Skip to main content

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා ලංකාවේ දේශපාළුව

වර්තමානය වන විට, සෑම රටකටම පාහේ එම රටේ මූලික බල ව්‍යුහය හා රටේ ස්වභාවය නිශ්චිත කරන මූලික ලියවිල්ල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි. එය රටක මූලික නීතිය ලෙසද සැලකෙනවා. රට තුල ඇති අනෙක් සියලුම නීති රීති රෙගුලාසි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට යටත් වේ. ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය (නීතියේ ආධිපත්‍යය යනු සියල්ලන්ම නීතියට යටත් බවයි) හොඳින් තිබෙන රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට දේව වාක්‍ය සේ ගරුත්වයක් සහිතව පිලිගැනීමට ලක් කෙරේ. කලින් කලට එය සංශෝධනයද කළ හැකිය. දැනට ශ්‍රී ලංකාවේ වලංගු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වන්නේ 1978දී පමන ජේ.ආර්. ජයවර්ධන ජනපති මූලිකත්වයෙන් ගෙන ආ ව්‍යවස්ථාව වන අතර, මේ වන විට 19 වතාවක් එය සංශෝධනය කෙරී ඇත. සියලු සංශෝධන සහිත සිංහල බසින් සකසා ඇති ව්‍යවස්ථාව අන්තර්ජාලයෙන් ලබා ගත හැකියි.

මෙම ලිපිය ලිවීමේ මූලික කාරණය වූයේ ජනපති විසින් ආණ්ඩුව විසුරුවනවා යැයි පැතිරී යන ආරංචිය නිසාය. ඇත්තටම ජනපතිට එවැනි බලතලයක් ඇත්ද? ඊටත් කලින් විමසිය යුත්තේ ජනපතිට අගමැතිව ඉවත් කළ හැකිද යන්නයි. මේ ගැන විවිධ මතවාද ඇත. ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සම්බන්දව යම් ගැටලුකාරී ස්වභාවයක් සමහරවිට ඇති විය හැකි අතර, එවැනි අවස්ථාවලදී ඊට නිශ්චිත විසඳුම් දිය හැකි එකම බල අධිකාරිය ශ්‍රේෂ්ඨාධිකරණයයි (එයද එසේ පනවා තිබෙන්නේ ව්‍යවස්ථාව විසින්මයි). එහෙත් නීතිය ගැන දන්නා සෑම කෙනාටම ඒ ගැන උගත් මතයක් දැරීමට ශුද්ධ වූ අයිතියක් ඇත.

දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව, "ජාතික ආණ්ඩුවක්" තිබී, ඉන් ප්‍රධාන පාර්ශ්වයක් ඉවත්ව යන විට ඉබේම එම "ජාතික ආණ්ඩුව" අහෝසි වීම හේතුවෙන් ව්‍යවස්ථාවට අනුව අමාත්‍ය මණ්ඩලය විසිරී යයි. ව්‍යවස්ථාවේම 46(2) ප්‍රතිපාදනයේ තිබෙන්නේ අගමැති පවතින්නේ අමාත්‍ය  මණ්ඩලය තිබෙන තාක් කල් නිසා, ඉබේම සිටි අගමැතිද ඉවත් වේ. එය ඉතා පැහැදිලිය. එවිට එම හිස් වූ අගමැති ධූරයට නව අගමැතිවරයෙකු පත් කර ගත යුතුය. ගැටලුව ඇති වන්නේ මෙතැනය.

ජාතික ආණ්ඩුව යන්න නිශ්චිත නැති නිසා එම අවිනිශ්චිතතාවේ වාසිය ජනපති විසින් භාවිතා කර තිබේ. එයද රනිල්ට සිදු වූ දෛවයේ සරදමකි මොකද ආණ්ඩු කර ගෙන යෑමේදී එක එක දේශපාලුවන්ට දොල පිදේනි දෙමින් වංක ලෙසත් නිසි ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද අනුගමනය නොකරමින් ජාතික ආණ්ඩු යන්නට නිශ්චිත අර්ථකථනයක් ලබා ගැනීමට කටයුතු නොකළේය. ඇත්තටම ලංකාවේ ජාතික ආණ්ඩුවක් තිබ්බේම නැත. ඇමති ධූර ගණන වැඩි කර ගැනීමට එය පලිහක් කර ගත්තා පමණි. එය නිශ්චිත වූයේ නම්, ශ්‍රීලනිපයේ සුලු පිරිස නිල වශයෙන් (ජාතික) ආණ්ඩුවෙන් ඉවත් වුවත් ආණ්ඩුව කඩා නොවැටේ. එවිට අමාත්‍ය මණ්ඩලය අහෝසී නොවී අගමැතිද අහෝසි නොවන්නට ඉඩ තිබේ. අන්තිමට අපට කොකා පෙන්වන්නට ගිහින් උන්ම කෙලව ගෙන ඇත.

