Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම

අන්තර්ජාලය මා දකින්නේ සාමාජික වශයෙන් ගත් කළ ලොව මෙතෙක් පහළ වූ අනර්ඝතම මිනිස් නිර්මාණය ලෙසයි. විශේෂයෙන් අධ්‍යාපනික මෙවලමක් ලෙස ලොව මීට සම කළ හැකි අන් කිසිවක් (ආයතනයක් හෝ විශ්ව විද්‍යාලයක් හෝ ව්‍යාපෘතියක් හෝ) නොමැත. එමෙන්ම සමාජ සම්බන්ධතා ඇති කර ගැනීමේදිත් හා සන්නිවේදනයේදිත් අන්තර්ජාලය ප්‍රමුඛ කාර්යක් (සමහරවිට අනර්ථකාරි මට්ටමට පවා; උදාහරණයක් ලෙස ෆේස්බුක් උන්මාදය) සිදු කරයි. ඒ අතර ව්‍යාපාර හෝ රැකියා හෝ මුදල් සෙවීම පැත්තෙන්ද අන්තර්ජාලයේ වැදගත්කමක් තිබේ.

අන්තර්ජාලය හරහා මුදල් ඉපැයීම ගැන පාඨමාලා පවා ලංකාවේ පැවැත්වේ. එම පාඨමාලාවලට සහභාගි වන අයට ඉන් අන්ර්ජාලයෙන් ඇත්තටම දැනෙන ලෙස කීයක් හෝ හම්බ කර ගැනීමට නොහැකි වුවත්, එම පාඨමාලා පවත්වන අය නම් ධනවතුන් බවට පත්ව ඇති බව පෙනේ (කූඨ ව්‍යාපාර කියා කියන්නේ ඇත්තෙන්ම මෙන්න මේවාටය). සත්‍ය වශයෙන්ම අන්තර්ජාලය හරහා ඉතා විශාල මුදලක් හම්බ කර ගත හැකියි. ඒ කෙසේදැයි (මා දන්නා දැනුම හා අත්දැකීම අනුව) විස්තර කරන්නම්.

දැනට ප්‍රායෝගිකව බොහෝ පිරිසක් සිදු කරන සමහර ක්‍රම හා උපක්‍රම මා කිසිසේත් මෙහි විස්තර නොකරන්නේ ඒවා සදාචාර විරෝධි හෝ මානව සමාජය අවමානයට හා තවත් ප්‍රපාතයට ගෙන යා හැකි දේවල් සේ මා සලකන නිසාය. තමාට හෝ සමාජයට හෝ දෙකටම අයහපතක් සිදු නොවන ආකාරයට කටයුතු කළ හැකි නම් සමාජයේ සෑම දෙනෙකුම ජයග්‍රහයකු වනු ඇත; එවැනි ක්‍රමයක් ඉතා සමබර හා තිරසාර නිසා බොහෝ කාලයක් පහසුවෙන් පවත්වා ගෙනද යා හැකිය.

1. විශාල පිරිසක් (visitors) නිරන්තරයෙන්ම නැවත නැවත එන වෙබ් අඩවියක් තමන් සතුයි නම් ඉන් මුදල් සෙවිය හැකියි. එහිදී ඔබ සැලකිලිමත් විය යුතු සාධක කිහිපයක් ඇත.

පළමුව බලමු විශාල පිරිසක් එලෙස නිරන්තරයෙන්ම තමන්ගේ වෙබ් අඩවියට ගෙන්වා ගත හැක්කේ කෙසේද කියා (ප්‍රචලිත නමුත් ඍණාත්මක ක්‍රම නැතිව). සමාජයේ විවිධ අය සිටිනවානෙ. ඒ සියල්ලටම එක සේ වැදගත්කමක් දැනෙන වෙබ් අඩවියක් නිර්මානය කිරීම කළ නොහැකි වුවත්, ඔබටත් ප්‍රායෝගිකව දිගටම සිදු කර ගෙන යා හැකි සමාජයේ කොටසකට හෝ යම් ප්‍රයෝජනයක් ලැබෙන පරිදි එය නිර්මානය කිරීම වටී. සාමාන්‍ය පෙල, උසස් පෙල වැනි විභාග කරන අයට ප්‍රයෝජනවත් ලිපි හෝ අධ්‍යාපනික මෙවලම් සහිත වෙබ් අඩවි; විශ්ව විද්‍යාල හා වෙනත් උසස් හා වෘත්තිය පුහුණු පාඨමාලා සඳහා ප්‍රයෝජනවත් කරුණු ඇතුලත් වෙබ් අඩවි; යම් විෂයක් හෝ විවිධ විෂයන් ගැන අධ්‍යාපන වටිනාකමක් ඇති වෙබ් අඩවි; සමාජ දේශපාලනය හෝ එවැනි කාලීන දේවල් අඩංගු වෙබ් අඩවි; නීතිය, සෞඛ්‍ය, ලිංගික අධ්‍යාපනය වැනි ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල් වන කරුණු සහිත වෙබ් අඩවි, ආදි ලෙස ඔබ සිතා බලන්න (ඇත්තටම සමාජ ප්‍රගමනයක්ද සහිත, අසත්‍ය හා මිත්‍යාව පතුරුවන්නේ නැති) කුමන කරුණු (content) සහිත වෙබ් අඩවියක් සෑදිය යුතුද කියා. කරුණු ලිපි ලෙස ඉදිරිපත් කළ හැකියි; අවශ්‍ය නම් යූටියුබ් වැනි සේවා භාවිතා කරගනිමින් වීඩියෝද ඉදිරිපත් කළ හැකියි.

