනු සමහර න්‍යායන් යටපත් කර අලුත් විද්‍යාත්මක න්‍යායන් ඉදිරිපත් කෙරේ. එය විද්‍යාවේ ස්වභාවය වන අතර විද්‍යාවේ දියුනුවට එම ස්වභාවය ඇත්තටම ශක්තියකි (විද්‍යාව නොදන්නා සමහර අමනයන්ට නම් එම ගතිලක්ෂණය පෙනෙන්නේ විද්‍යාවේ දුර්වලකමක් ලෙසයි). එනිසයි විද්‍යාව යනු විවෘත දැනුම් පද්ධතියක් වන්නේ (ආගමික දැනුම් පද්ධති සංවෘත වන නිසා ඊට අලුතින් දේවල් අපට එකතු කළ නොහැකිය).
 
එසේ වුවත්, අපගේ පරිකල්පන ශක්තිය මත ගොඩනඟන බැලූබැල්මට විද්‍යාත්මක යැයි පෙනෙන න්‍යායන් විද්‍යා සමාජය පිලිගත් පර්යේෂන ක්‍රමවේදවලින් ඔප්පු කරන තෙක් ඒවා කොතරම් ඉස්තරම් වගේ යැයි පෙනුනත් ඒවා විද්‍යාව ලෙස නොසැලකිය යුතුය. කොතරම් ලෝකපූජිත විද්‍යාඥයකු (ස්ටීවන් හෝකිං වැනි) හෝ ආයතනයක් (නාසා වැනි) වුවද පවසන දෙයක් විද්‍යාත්මක නොවේ එය විද්‍යා සමාජය විසින් පිලිගන්නා තුරු. ලංකාව තුලත්, පිටරටවලත් බොහෝ අය හා ජනමාධ්‍ය මේ කරුණ වටහගෙන නැති බවක් පෙනේ. විද්‍යාව යැයි ඔවුන් විස්තර කර දක්වන බොහෝ දෙවල් හුදු න්‍යායන් පමනි. අතීතයේ සිටම අද දක්වාම විවිධ අය විසින් ඉදිරිපත් කරන එවැනි න්‍යායන් (theory) බොහෝ ප්‍රමාණයක් විද්‍යාව ලෙස පිලිනොගෙන කුනු බක්කියට යන බව බොහෝ අය නොදනී. ඔබටද මටද ඕනෑ තරම් න්‍යායන් ඉදිරිපත් කළ හැකිය. එය මහා ලොකු කජ්ජක් නොවේ. ක්වන්ටම් විද්‍යාව ගැන ඉගෙනීමේදී මේ කරුන ඉතා හොඳින් අවබෝධ කර ගෙන සිටිය යුතු යැයි මා සිතනවා.
 
ක්වන්ටම් විද්‍යාව (quantum science), ක්වන්ටම් භෞතික විද්‍යාව (quantum physics), ක්වන්ටම් යාන්ත්‍රණය (quantum mechanics) ලෙස විවිධ නම්වලින් හමුවන එය විද්‍යාවේ එක් ගැඹුරු පැතිකඩකි. අද වන විට, ක්වන්ටම් විද්‍යාව මත පදනම්ව අනෙක් විද්‍යාවන් හා තාක්ෂණයන් අධ්‍යනය කර පැහැදිලි කරනවා. ඒ අනුව, ක්වන්ටම් රසායනය (quantum chemistry), ක්වන්ටම් ජීව විද්‍යාව (quantum biology), ක්වන්ටම් පරිගනක විද්‍යාව/තාක්ෂණය (quantum computing) ආදි විෂයන්ද හමු වෙනවා. බලං ගියහම එහි අරුමයකුත් නැත මොකද භෞතික විද්‍යාවෙන් සොයා බැලෙන දේවල් යනු විශ්වය තුල පවතින සෑම දෙයකම ක්‍රියාකාරිත්යන් වේ.
 