අගමැතිවරයා පත් කරනු ලබන්නේ ජනපති විසිනි. එහෙත් ඔහුට එම පත් කිරීමේ හැකියාව කොන්දේසියකට යටත් කර ඇත. එනම්, පාර්ලිමේන්තුවේ වැඩි විශ්වාසය ලබා ගන්නා පුද්ගලයා අහවලා යැයි ජනපතිට හැඟෙන්නේ නම්, අන්න එම පුද්ගලයාව ජනපති විසින් අගමැති බවට පත් කළ යුත්තේය. මෙම ප්‍රතිපාදනය තමයි විවිධ අය විවිධ විදියට තර්ක විතර්ක කරන්නේ. මගේ මතය මෙයයි.

පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් තිබෙනවා යනු හරි පැහැදිලිව එක් එක් මන්ත්‍රීගේ කැමැත්ත වේ. ඒ කියන්නේ උපරිම විශ්වාසය යනු පාර්ලිමේන්තුව තුල මන්ත්‍රින්ගේ ඔළු ගෙඩි ගණන වේ. එවිට ප්‍රශ්නය වන්නේ ඔලුගෙඩි කීයක් කැමති වීමට අවශ්‍යද යන්නයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 42(4) ව්‍යවස්ථාව අනුව, එහි සරල බහුතරයද, විශේෂ බහුතරයද යන්නක් සඳහන් කර නැති නිසා විශේෂ බහුතරය (එනම් තුනෙන් දෙකක බහුතරය) යන සංකල්පය ඉබේම අහෝසි වේ. එවිට පාර්ලිමේන්තුවේ 225ක මන්ත්‍රින් ගණනක් සිටින නිසා ඉන් අඩක් වන 113ක් පක්ෂ නම් එය සරල බහුතරය වේ. මේ අනුව, 113ක් අහවලාව අගමැති ලෙස පත් කිරීමට කැමැති යැයි ඡන්දය පළ කළොත් එය ජනපති විසින් "පාර්ලිමේන්තුව තුල උපරිම විශ්වාසය" ලෙස සැලකීමට බැඳී සිටිය යුතු බව පැහැදිලිය.

තවත් කෙනෙකු මෙසේද තර්ක කරයි. එනම්, අගමැති කවුරුදැයි පාර්ලිමේන්තුව තුල ඡන්දයක් විමසන විට, කිහිප දෙනෙකු ඉදිරිපත් වන්නේ නම්, ඉන් වැඩි ඡන්ද ගණනක් ගැනීමද බහුතරය වේ කියා ඔවුන් කියනවා. එයද පිලිගත හැකි තත්වයකි. ඒ අනුව රනිල්ට ඡන්ද 100කුත්, මහින්දට ඡන්ද 101 කුත් ලැබෙන්නේ නම්, එවිට මහින්දට බහුතරය තිබේ යැයි පිලිගැනීමට සිදු වේ. එහෙත් ඉහත ව්‍යවස්ථාව තුල බහුතරය (එනම්, උපරිම විශ්වාසය) යන්න නිශ්චිත නැති නම්, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එය විවරණය කර ගත හැකියි. එහෙත් කිසිවෙකු එය කරන බවක් නොපෙනේ.

42(4) වගන්තිය මෙසේය, "ජනාධිපතිවරයාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ විශ්වාසය උපරිම වශයෙන් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ජනාධිපතිවරයා විසින් අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරලු ලැබිය යුත්තේ ය."