එහෙත් අකමැත්තෙන් හෝ පැවසීමට සිදු වන්නේ ඉංග්‍රිසි බස කතා කරන සමාජයට වඩා, ලංකා සමාජය එවැනි හොඳ දේවල් කියවීමට හෝ බැලීමට හෝ එතරම් රුචියක් නැති බවයි. එනිසා හැකි නම් ඉංග්‍රිසි බසින් එම දේවල් ලිවිය හැකියි. එවිට වාසි කිහිපයක් ලැබේ. එකක් නම් ලොව පුරාම සිටින කෝටි ගණනක පිරිසකට (එනම් ඉංග්‍රිසි බස කතා කරන විශාල පිරිස) ඔබගේ වෙබ් අඩවිය පරිහරණය කළ හැකියි. දෙවැනි වාසිය නම්, හොඳ වෙබ් අඩවියකට විත් ඉන් ප්‍රයෝජන ලබන සිංහල බස කතා කරන සමාජය වැඩිපුර නොඑන ප්‍රශ්නයද එතරම් බල නොපායි. අනෙක් විශාලතම වාසිය මොහොතකින් කියන්නම්.

මෙවැනි වෙබ් අඩවියක් දවසින් දෙකින් ඇති නොවේ. ඒ සඳහා මාස ගණනක් ගත වේවි. වෙබ් අඩවි ප්‍රචලිත කරන උපක්‍රමද අවශ්‍ය නම් අනුගමනය කරමින් එම කාලය අඩු කර ගත හැකි වේවි. කෙසේ හෝ මෙවැනි වෙබ් අඩවියක් ඇති විට ඉන් මුදල් සොයා ගත හැකි ආකාරය ගැන දැන් බලමු. එහිද මූලික ක්‍රම 2ක් මට පෙනේ.

(අ) ලංකාවේ භාණ්ඩ හා සේවා සපයන ප්‍රසිද්ධ හා එතරම් ප්‍රසිද්ධ නොවන ව්‍යාපාර/ආයතන වෙතින් ඒ අයගේ වෙළඳ දැන්වීම් ඉල්ලා ගෙන පළ කළ හැකිය. ඔබේ වෙබ් අඩවියට විශාල පිරිසක් එන බව ඔවුන්ට පෙන්වා දිය හැකි නම් සමහරවිට ඔවුන් යම් මුදලක් ගෙවා ඔබට දැන්වීම්/ඇඩ් ලබා දේවි. මෙහිදී පොඩි මුදලක් අය නොකර සාධාරණ විශාල මුදලක් අය කිරීමට ඔබ උත්සහ කළ යුතුය (වසරකට රුපියල් පන්හයදහක් වැනි සොච්චමකින් ඔබට ප්‍රයෝජනයක් නැහැනෙ). පලපුරුද්දත් සමඟ ටික කලකින් ඔබට විශ්ලේෂණයක් සිදු කර අය කළ යුතු මුදල ගැන හැඟීමක් ලබා ගත හැකි වේවි.

(ආ) ලංකාවේ ආයතනවලින් සේම පිටරට ආයතනවල ඇඩ්ද ඔබට එලෙසම පළ කළ හැකියි. එහෙත් මෙහිදී ඔබට එක් එක් ආයතනයට කතා කර ඇඩ් ලබා ගැනීමට අවශ්‍ය නැත (පිටරට ආයතන සමඟ එලෙස කිරීම පහසුද නැත). ගූගල් වැනි ආයතන එවැනි ආයතනවලින් (merchants/advertiser) ඇඩ් ලබා ගෙන එම ඇඩ් පළ කිරීමට කැමැති වෙබ් අඩවිවලට (publishers) ලබා දේ ඔවුන්ටද කොමිස් මුදලක් තබා ගනිමින්. එවැනි විශ්වාසදායි ඇඩ් ලබා දෙන ලෝකප්‍රකට එක් සේවාවකි ගූගල් විසින් පවත්වාගෙන යන AdSense කියන්නේ. ඇත්තටම මෙම දෙවැනි ක්‍රමය ඉතාම පහසුවෙන් සිදු කළ හැකි බොහෝ දෙනා දැනටමත් සිදු කරන දෙයකි.

එහෙත් මෙම දෙවැනි ක්‍රමයට ඇඩ් ලබා ගැනීමට බොහෝවිට එක් කොන්දේසියක් ඇත. එනම් ඉංග්‍රිසි බසින් වෙබ් අඩවි ලිපි තිබිය යුතුය (වැඩිපුර ලිපි ප්‍රමාණයක් ඉංග්‍රිසි බසින් තිබිය යුතුය). පෙරදී මා පසුව කියන්නම් කියූ ඉංග්‍රිසි බසින් ලිපි ලිවීමේ වාසිය වන්නේ මෙයයි.

මෙලෙස පළ කරන ඇඩ් ආකාර කිහිපයක් ඇත. එක් ක්‍රමයකදී ඔබේ වෙබ් අඩවියට පිවිසෙන අයට ඇඩ් පෙනීම පමණක් ප්‍රමාණවත්ය. ඒ කියන්නේ ඔබේ වෙබ් අඩවියට මා පැමිණෙන විට ඉබේම ඇඩ් පේනවානේ. එසේ පෙනෙන සෑම වාරයක් (දර්ශනයක්) පාසාම ඔබට යම් මුදලක් ලැබේ. සාමාන්‍යයෙන් එය ඉතා කුඩා ගණනක් නිසා එවැනි "දර්ශන 1000කට ලැබෙන මුදල" ලෙස එම මුදල සඳහන් කෙරේ. උදාහරණයක් ලෙස එලෙස ඇඩ් එකක් දර්ශන/වාර 1000ක් සිදු කළ විට, ඔබට ඇමරිකානු ඩොලර් 4ක් ලැබේ යැයි සිතමු. මෙම ක්‍රමය CPM ලෙස හැඳින්වේ. මෙහි ඇති අවාසිය වන්නේ ලැබෙන මුදල අඩු වීමයි. වාසිය වන්නේ ඔබේ වෙබ් අඩවියට එන කිසිදු කෙනෙකුට අමුතුවෙන් කිසිවක් කිරීමට අවශ්‍ය නොවේ; නිකංම ඇඩ් එක දර්ශනය වෙනවානෙ ඔහුට.