අනෙක් විද්‍යා පැතිකඩවල් මෙන් නොව මෙය ඉතා සියුම්ය. බොහෝවිට අප එදිනෙදා ජීවිතයේ අත්දැක තිබෙන දේවලට වඩා වෙනස්ය ක්වන්ටම් ලෝකයේ තිබෙන “දේවල්වල” හැසිරීම. එනම්, අප අතීතයේ සිට අදද ඉගෙන ගන්නා සාමාන්‍ය විද්‍යාව හා සාමාන්‍ය භෞතික විද්‍යාවට වඩා එය බොහෝ ගතිගුණවලින් හාත්පසින්ම වෙනස් වේ. සාමාන්‍ය (භෞතික) විද්‍යාව අප සම්භාව්‍ය විද්‍යාව (classical science/physics) යැයි හඳුන්වනවා. අයිසැක් නිව්ටන්, බෝල්ටිස්මන්, ෆැරඩේ, රදර්ෆර්ඩ්, මැක්ස්වෙල්, ඇල්බට් අයින්ස්ටයින් වැනි ප්‍රකට විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කළ විද්‍යා න්‍යායන් අයත් වන්නේ මෙම සම්භාව්‍ය විද්‍යාවටයි. හයිසන්බර්ග්, ෆයින්මන්, ඩිරැක්, පෝලි, ෂ්‍රෝඩින්ගර් වැනි විද්‍යාඥයන් ක්වන්ටම් විද්‍යාව තුල හමුවන ප්‍රකට විද්‍යාඥයන් කිහිප දෙනෙකි. සම්භාව්‍ය විද්‍යාවේ සිට ක්වන්ටම් විද්‍යාව දක්වා වූ විද්‍යාවේ වර්ධනයට දායක වූ පුරෝගාමී විද්‍යාඥයන් වන්නේ නීල්ස් බෝර්, ඩිබ්‍රෝලි, අයින්ස්ටයින්, ප්ලාන්ක් ආදි අයයි.
 
පෙරත් සඳහන් කළ ආකාරයට ක්වන්ටම් විද්‍යාව තේරුම් ගැනීම ඉතා වෙහෙසකර විය හැකියි. හොඳ ගනිත දැනුමක් නැතිනම් එය තේරුම් ගැනීමට තවත් අපහසු වේ. එනිසාම මේ විෂය ගැන විශේෂඥයන් පවා ක්වන්ටම් විද්‍යාවේ තිබෙන එම ගුප්තබව, අමාරුබව ගැන නොයෙක් ප්‍රකාශ සිදු කර ඇත. උදාහරණ ලෙස, රිචඩ් ෆයින්මන් I think I can safely say that nobody understands quantumලෙස වරක් පවසා ඇත්තේද එබැවිනි (කිසිවෙකුට ක්වන්ටම් තේරුම් ගැනීමට බැරි බව ඔහු කියයි). මෙවැනි තත්වයක් නිසාම, ක්වන්ටම් විද්‍යාවේ පුරෝගාමියකු වන ඇල්බට් අයින්ස්ටයින් පවා ක්වන්ටම් විද්‍යාව පිලිගැනීමට මැලි විය. එනිසයි එක් අවස්ථාවකදී “I like to think the moon is there even if I am not looking at it” යනුවෙන් පැවසුවේ. සමස්ථ ක්වන්ටම් විද්‍යාව පැහැදිලි කිරීමට (explain) ඇත්තටම බොහෝ අපහසු වුවත්, එය විස්තර කිරීම (describe) එතරම් අපහසු දෙයක් නොවේ. 
 