එම වගන්තිය අනුව කෙනෙකු තර්ක කරන්නේ අගමැති පත් කිරීමේ අභිමතය (නීතියේදී අභිමතය යනු තමන්ට කැමති දෙයක් කළ හැකිය යන්නයි) ජනපති සතු බවයි. ඊට හේතුව "ජනාධිපතිවරයාගේ මතය අනුව" යනුවෙන් කොටසක් එහි තිබීමයි. ඇත්තටම එම වාක්‍ය අපභ්‍රංසයකි. එය හරියට "මගේ පෙම්වතිය උසයි කොටයි" කියන්නා සේය. යම් කෙනෙකු එකවර උස හා කොට යන එකිනෙකට පරස්පර පද දෙකින් විස්තර කළ නොහැකිය. එසේම, 42(4) වගන්තිය තුල උපරිම විශ්වාසය ලබා ගන්නා කෙනා අගමැති විය යුතුය යන නිශ්චිත තාර්කික අදහස තිබෙන අතරම, ජනපතිගේ මතය අනුව යනුවෙන් තවත් රෙද්දක් දමා ඇත. මේවා ලියපු මහා නීති ඔස්තාර්ලාගේ දෙමාපියන් මෙහිදී සිහි කිරීම වටී.

මෙහිදීත් නැවත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් එය අර්ථ නිරූපණය කර ගත යුතුය. එහෙත් බැලූබැල්ම එතැන වඩා සීමාකාරී නිශ්චිත අදහස ලබා ගත යුතුය යන්න මගේ හැඟීමයි. තවද, එම නීතිය සාදන කාලයේ නීති සම්පාදකයන්ගේද අවංක අදහස වී තිබෙන්නේ ජනපතිගෙන් (19 සංශෝධනයට පෙර තිබූ) අගමැති පත් කිරීමේ අභිමතය ඉවත් කිරීමයි. මේ කාරණා දෙකම ගත් විට, මා සිතන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා නම් බොහෝවිට ජනපතිට අභිමතය නැති බව තීරණය වීමට ඉඩ තිබේ.

කෙසේ වෙතත් ජනපතිට මෙම අවස්ථාවේදී රනිල්ව ඉවත් කර මහින්ද පත් කිරීමට ඇති හැකියාව නැති වන්නේ නැත. ඊට හේතුව පෙර කියූ කරුණු නිසා (එනම් ජාතික ආණ්ඩුව බිඳ වැටීම නිසා), හිටපු අගමැතිව ඉබේම ඉවත් වේ. එවිට, ජනපතිට ක්ෂණිකව තීරණය කළ හැකියි මහින්ද උපරිම විශ්වාසය ඇතැයි කියා. එහෙත් එය නිශ්චිතවම ඔප්පු කළ හැක්කේ හා යුත්තේ පාර්ලිමේන්තුව තුලයි. ඉතිං පාර්ලිමේන්තුව යලි කැඳවන තුරු මහින්ද අගමැති වේ. පාර්ලිමේන්තුව තුල රනිල් බහුතරය පෙන්නුවොත් ජනපතිට අනිවාර්යෙන්ම නැවත රනිල්ව අගමැති කිරීමට සිදු වේ. කවුරු මොන බේගල් කිව්වත් පාර්ලිමේන්තුව ජනපති විසින් කල් තැබුවේ එම ගැටලුව නිසාමයි.

ජනපතිට පාර්ලිමේන්තුව කල් තැබීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම බලය ඇත. එය ඇමරිකාව හෝ යුරෝපයේ හෝ හිඟන ඉංදියාවේ සිටින බල්ලන්ට බැල්ලියන්ට ඕන විදියට නොව ලංකාවේ නීතිය අනුවයි සිදු විය යුත්තේ. පෞද්ගලිකව පාර්ලිමේන්තුව ජනපතිටත් අධිකරණයටත් ඉහලින් සිටිය යුතු යැයි විශ්වාස කරන මට නම්, ජනපති සතුව පවතින එම බලයත් ඉවත් කළ යුතු යැයි යෝජනා කරමි. එය කවදා හෝ ඉවත් කරන තෙක්, ජනපතිට එය නීත්‍යානුකූලව සිදු කිරීමට සම්පූර්ණ අධිකාරි බලය ඇත.

කෙසේ වෙතත් බොහෝ දෙනා සිතූ ලෙස මහින්දටත් මෛත්‍රීටත් බහුතරය සාදා ගැනීමට නොහැකි බව දැන් පෙනේ. කුමන පැත්තේ සල්ලි හා බලය බලවත් වීමෙන් එය වූවාදැයි මා නොදනී. එහෙත් පාර්ලිමේන්තුවේ දැන් සිටින කාලකන්නින් ටික බැලුවහම මුන් ප්‍රතිපත්ති මත නොව විවිධ බලපෑම් මත එසේ හැසිරෙන්නේ යැයි ඉතා විශ්වාසදායි වේ. මේ අනුව පාර්ලිමේන්තුව කැඳ වූ විට බොහෝවිට රනිල්ට බහුතරය ලැබෙන බව පෙනේ. කතානායකගේ බලයද මෙහිදී කැපී පෙනේ.