සාමාන්‍යයෙන් මෙහිදී දර්ශන ගණන ඇත්තටම පුද්ගලයන් ගණන වේ. යම් කෙනෙකු වෙබ් අඩවියට විත් ලිපි 100ක් බැලූ විට ඔහුට ඇඩ් එක 100 පාරක් පෙනේ. එහෙත් එකම පුද්ගලයා බැවින් මෙය ඇඩ් එක 100 පාරක් බැලීමක් ලෙස සැලකෙන්නේ නැත; එය එක් වරක් ලෙස පමනක් සැලකේ. මෙය තාක්ෂණික වශයෙන් කියනවා නම්, එක් IP ඇඩ්‍රස් එකකින් කොපමන පිටු ගණනක් (යම් කාල පරාසයක් ඇතුලත) බැලුවත් එය ඇඩ් එක එකවරක් බැලීමක් ලෙස සැලකේ. එහි තර්කයකුත් තියෙනවා නේද? එකම කෙනාට ඇඩ් එකක් සිය දහස් වතාවක් පෙන්වීමෙන් වැඩක් නැහැනෙ.

තාක්ෂණය ගැන තරමක් දන්නා කෙනෙකුට මෙහිදී යම් හොර ක්‍රමයක් සිහි වෙනවා ඇති තමන්ටම මෙම ඇඩ් විවිධ අයිපී ඇඩ්‍රස්වලින් බැලිය හැකි. එහෙත් බොහෝවිට එවැනි හොර ක්‍රම ගූගල් වැනි ඇඩ් ලබා දෙන ආයතනවලට පහසුවෙන් හසු වේ තමන් කොතරම් සූක්ෂම විදියට ඒවා සිදු කළත්. එහිදී වහම ඔබේ එකවුන්ට් එක අත්හිටුවයි. ඔබට හිමි යම් මුදලක් තිබේ නම් එයද ලබා නොදේ. එනිසා කිසිවිටක හොර වැඩ නොකරන්නට වගබලා ගන්න.

තවත් ඇඩ් ක්‍රමයක් ඇත. මෙහිදී ඔබට යම් මුදලක් ලැබෙන්නේ ඔබේ වෙබ් අඩවිය තුල දර්ශනය වන ඇඩ් එකක් මත කෙනෙකු ක්ලික් කළ විටයි. එවිට එම ක්ලික් කළ කෙනාව එම භාණ්ඩය හෝ සේවාව ලබා දෙන ආයතනයේ වෙබ් පිටුවක් කරා ගෙන යනවා. CPC හෝ pay-per-click (PPC) ලෙස මෙම ඇඩ් ක්‍රමය හැඳින්වේ. මෙහි ඇති වාසිය වන්නේ ඉහත ක්‍රමයට වඩා වැඩි මුදලක් මෙවැනි ඇඩ්වලින් ලැබීමයි. අවාසිය වන්නේ බොහෝ දෙනා ඇඩ් මත ක්ලික් නොකිරීමයි.

තවත් ඇඩ් ක්‍රමයක් ඇත. එහිදී ඉහත ආකාරයට ඇඩ් එක මත ක්ලික් කර එම සේවාව හෝ භාණ්ඩය මිලට ගත යුතුය. එසේ කෙනෙකු මිලට ගත් විට ඔබට මුදල් හිමි වේ. මෙම ක්‍රමයෙන් ඉතා විශාල මුදලක් ලැබේ. භාණ්ඩයේ/සේවාවේ මිල අනුව ඔබට ලැබෙන කොමිස් මුදල තීරණය වේ. මෙම ක්‍රමයේ ඇති අවාසිය වන්නේ එලෙස ඇඩ් එකක් මත ක්ලික් කර භාණ්ඩයක්/සේවාවක් මිලදී ගන්නේ සුලු පිරිසකි. එහෙත් මිනිසුන්ටනෙ භාණ්ඩ හා සේවා විකුණන්නේ (මිනිසුන් මිල දී නොගන්නේ නම් ආයතන විසින් ඒවා නිපද වන්නේ නැහැනෙ). ඉතිං ඉඳහිට හෝ එම භාණ්ඩය/සේවාව මිලට ගැනීමට අවශ්‍ය කෙනෙකු එය දැක්කොත් බොහෝවිට ඔහු එය එලෙස මිලට ගනීවි.

මීට අමතරව, ඉහත (ආ) යටතේ කතා කළ ඇඩ් ආකාර 3ට අමතරව තවත් සියුම් වෙනස්කම් සහිත ක්‍රමද  පවතී. (ආ) යටතේ කතා කළ මේ සෑම ක්‍රමයකටම පොදු දුර්වලතාවක් ඇත. එනම්, අද වන විට විශාල පිරිසක් තමන්ට අන්තර්ජාලය හරහා පෙන්වන ඇඩ් නොපෙන්වන ලෙස පරිගනක සකසා ගෙන ඇත. මාද එසේ කර ඇත. කවුද කැමති අනවශ්‍ය ඇඩ් බලන්නට... වෙබ් බ්‍රවුසරයේ ඉන්ස්ටෝල් කර ගන්නා add-on එකක් (Ad Block Plus වැනි) මඟින් හෝ පරිගනකයේ ඇති hosts ෆයිල් එක ඇඩ් නොපෙන්වන hosts ෆයිල් එකක් (අන්තර්ජාලයෙන් මෙවැනි ෆයිල් ඩවුන්ලෝඩ් කර ගත හැකියි) මඟින් රිප්ලේස් කරමින් හෝ එය ඉතා පහසුවෙන් කර ගත හැකියි.

2. ebay වැනි අන්තර්ජාලය හරහා බඩු විකුණන සේවාවක රෙජිස්ටර් වී ඔබටත් යම් යම් භාණ්ඩ/සේවා විකිණිය හැකිය.