පැහැදිලි කිරීම යනු යම් සංසිද්ධියක් සිදු වන ආකාරය හා එහි යාන්ත්‍රණය ගැන කරන විග්‍රහකි. එය වචන හා සූත්‍ර ගණනාවකින් සිදු කළ හැකිය. එම විග්‍රහය සුදුසු පර්යේෂන/ඇටවුම් ක්‍රමයකින් හරිද වැරදිද කියා නැවත නැවත බැලිය හැකිය. පැහැදිලි කිරීමකදී සිදු වන්නේ යම් සංසිද්ධියක් සිදු වන්නේ “කොහොමද” යන්න සොයා බැලීමයි. එහෙත් විස්තර කිරීම යනු සාමාන්‍ය භාෂාවට අයත් දෙයකි. එනම්, යම් සංසිද්ධියකදී “කුමක්ද” වන්නේ කියා සාමාන්‍ය භාෂාවෙන් කියන වාක්‍යයකින් හෝ වාක්‍ය කිහිපයකින් සිදු කරන හැඳින්වීමකි. උදාහරණයක් ලෙස, රේඩියෝව යනු කුමක්දැයි විස්තර කරන විට “ඈත තිබෙන ශබ්දයක් උකහා ගෙන එය රේඩියෝ තරංග මඟින් තවත් තැනකට විසුරුවා හැරි විට, එම රේඩියෝ තරංග ග්‍රහනය කර නැවත ශබ්දය අසන්නට සලස්වන උපකරණය රේඩියෝව” යැයි එක වාක්‍යකින් පැවසිය හැකි වුවත්, රේඩියෝව යනු කුමක්දැයි පැහැදිලි කිරීමට ඔබට රේඩියෝ තරංග, ඉලෙක්ට්‍රොනික්ස් ආදි විෂයන් ගැන විශාල දැනුමක් අවශ්‍ය වේ. 
 
එනිසා පලමුවෙන්ම ක්වන්ටම් විද්‍යාව ගැන මා තරමක විස්තරයක් කරන්නම් (ඒ ගැන පැහැදිලි කිරීමට පෙර). විද්‍යා දැනුමක් නැති අය පවා ක්වන්ටම් විද්‍යාව ගැන යම් අදහසක් ගැනීමට උත්සහ කරන බැවින් ඔවුන්ට මෙම විස්තරය වැදගත් වේවි. ක්වන්ටම් විද්‍යාව ගැන ගැඹුරින් ඉගෙනීමට සූදානම් වන අයට පවා පලමුවෙන්ම ඒ ගැන දළ අවබෝධයක් නිරවුල්ව තිබිය යුතුය.
 
ඔබ අවට ගැන සිතා බලන්න. විවිධ ස්වරූපවලින් ද්‍රව්‍ය ඔබ දකී. ඒවා ඝන, ද්‍රව, වායු යන මූලික අවස්ථාවලින් පවතී. මේ සියලුම ආකාරයේ ද්‍රවය පදාර්ථ (matter) ලෙස හඳුන්වනවා. අවට පරිසරයේ (එනම් විශ්වයේ) පදාර්ථවලට අමතරව ශක්ති (energy) පවතිනවා. පදාර්ථයට යම් ස්කන්ධයක් (mass) පවතින අතර අවකාශයෙන් යම් ඉඩක්ද ගන්නවා. ශක්තිවලට ස්කන්ධයක් හෝ පරිමාවක් (අවකාශයෙන් ඉඩක්) නැති අතර, ඒවාට යම් යම් කාර්යන් (work) සිදු කිරීමට හැකියාවක් තිබෙනවා. එනිසාම අපට කිව හැකියි මුලු විශ්වය පුරාම තිබෙන ශක්තිය එක තැනකට එකතු කළ හැකි නම්, ඒ සියලුම ශක්තිය ඉඳිකටු තුඩක් වැනි ඉතා කුඩා ඉඩ පරිමාවක් තුල තැබිය හැකියි කියලා. ඇත්තටම ශක්තියට ඉඩක් අවශ්‍යම නැති නිසා, ඉඳිකටු තුඩක් තරම් කුඩා ඉඩක්වත් ඊට අවශ්‍ය නැත (එහෙත් ඉතා කුඩා බව හැඟවීම පිනිස ඉඳිකටු තුඩක රැඳවිය හැකි බව කියනවා).
 