බොහෝ දෙනා කතානායකට දොස් කියන බවක් පෙනේ. එහෙත් ඔහු මේ අවස්ථාවේ හැසිරෙන විදිය නිවැරදිය. කතානායක යනු ජනපතිගේ කක්කුස්සි හෝදන එකා නොවේ. පාර්ලිමේන්තුව තුල ලොක්කා ඔහුය. ජනපතිට ඔහුගේ රාජකාරී හා බලතන තිබෙන්නා සේ කතානායකටත් ඔහුගේම බලතල හා රාජකාරී තිබේ. ඔහුටත් අභිමතය තිබේ. බහුතරයකගේ සහය තිබෙන කතානායක කෙනෙකු බලවත්ය.

පාර්ලිමේන්තුව තුල රාජකාරී සම්ප්‍රදායන් හා ස්ථාවර නියෝග අනුවයි සිදු වන්නේ. එහෙත් මේ දෙකෙහිම නීතිමය බලපෑමක් නැත. ස්ථාවර නියෝග යනු බලාත්මක කළ හැකි නීති නොවේ. අවශ්‍ය නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීන්ගේ බහුතරයකගේ කැමැත්ත මත ස්ථාවර නියෝග තාවකාලිකව අහෝසි කළ හැකියි (ස්ථාවර නියෝග අත්හිටුවීම). එවිට, බහුතරයගේ කැමැත්ත මත කතානායකට සම්පූර්ණ බලතල තිබේ පාර්ලිමේන්තුව තුල කුමක් සිදු විය යුතුද යන්න පෙල ගැස්වීමට.

තත්වය මෙසේ හෙයින් ජනපති විසින් නොවැම්බර් 14 දින පාර්ලිමේන්තුව යලි කැඳෙව්වේ නම්, රනිල්ගේ බහුතරයේ ආශිර්වාදයෙන් කතානායක ස්ථාවර නියෝග අත්හිටුවා මහින්දට එරෙහිව විශ්වස භංගයක් එදින්ම ගෙන ඒම හෝ රනිල්ට පක්ෂව විශ්වාසය පළ කිරීමක් එදින සිදු කර, නැවත රනිල්ව අගමැති කිරීමට සිදු වන තැනට වැඩ කටයුතු සිදු වෙන්නට ඉඩ තිබේ. එම අනතුර නිසාමයි ජනපති විසින් අද පාර්ලිමේන්තුව විසුරුවා හරින්නේ. එහි සැකයක් නැත. මේවා දේශපාලන සූදු වේ. එහෙත් ජනපතිට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකිද?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2)(ඇ) වගන්තිය කියන්නේ ජනපතිට "පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට කැඳවීමට සහා විසුරුවා හැරීමට බලය ඇත්තේය" යනුවෙනි. එහෙත් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේම 70(1) වගන්තිය මෙසේය "ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයක් මඟින් පාර්ලිමේන්තුව කැඳවීම, පාර්ලිමේන්තුවේ වාරාවසානය කිරීම සහ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කළ හැක්කේය: එසේ වුවද, පාර්ලිමේන්තුව විසින් එහි නොපැමිනි මන්ත්‍රීවරයන්ද ඇතුලුව මුලු මන්ත්‍රීවරයන්ගේ සංඛ්‍යාවෙන් තුනෙන් දෙකකට නොඅඩු සංඛ්‍යාවකගේ යෝජනා සම්මතයක් මඟින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනු ලබන්නේ නම් මිස, පාර්ලිමේන්තුවේ ප්‍රථම රැස්වීම සඳහා නියම කරගනු ලැබූ දිනයෙන් අවුරුදු හතරයක් සහ මාස හයක කාලයක් අවසන් වන තෙක් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකළ යුත්තේය."