මේ ක්‍රමය තවමත් ලංකාවේ ප්‍රචලිත නැති බවක් පෙනේ. චීනය මෙම ක්‍රමයෙන් ඉතා ඉදිරියෙන් සිටී. ඊට එක් හේතුවක් වන්නේ ලංකාවේ අල්පෙනෙත්තක්වත් නිපදවන්නේ නැති වීමයි. ඉතිං අප යමක් විකුණනවා කියන්නේ එය පළමුව චීනයෙන් හෝ වෙන කොහෙන් හෝ ආනයනය කර නැවත එය විකිණීමයි. ඉතිං එවිට භාණ්ඩයේ මිල ඉහල යන නිසා විකිනීමට නොහැකි වෙනවා. එහෙත් ලංකාවේ නිපදවෙන යම් යම් (කුඩා) භාණ්ඩ තිබේ නම් උත්සහ කර බලන්න. නීති විරෝධි බඩු හෝ ලංකාවෙන් පිටරටට යැවීම තහනම් හෝ සීමා කර ඇති බඩු නොයැවීමට වගබලා ගන්න.

මෙම ක්‍රමය කාර්යක්ෂම හා ආරක්ෂිතව සිදු කිරීමට paypal සේවාව තිබීමද වැදගත්ය. එහෙත් අවාසනාවකට මෙන් ලංකාවට පේපැල් සේවාව සම්පූර්ණ ලෙස තවම ලැබෙන්නේ නැත. පේපැල් හරහා ලංකාවේ සිට පිටතට මුදල් යැවිය හැකි වුවත්, තවමත් පිට කෙනෙකු එවන මුදල් ලංකාවේ අයකුට (එනම් ලංකාවේ කෙනාගේ බැංකු ගිණුමට) ලබා ගැනීමේ පහසුකම නැත. ආරංචිවල හැටියට ලබන වසරේ පමන මෙම පහසුකමද ලංකාවට බොහෝවිට ලැබේවි. වෙනත් වංචනික හෝ වක්‍ර ක්‍රමවලින් ඔබට පේපැල් පහසුකම ලබා ගත හැකි ක්‍රම ගැන අන්තර්ජාලයේ විස්තර ඇත. ඒවා සිදු නොකරන්න. එය හරියට ඔබේ මුදල් පාරේ හමුවන නොදන්නා කෙනෙකුට භාර දී ඔබේ ගෙදරට ගිහින් භාර දෙන්න යැයි කීම බඳුය. කවුරු මොනවා කිව්වත් පේපැල් පහසුකම ලංකාවට හරිහැටි ලබා දෙන තෙක් බලා සිටින්න හොර ක්‍රමවලට නොගිහින් (මේ සියලු ක්‍රම හොර ක්‍රම වුවත් සමහරුන් ඒවා හොර ක්‍රම නොවන බව ඔබට හේත්තු ගන්නවන්නට උත්සහ කරයි; ඒවාට නොරැවටෙන්න).

ඩොලර් බිලියන ගණන් වත්කම් හා ලාභ සහිත පේපැල්, ගූගල් වැනි ආයතන අපට වඩා ගව් ගණන් ඉදිරියෙන් සිටී; ඔවුන්ට නොදැනෙන සේ හොර වැඩ කළ හැකියි යැයි සිතීමම මෝඩකමකි.

මේ ක්‍රමයේම තවත් පැතිකඩක් තිබේ. එනම්, ඔබ ලියූ පොත් තිබේ නම්, ebook වශයෙන් ඒවා විකිනිය හැකියි amazon වැනි ආයතන හරහා. බොහෝවිට ඉංග්‍රිසියෙන් ලිවීමට සිදු වේවි. ඇමසන් වැනි ආයතනයක් හරහා එලෙස ඊබුක් විකුනනවා නම් ඔබෙන් විශාල ටැක්ස් එකක් ඇමරිකානු රජයෙන් අය කරයි (ඇමසන් ඇතුලු බොහෝ ආයතන ඇමරිකානු සමාගම් වේ). එහෙත් ලංකාව හා ඇමරිකාව අතර තිබෙන යම් වෙළඳ ගිවිසුමක් නිසා, ඔබට හැකියි එම ටැක්ස් එකෙන් ගැලවෙන්නට. ඒ සඳහා ලංකාවේ දේශිය ආදයම් බදු දෙපාර්තමේන්තුවෙන් ඔබ යම් ටැක්ස්වලට අදාල ලියාපදිංචි වීමක් සිදු කර (මේ සඳහා මුදල් අය නොවේ), ඉන් ලැබෙන අංකයද ඇතුලත් කරමින් ඇමරිකානු ආදයම්බදු අධිකාරයේ යම් ෆෝර්ම් එකක් පුරවා (මෙය අන්තර්ජලය හරහා ඩවුන්ලෝඩ් කර ගත හැකිය; මුදල් අය නොවේ) ඊට ඉදිරිපත් කර එම ටැක්ස් නොගෙවා සිටීමේ වරප්‍රසාදය ලබා ගත හැකිය.

එලෙසම, ඔබ විසින් සාදා ඇති ප්‍රෝග්‍රෑම්/සොෆ්ට්වෙයාර් තිබේ නම් ඒවාද එලෙසම අන්තර්ජාලය හරහා විකිනිය හැකිය ගූගල් ප්ලේස්ටෝර් ආදී සේවා හරහා. ඇන්ඩ්‍රොයිඩ් ඇප් ආදිය පහසුවෙන් සෑදිය හැකියිනෙ. සමහරවිට රුපියල් හාරපන්දහක් වැනි මූලික ගාස්තුවක්ද ගෙවිමට සිදු වේවි ප්‍රෝග්‍රෑම් විකුණන සේවාව හා රෙජිස්ටර් වීමේදී.

මෙලෙස ඊබුක්, ඇප්ස් ආදිය (මේවා digital goods ලෙස පොදුවේ හඳුන්වමු) ඉහත ආකාරයට විකුණන විට ඉන් ලැබෙන මුදල් චෙක් මඟින් හෝ wire/SWIFT transfer මඟින් හෝ යම් ඩෙබිට් කාඩ් එකක් හරහා හෝ සමහරවිට පේපැල් හරහාද (ඉදිරියේදි එම පහසුකම අපට ලැබුණු විට) ඔබට ලබා ගත හැකිය. මේ පිළිබද වෙනම ලිපියක් පසුවට ලියමි.