අවකාශය (space) තුලනෙ අර පදාර්ථ හා ශක්තින් සියල්ලම පවතින්නේ. විශ්වයේ අවකාශය කොතරම් විශාලද යන්න ගැන අපට හැඟීමක් නැත. එනිසා අවකාශය අනන්තයක් තරමට විශාල යැයි අප පවසනවා. අපට එකිනෙකට වෙනස් දිශා තුනක් (දිග, පලල, උස ලෙස එම දිශා ඔස්සේ පවතින දුරවල් ගැන කතා කරනවානෙ) සහිතව එම අවකාශය අත්දැකිය හැකි නිසා ඊට මාන (dimension) තුනක් සහිත අවකාශය හෙවත් ත්‍රිමාන අවකාශය ලෙස පවසනවා.
 
ඔබ අවට පරිසරයේ තිබෙන දේවල් ඔබේ ඇසට පෙනේ. ඒවා විශාලය. නිවසේ ඇති පුටුව ගැන මොහොතක් සිතන්න. ඔබට එම පුටුව ගැන කුමක් කිව හැකිද? ඔබ ඒ ගැන දන්නේ මොනවාද? එම පුටුව තාත්තා හෝ අම්මා විසින් අච්චර මුදලකට අහවල් තැනින් අහවල් දවසේදී මිල දී ගත් බව සමහරවිට ඔබට කිව හැකිය. එහි ස්කන්ධය, එහි විශාලත්වය, එහි වර්ණය, එහි පිහිටීම ගැනද ඔබට දැන ගත හැකිය. එය නිශ්චලව තිබේද නැතිනම් චලනය කරමින් තිබේද යන්නත්, චලනය වේ නම් එහි ප්‍රවේගය/වේගය කොපමනද, චාලක ශක්තිය කොපමනද ආදි දත්තත් දැන ගත හා ගණනය කර ගත හැකිය. මේ ආදි විශාල තොරතුරු ප්‍රමාණයක් ඔබට එම වස්තුව (object) ගැන දැන ගත හැකිය. එම තොරතුරු ගැන ඔබට අමුත්තක් සිතෙන්නේද නැත. ඒවා ඔබට එදිනෙදා ජීවිතයේදී හමුවන තොරතුරු, අත්දැකීම ටිකක් පමනි.
 
ඉතිං (භෞතික) විද්‍යාත්මකව ගත් විට, වස්තුවක ස්කන්ධය (mass), ප්‍රවේගය (velocity), ගම්‍යතාව (momentum), චාලක ශක්තිය (kinetic energy), විභව ශක්තිය (potential energy), පිහිටීම (position), ආරෝපණය (charge) ආදි තොරතුරු ඉතා වැදගත්ය. විවිධ උපකරණවලින් හා ගණනය කිරීම් තුලින් අපට ඒ ගැන පහසුවෙන් සෙවිය හැකිය. 
 
දැන් ඔබේ නිවසේ තිබෙන වයර් කැබැල්ලක මැද ඇති තඹ කම්බිය ගැන මොහොතක් සිතන්න. එම කම්බි කැබැල්ල දෙකට කඩන්න. එවිට ලැබෙන්නේද තඹ කම්බි කැබලිනෙ. මෙම කැබැලි දෙකෙහි තිබෙන්නේද සාමාන්‍ය තඹවල තිබුණු ගතිගුණම වේ. එලෙස ලැබෙන එක් කුඩා කැබැල්ලක් නැවත දෙකට කඩන්න. මෙලෙස දිගින් දිගටම තඹ කැබැල්ල කඩා ගෙන ගියොත් අපට තඹවල ගුණ පවතින කුඩාම අංශුවක් හමු වේ; ඊට වඩා එය කැඩිය නොහැකි යැයි මොහොතකට සිතමු. මෙලෙස අපට හමු වූ කුඩාම අංශුව “පරම අණුව” හෙවත් පරමාණුව (atom) වේ. සාමාන්‍යයෙන් පරමාණුවක විශාලත්වය පිකෝමීටර් 100ක් හෙවත් නැනෝමීටර් 0.1ක් හෙවත් මයික්‍රොමීටර් 0.0001 හෙවත් මිලිමීටර් 0.0000001 හෙවත් මීටර් 0.0000000001 පමන වේ. ඇසට නොපෙනෙන බැක්ටීරියාවක විශාලත්වය දළ වශයෙන් මයික්‍රොමීටර් 1කි. පරමානුව බැක්ටීරියාවටත් වඩා දසදහසක ගුණයකින් කුඩාය.
 