70(1) වගන්තියෙන් ඉතාම පැහැදිලිව කියන්නේ ජනපතිට පාර්ලිමේන්තුව තම අභිමතය පරිදි කිසිසේත් කුමන තත්වයක් යටතේ වුවද විසුරුවිය නොහැකිය කියාය. ජනපතිගේ අත්තනෝමතික බලතල කප්පාදුවේ ප්‍රතිපලයක් ලෙසයි 19 වැනි සංශෝධනය ඔස්සේ මෙම වගනිතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුලු වී තිබෙන්නේ. එය ඉතා හොඳ තත්වයකි. එහෙත් නැවතත් සුපුරුදු පරිදි මහාලොකු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පිළිබඳ විශාරද යැයි කියා ගන්නා පට්ට මෝඩයින්ගේ නොසැලකිල්ල නිසා එම වගන්තිය 33(2)(ඇ) වගන්තිය සමඟ ගැටෙන බව දැක නැත. කළ යුතුව තිබුණේ 70(1) වගන්තිය 33(2)(ඇ) වගන්තියට ආදේශ කිරීමයි.

ගම්මන්පිල කියන බහුබූතයද මෙතැන නැත. ඔහු කියන්නේ අර්බුදකාරී අවස්ථාවකදී 33(2)(ඇ) වගන්තිය බලාත්මක කළ හැකි බවකුයි. එවැන්නක් කොතැනවත් සඳහන්ව නැත. තමන්ගේ සිතේ තිබෙන දේවල් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති ගැලපිය නොහැකිය. මෙය හුදෙක්ම දරුණු අත්වැරදීමකි. එසේ වුවත් එය එතරම් ගැටලුවක් නොවන බවද පෙනේ.

වරදක් පැහැදිලිව පෙනනුත් මෙයද අවංකව හා ශාස්ත්‍රිය ලෙස විමසුවොත් ජනපතිට අභිමතය පරිදි විසුරුවා හැරිය නොහැකි බව පෙනේ. නීති සම්පාදකයන් එම නීති ගෙනෙන විට ඔවුන්ගේ අවංක උවමනාව වූයේ ඇත්තටම ජනපතිගේ එම අභිමතය ඉවත් කිරීම බව අප කවුරුත් දන්නවා. ඒ ගැන හැමෝම හැම තැනම කතා කරපුවා අදටත් පත්තර හා වීඩියෝවල ඇත. වඩා සීමාකාරී අවස්ථාව තෝරා ගැනීමද යුක්තියුක්තය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක මූලික අරමුණක් වන්නේද ඒ ඒ බල අධිකාරින්ට සීමා පැනවීමයි. එනිසා මෙයද ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් නිරාකරණය කර ගත යුතු කාරණයක් වුවත්, දේශපාලන වාසි තකා වෙනත් ක්‍රම අනුගමනය කරන බව පෙනේ.

බොහෝවිට මේ වන විට ආණ්ඩුව විසුරුවා හැරීමේ නියෝගය ජනපති විසින් මේ වන විට නිකුත් කර ඇති. එය සම්පූර්නයෙන්ම නීති විරෝධි වේ. මා සිතන පරිදි ඡන්ද කොමසාරිස් එම නියෝගය පිලි නොගෙන ශේෂ්ඨාධිකරණයට යා යුතුය. ඔහු එසේ නොකර ඡන්දය තබන්නට කටයුතු  කිරීමට ගියොත් ඔහුද නීති විරෝධි වැඩක යෙදේ. මේ මොහොතෙ කවුරුන් හෝ අධිකරණයට යෑම අනිවාර්යෙන්ම කළ යුතුය.

රටක විවිධ අර්බුධ ඇති වීම නොවැලැක්විය හැකිය. කොහොමත් ලංකාවේ වැඩියෙන්ම අර්බුද සාදන්නේ කාලකන්නි වනචර දේශපාලුවන්මය. එක් එක් පුද්ගල බද්ධ කරුණු නිසා මූලික නීතිය වෛශ්‍යා වෘත්තියේ යෙදවීමට ඉඩ නොදිය යුතුය. රට විකුනන සමනල රනිල්ව ඉවත් කිරීමට අවශ්‍ය වූයේ නම් ජනපතිට ඊට වඩා ශිෂ්ට පියවර ගණනාවක්ම ගත හැකිව තිබුණි. ඔහුට ඒ සඳහා කොන්දක් තිබුණේ නැත. දැනුදු ඔහු කරන්නේ රාජපක්කගේ සාටකයේ එල්ලීමයි.