3. ඉහත ක්‍රම දෙකටම වඩා මා ප්‍රිය කරන ක්‍රමය නම් online freelancing ක්‍රමයට මුදල් සෙවීමයි. මාද කාලයක් මෙය සිදු කර ඇත.

මෙහිදී ඔබට යම් විෂයක් පිළිබඳ එක් දක්ෂතාවක් හෝ තිබිය යුතුය. ඔබට යම් ආයතනයක රැකියාවක් ලබා දෙන්නේ ඔබේ යම් දක්ෂතාවක් ඔවුන්ගේ වැඩවලට අවශ්‍ය නිසානෙ. ෆ්‍රීලාන්සිං කියන්නේ යම් ආයතනයක සේවකයෙකු නොවී, එම ආයතනයේ යම් යම් වැඩ සිදු කිරීමයි. මෙවිට ඔබ හා සේව්‍යයා (බොස්) අතර තිබෙන්නේ ප්‍රොජෙක්ට් එකෙන් ප්‍රොජෙක්ට් එකට බැඳියාවක් පමණි. ඔබට උපරිම නිදහසක් තිබේ. මෙලෙස වැඩ කරන අය freelancer ලෙස හැඳින් වේ. සමහරුන් ජීවිත කාලය පුරාවටම ෆ්‍රීලාන්සිං ක්‍රමයට හම්බ කිරීම සිදු කරයි. මෙය තරමක් ස්වයං-රැකියා තත්වයකට සමානය.

එලෙසම අන්තර්ජාලය හරහා යම් යම් වැඩ මුදල් ගෙවා සිදු කර ගත හැකිය. උදාහරණ ලෙස, ඔබට හෝ ඔබේ ආයතනයට යම් රූපයක් හෝ logo එකක් අවශ්‍ය නම්, එය අන්තර්ජාලය හරහා මුදල් ගෙවා දැන් සිදු කර ගත හැකිය. මෙවිට අවශ්‍යතාව තිබෙන කෙනා හා එම අවශ්‍යතාව ඉෂ්ට කර දෙන කෙනා මුන ගස්වන සේවා වෙළඳපොලවල් ඇත (වානිජයේදී "වෙළඳපොල" කියන්නේ ගැනුම්කරු හා විකුනුම්කරු හමුවන තැනයි). www.freelancer.com, fiver.com ආදි ඉතා ප්‍රචලිත එවැනි සේවා කිහිපයක්ම ඇත. ඒවායේ ඔබට නොමිලේ රෙජිස්ටර් විය හැකියි. රූප ඇඳීම, වෙඩ්අඩවි නිර්මානය කිරීම, සංගීත ඛණ්ඩ සාදා දීම, වාර්තා/රිපෝර්ට් ලිවීම, යම් යම් ගැටලුවලට පිලිතුරු/පැහැදිලි කිරීම් ලබා දීම, ගිනුම් සාදා දීම, ඉලෙක්ට්‍රොනික් පරිපථ නිර්මානය කිරීම, යම් යම් ගණනය කිරීම් සිදු කර දීම, ඇප්/ප්‍රෝග්‍රෑම් සාදා දීම ආදි ලෙස ඔබට සිතාගත නොහැකි තරම් විශාල පරාසයක රාජකාරි මෙම වෙබ් අඩවි හරහා සිදු කෙරේ.

ඉතිං, මෙවැනි සේවාවක් හා රෙජිස්ටර් වූවාට පසුව, ඔබේ දක්ෂතාවලට ගැලපෙන රාජකාරි ඔබට සිදු කළ හැකියි. එහිදී සේවා ලබා දෙන අයද  දසදහස් ගණනින් සිටින අතර, ඒවා ඉටු කර දීමට ලක්ෂ ගණනක පිරිසක් සිටී. එනිසා තරමක තරගයක් එහි ඇත. සාමාන්‍යයෙන් වෙන්දේසි (auction) ක්‍රමයට එය සිදු වේ. එනම්, කෙනෙකු තමන්ට අහවල් දේ කර ගැනීමට අවශ්‍ය යැයි එම වෙබ් සේවාවේ සටහන් කරයි. එවිට, එය සිදු කර දිය හැකි පිරිස් එය තමන් අච්චර මුදලකට (ඇමරිකානු ඩොලර්වලින් බොහෝවිට ගනුදෙනු සිදු වේ) කර දෙන්නම් යැයි ඉල්ලීම්/ලන්සු (bid) තබයි. ඔබත් එලෙස ලන්සු තැබිය යුතුය. එවිට ජොබ් එක (මෙහිදි job යනු ලබා දෙන රාජකාරියට කියන නමයි; අවශ්‍ය නම් project කියාද ඊට කිව හැකියි) ලබා දෙන තැනැත්තා (employer හෝ offeror කියා ඔහුට කිව හැකියි) ඒ සියලු දෙනා (bidder ලෙස මේ අයව හැඳින් වේ) සමඟම හෝ ඔහුගේ සිතට ඇල්ලූ කෙනෙකු හෝ කිහිප දෙනෙකු සමඟ චැට් කළ හැකිය. ඉන්පසු කෙනෙකුව ඔහු විසින් තෝරා ගැනේ. ඔබ උත්සහ කළ යුත්තේ ඔහු තෝරා ගන්නා කෙනා කොහොම හරි ඔබ වීමටයි. එනම්, ඔබ කැපී පෙනිය යුතුය. කැපී පෙනෙන්නේ කෙලෙසද? ඒ සඳහා ක්‍රම කිහිපයක් ඇත (ඇත්තටම එක් එක් සේවාවේ සුලු වශයෙන් වෙනස්කම් තිබිය හැකි වුවත්, මා පොදුවේ ඒවා කෙටියෙන් විස්තර කරන්නම්).