ඉතිං තඹ පරමාණු විශාල සංඛ්‍යාවක් එකට ගත් විට ඊට තඹ නමැති මූලික ද්‍රව්‍යය හෙවත් මූලද්‍රව්‍යය (element) යැයි කියමු. මේ විශ්වයේ තඹ, රත්තරං, ඔක්සිජන්, හයිඩ්‍රජන්, කාබන් ආදි ලෙස එකිනෙකට වෙනස් පරමාණු වර්ග (හෙවත් මූලද්‍රව්‍ය වර්ග) 120ක් පමණ ඇති අතර විශ්වයේ තිබෙන මේ මිලියන ගණනක් වූ විවිධ ද්‍රව්‍ය සෑදී තිබෙන්නේ මෙම පරමානු/මූලද්‍රව්‍ය වර්ග 120 මඟින් තමයි. එකිනෙකට වෙනස් පරමානු වර්ග විවිධ අනුපාතවලින් එකිනෙකාට ආකර්ෂණය වී හෙවත් බන්ධනය වී මෙම ද්‍රව්‍ය සියල්ල සෑදේ. උදාහරණයක් ලෙස, ඔක්සිජන් පරමානු එකක් හා හයිඩ්‍රජන් පරමානු දෙකක් එකිනෙකට බන්ධනය වී ජල අණුවක් (molecule) සෑදේ. අප අවට තිබෙන ජලය යනු මෙවැනි ජල අණු කෝටිප්‍රකෝටි ගණනක් එකට තිබීමයි.

එලෙසම දැන් ඔබ සිතන්න ඉතාම කුඩා වස්තුවක් ගැන. එම වස්තුව කොතරම් කුඩාද කියතොත් අප ඊට අංශුව (particle) යැයි නමක්ද ලබා දෙනවා. ඉතිං පෙර සේම, එම අංශුවේ ස්කන්ධය, පිහිටීම, වේගය, ගම්‍යතාව ආදී තොරතුරු දැන ගැනීමට අවශ්‍ය වෙනවානෙ. අංශු ඉතිං ඉතාම කුඩා නිසා ඒවා දැකීමට අපට බැරිය. ලොව තිබෙන ඉතාම ප්‍රබල අන්වීක්ෂ වර්ගයක් වන ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ (electron microscope) මඟින් පවා මෙම අංශු දැකිය නොහැකිය. එහෙත් විවිධ විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ (වක්‍ර ක්‍රමවලින්) අපට එම අංශුවල ගතිගුණ/ලක්ෂණ මැනිය හැකිය. 
 
විද්‍යාවේදී එලෙස මැනගත් ලක්ෂණ විග්‍රහ කිරීමෙන් තමයි වස්තුවක් හෝ අංශුවක් සතු හැසිරීම ගැන අප දැන ගන්නේ. යමක් මැනිය නොහැකි නම් එතැන විද්‍යාවක් තිබිය නොහැකිය.