නැවත රනිල්ට රට නොදෙන හා නීතියේ ආධිපත්‍ය නැවත ස්ථාපනය වන කාලයක් වහා උදා වේවා කියා පතනවා. මා නීති විශාරදයකු නොවුවද, කලක් නීති උපාධියක් හදාරා විවිධ (පෞද්ගලික නොවන) හේතු නිසා මඟදී එය නතර කර දැමූවෙකි. මා වැඩියෙන්ම ආශ කළේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතියයි. ඒ නිසා ඇම්මට ලියූ ලිපියකි මෙය.

Comments

  1. ලංකාවේ ලොකුම ප්‍රශ්ණය තමයි මේ රටේ ප්‍රධාන සංස්කාතිය කුමක්වියයුතුද කියන කාරනාවයි. අනෙක් හැම දෙයක්ම ද්විතීකයි.
    1815 සිට මෙරට ප්‍රධාන සංස්කෘතිය වුනේ ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය. අනෙක් හැම සංස්කෘතියකටම තිබුනේ දෙවැනි තැන. තෙවැනි තැනක් තිබුනේ නෑ. මේ ගැන ඩිම්පල්තුමා අනාවැකියකුත් කීවා.
    තොපි දැනගනියවු, දෙමලා, හම්බයා, මරක්කලයා, බෝරාකාරයා උං ඔක්කොම එක සමානයි. උං හැමෝටම මේ රට අයිතියි කියන දවසක් එයි. කියලා

    ReplyDelete
    Replies
    1. මා නම් ඔබේ අදහසට කිසිසේත් එකඟ නැත... ලෝකයේ බොහෝ රටවල ගැටලු ඇති අතර ඒ සෑම ගැටලුවක්ම සංස්කෘතික ගැටලු විය නොහැකිය. සංස්කෘතිය යනු සමූහයක් වට මේසයක් වටා සාකච්ඡා කර තීරණය කරනු ලබන්නක් නොවේ. එය සජීවි සමස්ථ මානවයාගේ ක්‍රියාකාරිත්වයෙන් උපන් හා ඊටම බලපෑම්ද එල්ල කරමින් පවතින්නක් සේ මා දකිනවා.

      රටකට අවශ්‍ය කුමක්ද යන්න නිශ්චය කිරීම අතිශය සංකීර්ණ කරුණකි. ඔබට ඒ ගැන විවිධ අදහස් තිබිය හැකියි; මටත් එසේය; තවෙකුට වෙනම අදහස් පවතීවි. එහෙත් කිසිවෙකුට දූෂනය භීෂනය අවශ්‍ය නැත; රැවටීම අවශ්‍ය නැත; අසමාන සැලකීම් අවශ්‍ය නැත; තම දරුවන් මෝඩයින් කිරීමට අවශ්‍ය නැත. මේ ආදී ලෙස අතට හසුවන සාධාරණ මිනිස් අවශ්‍යතා සමූහයක් තිබේ. ඒවා ඵලදායි ලෙස ළඟා කර ගත හැකි පරිසරයකුයි අවශ්‍ය වන්නේ.

      ඩිම්පල්තුමාගේ අනාවැකි, අයින්ස්ටයින්ගේ අනැවැකි, හෝ පාරක් පාරක් ගානේ ඉන්න හොර තක්කඩි කට්ටඩියන්ගේ අනාවැකි සියල්ල හුදු ප්‍රලාප පමනි. පුද්ගල මත වැදගත් වුවද ඒවා දේව වාක්‍ය නොවන බවද මතක තබා ගැනීම වටී.

      මේ පෘථිවි තලයේ කොතැනක හෝ උපන් සෑම එකාම මට නම් සමානය. එක් එක් එකාට වැඩිපුර හෝ අඩුවෙන් ළැඳියාවක් ඇති විය හැකිය. මවකට තමන්ගේ දරුවාට තිබෙන ආදරයේ තරමට තවත් දරුවෙකුට ඇති වන්නේ නැහැ වගේ. මේ රටේ උපන් සෑම එකෙකුටම මේ රට අයිතිය. ඌ දෙමලෙක් වුවද, සිහලයෙක් වුවද, වෙනත් ඕනම පරයෙක් වුවද... වසලයා ක්‍රියාවෙන් තේරුම් ගත යුතු!

      Delete
    2. //ලෝකයේ බොහෝ රටවල ගැටලු ඇති අතර ඒ සෑම ගැටලුවක්ම සංස්කෘතික ගැටලු විය නොහැකිය.
      ඒක ඇත්ත මම කිව්වේ ලංකාව ගැන.