(අ) තමන්ගේ ඉංග්‍රිසි දැනුම හොඳවන තරමට ඔබව කැපී පෙනේ. මෙහිදී බොහෝවිට කටින් කතා නොකරන අතර, අකුරුවලින් චැට් කිරීමයි සිදු වන්නේ. ඔබ වුවත් කැමතිද ඔබ කියන දේවල් නොතේරෙන කෙනෙකු සමඟ වැඩක් කරන්නට? එනිසාම ටයිප් කරන වේගයද වැඩි වන තරමට හොඳය.

(ආ) සාමාන්‍යයෙන් ඔබ එවැනි සේවාවකට රෙජිස්ටර් වූවාට පසුව ඔබ දක්ෂ කුමන කුමන කාර්යවලටදැයි තේරීමක් කිරීමට සිදු වේ (මෙලෙස ඔබට තෝරා ගත හැකි ලැයිස්තුව සීමාසහිත වේ; බොහෝවිට 20කට අඩු ප්‍රමාණයකුයි තෝරා ගත හැක්කේ දෙතුන්සියයක් විශාල ලැයිස්තුවකින්). එනිසා ඇත්තටම තමන්ට කළ හැකි දක්ෂතා (skill) මෙහිදී හොඳින් විශාල ලැයිස්තුව කියවා බලා තෝරා ගත යුතුය. ඔබට පරිගනකයේ පෙන්වන්නේ එලෙස තෝරාගත් දක්ෂතාවලට ගැලපෙන ප්‍රොජෙක්ට්/ජොබ් පමණි. එනිසා නැවත කියන්නේ පරිස්සමින් මෙම ලැයිස්තුව තෝරාගත යුතු බවයි.

(ඇ) තමන් අහවල් අහවල් දේවලට දක්ෂ යැයි තමන් ප්‍රකාශ කළ පමණින් කියවෙන්නේ නැහැ ප්‍රොජෙක්ට් ලබා දෙන අය එය විශ්වාස කරයි කියා. එනිසා තමන් ඇත්තටම ඒ ඒ දේවලට දක්ෂ යැයි පෙන්වන ක්‍රමවේදයක්ද මෙවැනි සේවාවල ඇත. එනම් කුඩා බහුවරන ප්‍රශ්නපත්‍රයක් සහිත විභාගයක් කැමති නම් කළ හැකියි. එය උපරිම ලකුණු සහිතව පාස් වීමට උත්සහ කළ යුතුය. එසේ හොඳින් පාස් වූ විට, ඔබේ නමට ඉදිරියෙන් අහවල් විෂය සම්බන්ද විභාගය පාස් යැයි පෙන්වන ලස්සන කුඩා බැජ් එකක් දර්ශන වේවි. මෙය තරමක හොඳ කීර්ති නාමයකි තමන් එයට දක්ෂ යැයි පෙන්වන.

මෙලෙස එක් එක් දක්ෂතාවට විභාග වෙන වෙනම ඇත. යම් විභාග ගණනක් නොමිලේම ඔබට කළ හැකි අතර ඩොලර් 5ක් වැනි මුදලක් ගෙවා ඕනෑම වාර ගණනක් වුවද මෙම විභාග අවශ්‍ය නම් කළ හැකියි. නොමිලේ කරපු විභාගයක් තමන් පාස් වුවොත් තවත් වැඩිපුර විභාගයක් නොමිලේ කිරීමටද බොහෝවිට අවසර ලැබේ. ඇත්තටම ඔබ එලෙස කරන කරන විභාගය සමත් වේ නම්, විභාග සියල්ලම වුවද නොමිලේම කළ හැකිය. එහෙත් ෆේල් වුවොත් වැඩිපුර තවත් විභාග කිරීමට චාන්ස් නොලැබේ (එවිට මුදල් ගෙවා තවත් විභාග කිරීමට පහසුකම ඇත).

සමහරවිට එක් එක් දක්ෂතාව සඳහා එක් විභාගයක් නොව, මට්ටම් දෙක තුනක විභාග දෙක තුනක් වුවද තිබිය හැකියි. එවිට, පලමු මට්ටම පාස් වූවාට පසුව දෙවැනි මට්ටමේ විභාගයද, එයද පාස් වුවොත් තුන්වැනි මට්ටමේ විභාගයද කළ හැකිය. එවිට ඔබ ඉහල මට්ටමේ දැනුමක් ඒ ඒ විෂයන්ට ඇති කෙනෙකු ලෙස අන් අයට පෙනේ.

(ඈ) තමන්ගේ වැදගත්කම පෙන්වන රූපයක්ද සහිතව, තමන් ගැන හොඳ හා අවශ්‍ය දේවල් විතරක් සහිත විස්තරයක් සහිත profile එකක් සෑදීම වැදගත්ය. යම් උපාධියක් හෝ පිලිගත් සුදුසුකමක් තිබේ නම් ඒවාද සටහන් කළ හැකියි. තමන්ගේ පලපුරුද්ද ගැන ලිවිය හැකිය. ඕනවට වඩා වැලවටාරම් හෝ පුරසාරම් නොලියන්න.

(ඉ) තමන් එකින් එක ජොබ් බාරගෙන සාර්ථකව නිම කරන විට, එයද ඔබ "වැඩකාරයෙක්" කියා අන් අයට පෙන්වන ක්‍රමයක් වේ. බොහෝවිට ඔබට ජොබ් එක ලබා දෙන අයට ඔබ ගැන කමෙන්ට් එකක් කිරීමටද අවස්ථාවක් තිබෙන අතර, එසේ කරන කමෙන්ට් (feedback) අන් අයට කියවිය හැකියි ඔබේ ප්‍රොෆයිල් එක හරහා. ඉතිං ඔබ හොඳින් එම වැඩ නිම කර ඇත්නම් බොහෝවිට ඔවුන් ඔබ ගැන හොඳ කියාවි. එනිසා වැඩ අනා ගන්නේ නැතිව කිරීමට මුල සිටම වග බලා ගත යුතුය.