එහෙත් පුදුමයට කරුණක් වන්නේ මෙතරම් කුඩා අවකාශවල තිබෙන දේවල්වල හැසිරීම පුටු මේස වැනි විශාල වස්තුන්ට වඩා බොහෝ සෙයින් වෙනස් වීමයි. උදාහරණ ලෙස, ඔබගේ නිවසේ ඔබගේ ඇසට පෙනෙන පුටුවක් පූසෙක් වැනි පදාර්ථයක පිහිටීම ඉතා නිවැරදිව අහවල් තැන තිබේ ලෙස මැනගෙන කිව හැකිය. ඉතිං එම වස්තුව එතැන තිබේ නම් වෙනත් තැනක එය තිබිය නොහැකිය. එහෙත් අංශුවක් ගැන එලෙස නිවැරදිම පිහිටීම කිව නොහැකිය. එය යම් ප්‍රදේශයක් පුරාම පැතිර තිබෙන බවකුයි පර්යේෂනවලින් හෙලි වී තිබෙන්නේ. ඒ කියන්නේ අහවල් අංශුව එකම මොහොතේදී අතනත් තිබෙනවා මෙතැනත් තිබෙනවා අරෙහෙත් තිබෙනවා මෙහෙත් තිබෙනවා ආදි ලෙස නිශ්චිතම ස්ථානයක් හරියටම කිව නොහැකි ලෙස පවතී. 
 
ඇත්තටම ඊටත් වඩා පුදුම හිතෙන ගතිගුණ බොහෝ ගණනක් මෙවැනි කුඩා අංශුවල හැසිරීම තුල ඇත. එම හැසිරීම්වලට පොදුවේ ක්වන්ටම් හැසිරීම් (quantum behavior) යැයි කිව හැකියි. ඒ කියන්නේ ඉතා කුඩා අවකාශ තුල පවතින අංශුවල හැසිරීම විශාල අවකාශයක් තුල පවතින වස්තුන්ගේ හැසිරීමට වඩා විශාල වෙනස්කම් ඇත. ඒ අනුව ක්වන්ටම් විද්‍යාව තුල සොයා බලන්නේ “ඉතා කුඩා ලෝකයන්” හෙවත් ක්ෂුද්‍රලෝකයන් (microworld) ගැනයි. මෙවැනි ක්ෂුද්‍ර අවකාශයක්/ලෝකයක් සලකන විට එහි පවතින්නේ පරමාණු, පරමාණුවලටත් වඩා කුඩා පරමඅංශු (මේ ගැන පසුව කතා කරනවා), පරමාණු කිහිපයක් එකතුව සාදන අණු වැනි අංශු පමනී. අප ජීවත් වන විශාල ලෝකයට සාර්වලෝකය (macroworld) යැයි කියමු.  
 
ක්ෂුද්‍රලෝකය යනු දේවලෝක බ්‍රහ්මලෝක වැනි ආගමික ඉගැන්වීම් තුල කියැවෙන ආකාරයේ වෙනත් ලෝක/භව නොවේ. අප ජීවත් වන සාර්වලෝකයේම අවකාශයේ ඉතාම ඉතා කුඩා පරිමාවක් වෙන් කර ගැනීමක් පමනි. උදාහරණ ලෙස, ඔබගේ ශරීරය ගැන සිතන්න. එය සෛල කෝටි ප්‍රකෝටි ගණනිකින් සෑදී ඇත. ඉතිං ඔබගේ ශරීරය විශාල වන අතර එය සාර්වලෝකය තුල තිබෙන එක් වස්තුවකි. තරු, ග්‍රහලෝක වැනි අතිදැවැන්ත වස්තුන්ගේ සිට බැක්ටීරියා, වයිරස් වැනි ඉතාම කුඩා ප්‍රමාණයේ වස්තු/ජීවියා දක්වා වූ සියල්ල සාර්වලෝකයේ සාමාජිකයෝය. ඒ අනුව සෛලයකුත් සාර්වලෝකයේ සාමාජිකයෙකි. එහෙත් එම සෛලයම තවදුරටත් විග්‍රහ කරගෙන යන විට එය සෑදී තිබෙන්නේ පරමාණු ප්‍රකෝටි ගණනකිනි. ඉතිං අපට හැකි නම් එම සෛලය සැදුම් ලත් එක් එක් පරමානුව තුලට එබිකම් කරන්නට (සෛලයක් තුල බැලීමට ප්‍රබල අන්වීක්ෂ තිබුණත් පරමානු වැනි ඉතාම කුඩා දේ බැලීමට හපන් උපකරණයක් තවම අප සතුව නැත) ඔබ එලෙස නිරීක්ෂණය කරමින් සැරිසරනු ඇත්තේ ක්ෂුද්‍රලෝකය තුලයි.
 