      //මේ රටේ උපන් සෑම එකෙකුටම මේ රට අයිතිය. ඌ දෙමලෙක් වුවද, සිහලයෙක් වුවද, වෙනත් ඕනම පරයෙක් වුවද

      ඒකත් හරි මෙතැන කිව්වේ පුද්ගල සමානත්වය ගැන නෙමෙයි සංස්කෘතික සමානත්වය ගැනයි
      පුද්ගල සමානත්වය හොඳයි නමුත් සංස්කෘතික සමානත්වය හානිකරයි.


      මට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැන ගැටළුවක් තිබෙනවා.
      නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේදී කෙරෙන්නේ ජනතාව වෙනුවට ජනතාව නියෝජනය කෙරෙන යම් සභාවක් හරහා වැඩිදෙනාගේ කැමැත්තෙන් තින්දු ගැනිමයි.

      මෙම සභාවට නියෝජිතයන් පත්කිරීමේදි ඍජුවම ජනතා චන්දයෙන් වැඩියෙන් චන්ද ලැබෙන නියෝජිතයන් පත්කර ගැනිමත්;
      කාන්තාවන් මෙපමන ප්‍රමානයක්, සංක්‍රාන්තික සමාජභාවි පුද්ගලයන් මෙපමණ ප්‍රමාණයක්, වැද්දන් මෙපමණ ගනනක්, නයිපනික්කි මෙපමණක්, දෙමළු මෙච්චරක්, පදු මිනිස්සු මෙච්චරක්, තම්බි ගෑණු මෙච්චරක් ආදී ලෙස සමාජයේ සියළු කොටස් නියෝජනයවනපරිදි ටෙම්ප්ලේට් එකක් තුලට නියෝජිතයන් පත්කර ගැනීමත්
      යන ක්‍රම දෙකෙන් නිවැරදි ක්‍රමය කුමක්ද. මට හිතෙන හැටියට දෙපැත්තටම කරුනු තියෙනවා.

      Delete
    3. ලංකාවේද සංස්කෘතික ගැටුම් ඇතිවාට කිසිදු සැකයක් නැත... සංස්කෘතිය යනුම නිරන්තරයෙන්ම ගැටුම්වලට ලක්වන දෙයක්මයි. එහෙත් එම ගැටුම් ලංකාවේ දියුනුවට ඇති ප්‍රබල බාධාවක් යැයි මට නම් නොපෙනේ...

      සංස්කෘතික සමානත්වය ගැන නම් ගැටලුවක් තිබෙනවා තමයි... ඊට හේතුව ඓතිහාසික වශයෙන් අපේ විවිධ ජනවර්ගවල නිසි මුසු වීමක් නොවීම විය හැකිය. ක්‍රිස්තියානි අය හා බෞද්ධ අය අතර නම් ඉතා හොඳ මුසු වීමක් තිබුණත් අනෙක් ජනවර්ග අතර එවැන්නක් එතරම් කැපී පෙනෙන ලෙස නැති බව පෙනේ. වැරැද්ද බොහෝ සෙයින් සිංහලයාට වඩා දෙමල හා මුස්ලිම් අය අතරේ තිබෙන බවක්ද පෙනේ...

      ජාතිවාදී ස්වරූපයකින් නොබලා ප්‍රායෝගික පැත්තෙන් බලන විට, සිංහල බස ලංකාවේ එකම රාජ්‍ය/ප්‍රමුඛ බස (lingua franca) බව ප්‍රකාශ කළ යුතුය. දෙමල හා මුස්ලිම් අයට සිංහලත්, සිංහලයාට දෙමලත් ඉගෙනීමට බල කිරීමම මුග්ධ වැඩකි.

      නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ගැනත් මටත් ගැටලු තිබේ. අද තාක්ෂණයේ (විශේෂයෙන්ම සන්නිවේදන තාක්ෂනයේ) දියුණුවක් තිබෙන නිසා, එක්තරා මට්ටමකට ඍජු ප්‍රජාතන්ත්‍රවාදය වුවද පවත්වා ගෙන යා හැකි තත්වයක් ලෝකයේ තිබේ. එහෙත් පාලකයන්ට ඉන් විශාල පාඩු සිදු වන නිසා එය පහසුවෙන් අපට ලබා නොදේවි. ජනතාවගේ දැඩි පරිශ්‍රමයකින් නැවත තම පාලනය ජනතාව ඉල්ලා සිටිය යුතුය.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...