මෙම ෆ්‍රීලාන්සිං ක්‍රමය ගැන තව දුරටත් කරුණු කිහිපයක් මා ලියන්නම්. එනම් එවැනි සේවාවවකට රෙජිස්ටර් වූ පසුව ඉහත කියූ ලෙස අවශ්‍ය විභාග කර තමන්ගේ කීර්ති නාමය තහවුරු කර ගන්න. කලබල නොවන්න. සමහරුන් එතරම් සිතා නොබලා කරන්නම් වාලේ කරන්නට ගොසින් වැඩිදුර ගමනක් යන්නට බැරි වේ; එවිට වෙනත් නමකින් නැවත නැවත එකවුන්ට් සාදා ගනී. මෙවිට සිදු වන්නේ තමන්ව දිගු කාලීන සාමාජිකයකු ලෙස අන් අයට පෙන්වීමට බැරි වීමයි.

තවද, ආධුනික අයට එකවර ජොබ් නොලැබිය හැකියි. එනිසා එතරම් ලොකු (වැඩි මුදලක් ගෙවන/අය කරන) ජොබ්වලට එකපාර නොයන්න. ඩොලර් 30ක් 40ක් වැනි කුඩා ජොබ්වලට බිඩ් කරන්න. අනිත් අයත් බිඩ් කර තිබෙන ගණන් බලන්න. හැකි තරම් අවම බිඩ් අගයක් තබන්න. එලෙස ජොබ් කිහිපයක් කොහොම හරි ලබා ගන්න. එලෙස කිහිපයක් කර ගෙන යන විට ක්‍රමයෙන් ඔබට ලැබෙන ජොබ් ගණන වේගයෙන් වැඩි වේ. එවිට ඔබට සාධාරණ යැයි සිතෙන ගණන් ඉදිරිපත් කළ හැකියි.

මුදල පසුපසම නොයන්න. තමන් කරන ජොබ් එකේ කොලිටිය ගැන සිතන්න. ඔබට ලැබෙන මුදල සේම ජොබ් එක ලබා දෙන කෙනා සතුටට පත්ව ඔබ ගැන තබන ෆීඩ්බැක් කමෙන්ට් එකත් වටී. ඔබ ගැන ඍනාත්මක ෆීඩ්බැක් එකක් දුන් විට අන් අයට තේරෙන්නේ ඔබ වංචනිකයෙකු හෝ වැඩ බැරි කෙනෙකු කියාය. මෙහිදී සන්නිවේදනයද වැදගත් වේ. කොතරම් ඔබට කේන්ති ආවත් හැකි තරම් සැහැල්ලුවෙන් වැඩ කරන්න (ඔවුන් කියන කියන අනවශ්‍ය දේවල් කිරීම්ද නොකරන්න; එය ඔබේ සන්නිවේදන හා තර්ක කිරීමේ හැකියාව මත තීරණය වේ). ඇත්තටම සමහරවිට ඔවුන් සතුටට පත් වන විට, ඔවුන් පොරොන්දු වුණු මුදලටත් වඩා වැඩිපුර ගෙවයි.

ජොබ් එකට කොතරම් කාලයක් යනවාදැයි කිව යුතුයි. මෙහිදී ඇත්තටම හොඳ තක්සේරුවක් කර නිවැරදි කාලයක් දෙන්න. හා පැයකින් කර දෙන්නම් කියා දවස් දෙක තුනක් යන වැඩක් ගන්න එපා. කියපු කාල පරාසය තුල වැඩේ කර දෙන්න. කිසියම් හේතුවක් නිසා හෝ කාලය වැඩි පුර අවශ්‍ය වේ නම්, වහම ඒ ගැන ඔහු සමඟ කතා බහ කරන්න.

මුදල් ගනුදෙනු කිරීමේදී ගැටලු ඇත. ඔහු කැමති නැත ඔබට මුලින් මුදල් ලබා දී වැඩේ කරන්නට (මුදල් දුන් පසු ඔබ වැඩේ නොකර සිටිය හැකි නිසා); ඔබද කැමති නැහැ වැඩේ කරල දුන්නට පස්සේ මුදල් ගන්න (ඔහු මුදල් නොදී සිටිය හැකි නිසා). එකිනෙකාව නොදන්නා හා ඉන්න තැන්ද හරිහැටි නොදන්නා ලෝකයේ ඈත රටවල් දෙකක දෙදෙනා සිටින තත්වයක් තුල මෙම සැකය විශාල ලෙස පවතිනවානෙ.

ඊට කදිම විසඳුමක් අන්තර්ජාල වෙලඳපොල සේවා සපයන ආයතන විසින් ලබා දේ. මෙහිදී ඔබට හිමිවිය යුතු මුලු මුදල වැඩේ ලබා දෙන තැනැන්තා විසින් මෙම වෙළඳපොල සේවා සපයන ආයතනයේ ගිනුමක මුලින්ම තැන්පත් කරයි. මෙවිට ඔබ වැඩේ ඉවර කළාට පසු එම මුදල ඔබේ ගිනුමට යවන ලෙස ඉල්ලා සිටිය හැකියි. එම ඉල්ලීමට ජොබ් එක ලබා දුන් කෙනාගේ විරුද්ධත්වයක් නැතිනම් එම මුදල වහම ඔබට ලබා දේ.

එහෙත් ඔබ කර දුන් වැඩේ හරි නැතිනම් ඔහු එම මුදල රිලීස් කරනවාට විරුද්ධ විය හැකියි. එවිට "කුඩා නඩුවක්" ඉබේම ඇති වේ. ඔබලා දෙදෙනාම ඉදිරිපත් කරන කරුණු සලකා එම සේවා සපයන ආයතනය විසින් තීරණයක් ගනීවි. එහෙත් එලෙස ගැටලුකාරී නොවන අයුරින් නඩු ඇති නොවන අයුරින් සාමාන්‍යයෙන් ගනුදෙනු සිදු වේ.