සියල්ල සාරාංශගත කළ විට ක්වන්ටම් විද්‍යාව තුල හදාරන්නේ කුඩා අණු, පරමාණු, උප-පරමානුක අංශු, පරම අංශු ගැනයි. ඒ කියන්නේ ඉතා ක්ෂුද්‍ර අවකාශයන් ගැන ක්වන්ටම් විද්‍යාව සොයා බලයි යනුවෙනුත් කෙනෙකුට අවශ්‍ය නම් කිව හැකිය. ක්ෂුද්‍ර අවකාශය පෙර සටහන් කළ ලෙස ක්ෂුද්‍රලෝකය ලෙස මෙන්ම ක්වන්ටම් ලෝකය (quantum world) ලෙසද හැඳින්විය හැකියි. සම්භාව්‍ය විද්‍යාව අනුව අප පදාර්ථ හා ශක්ති ලෙස එකිනෙකට හාත්පසින් වෙනස් ලෙස සලකාගෙන සිටි සියල්ල ක්වන්ටම් විද්‍යාවට අනුව පරමඅංශුවලින් සෑදී ඇත. ඔව්, ක්වන්ටම් විද්‍යාවට අනුව සියලුම ආකාරවල පදාර්ථත්, සියලුම ආකාරවල ශක්තින් සියල්ලම පරමඅංශු (elementary/fundamental particles) නමින් හැඳින්වෙන අංශු විශේෂවලින් සෑදී ඇත. ඒ අනුව පන ඇති හා පන නැති සියල්ලම ක්වන්ටම් මූලධර්ම (quantum principles) හෙවත් ක්වන්ටම් විද්‍යා න්‍යායන් (quantum theories) මත ගොඩනැඟී ඇත.
 
මා දන්නවා ඉහත විස්තරය ඉතා සරල එකක් බව. විද්‍යාව ගැන එතරම් දැනුමක් නැති වැඩිහිටියන් හා විශේෂයෙන් පාසල සිසුන්ටත් මේ ගැන ඉතාම දල අවබෝධයක් ලැබෙන පිනිසයි මා එසේ ලිව්වේ. එහෙත් ක්වන්ටම් විද්‍යාව තුලට කිඳා බහින විට හොඳ විද්‍යා හා ගණිත දැනුමක් ඔබට අවශ්‍ය කරනවා. ආලෝකය, විද්‍යුත්චුම්භක තරංග, තරංග ආකෘතිය, යාන්ත්‍රික විද්‍යාව, බල ක්ෂේත්‍ර, පරමාණුක ආකෘති ආදි විද්‍යා සංකල්ප හා ක්ෂේත්‍ර ගැන හොඳ දැනුමක් අවශ්‍ය කරනවා. එලෙසම, අවකලනය, අනුකලනය, ත්‍රිකෝණමිතිය, දෛශික, සංකීර්ණ සංඛ්‍යා, න්‍යාස, සංඛ්‍යානය හා සම්භාවිතාව ආදි ගණිත සංකල්ප හා ගණිත කර්ම ගැනත් හොඳ දැනුමක් අවශ්‍ය කරනවා. ඉදිරි ලිපිවලින් අපි ක්වන්ටම් ලෝකය තුලට පිවිසෙමු.