සමහරවිට ජොබ් එක කොටස් වශයෙන් නිම කර කොටසින් කොටස භාර දිය හැකියි (milestones). එවිට එකවර අවසානයේ මුදල් ගෙවනවා වෙනුවට ඒ ඒ කොටස නිම කර ලබා දුන් පසුව මුලු මුදලෙන් කොටස බැඟින් ඔබට රිලීස් කර ගතද හැකියි.

ඉහත කුමන ආකාරවලින් හෝ ඔබ උපයන මුදල් ලංකාවට ගෙන්වා ගත යුතුය. මේ සඳහා බැංකු ඩ්‍රාෆ්ට් (චෙක් කියා පැවසුවත් මේවා ඇත්තටම ඩ්‍රාෆ්ට් වේ), ඩෙබිට් කාඩ්, ස්විෆ්ට් ට්‍රාන්ස්ෆර් ක්‍රමවලින් සිදු කර ගත හැකියි.

4. අන්තර්ජාලය හරහා මුදල් සෙවීමේ තවත් ක්‍රමයක් ඇත. එනම් ලංකාවේ කොළඹ කොටස් වෙළඳපොලට (Colombo Stock Exchange) සම්බන්ද වී කටයුතු කිරීමයි. මෙය ඇත්තටම කොටස් වෙළඳපොලක් සමඟ සාමාන්‍ය ගනුදෙනු කිරීමකි. එකම වෙනස අන්තර්ජාලය හරහා එය ඔබටම ගෙදර සිට තමන්ට කැමති කැමති ආකාරවලින් කොටස් මිලදී ගැනීම හා විකිනීමට ඇති හැකියාවයි. අන්තර්ජාලය හරහා නොකර සාම්ප්‍රදායික ක්‍රමයට කරන විට තැරැව්කරු හරහා ඔහුට උපදෙස් දිදී ඔහු ලවා කොටස් මිලට ගැනීම හා විකිනීම කළ යුතු වෙනවානෙ. එවිට එක අතකින් ඔහුට කරදරයක් මොකද ඔබ පමණක් නොව තවත් අය වෙනුවෙනුත් ඔහු එලෙස කටයුතු කළ යුතු වෙනවා. එනිසා ක්ෂණිකබව නැත. එහෙත් තමන්ම කොටස් වෙලඳපොලේ පුවරුව බලාගෙන ක්ෂණයකින් එලෙස කොටස් ගනුදෙනු කළ හැකියි තමන්ගේ පරිගනකයේ ප්‍රෝග්‍රෑම් එක හරහා.

මෙහිදී ඔබට කොටස් වෙළඳපොල ගැන දැනුමක් අවශ්‍ය වෙනවා. කොටස් ගැනීම හා විකිනීම ආකාර කිහිපයකින් සිදු කළ හැකි අතර, මෙම ක්‍රමයේදී සාමාන්‍යයෙන් එක් දිනයක් තුල කොටස් ගෙන එදිනම කොටස් විකුනනවා යම් ලාභයක් තියාගෙන. මෙය day trading කියා හැඳින්වෙනවා. එක්තරා විදියක සූදි කෙලීමක් බඳුය. එහෙත් කිසිසේත් නීති විරෝධි හෝ සදාචාර විරෝධිද නොවේ. මාද මෙය යම් කාලයක සිදු කර තිබෙන අතර, ඇත්තටම හරි දැනුමක් ඇතිව කළොත් විශාල ලාභයක් ඉපැයිය හැකිය. කොටස් වෙළඳපොල හා අන්තර්ජාලය භාවිතා කිරීම යන කාරණා දෙක ගැනම දැනුමක් ඇති විට මෙය සිදු කරන හැටි අමුතුවෙන් කිව යුතු නොවේ (එනිසා ඒ ගැන වැඩි විස්තර නොකරමි).

5. නිවසේ සිට අන්තර්ජාලය හරහා යම් (බොහෝ විට ලංකාව තුල ඇති) ආයතනයකට සේවය කිරීම

මෙහිදී දුර සිට සිදු කළ හැකි සේවා කළ හැකියි. උදාහරණයක් ලෙස, ලේකන හා වෙනත් දේවල් භාෂා පරිවර්තනය සිදු කිරීම, වෙබ් අඩවි ඔවුන් වෙනුවෙන් පවත්වාගෙන යෑම, යම් යම් ලේකන සකස් කිරීම, ඇඩ්වර්ටයිසිං ආයතනවලට ස්ක්‍රිප්ට් ලිවීම ආදිය සිදු කළ හැකියි. ඊමේල් හරහා බොහෝවිට ජොබ් එක සිදු කෙරේ. මුදල් ගෙවීම ඔවුන් විසින් තමන්ගේ බැංකු ගිනුමකට සිදු කරන ලෙස උපදෙස් දිය හැකිය. මෙයද මා ටික කාලයක් සිදු කර ඇත (ප්‍රසිද්ධ ඇඩ්වර්ටයිසිං ෆර්ම් එකක් සඳහා).

- - - - - - - - - - - - - -

ඉහත ආකාර හැරුනහම අන්තර්ජාලයේ වෙනත් ක්‍රම ගැනද තිබේවි; අර මුලදී පැවසූ ආකාරයට අන්තර්ජාලය හරහා මුදල් උපයන හැටි කියා දෙන පාඨමාලාවලද සඳහන් වේවි. එවන් සාර්ථක නොවන ක්‍රම කිහිපයක් ගැනද කෙටියෙන් සටහන් කරන්නම්.

අන්තර්ජාලය හරහා යම් යම් සමීක්ෂන ෆෝර්ම් පිරවීම එක් අසාර්ථක ක්‍රමයකි. මින් ඇත්තටම මුදලක් සෙවිය හැකි වුවත්, මාසයක් මැරීගෙන වැඩ කළත් රුපියල් දෙතුන් දහක්වත් සෙවිය නොහැකිය. මෙහිදී ඔබට පිරවීමට විවිධ ඔන්ලයින් ෆෝර්ම් ලබා දෙනවා. ඒවායේ ඔබ ඇත්තටම පුරවන්නේ බොරු විස්තර වේ. එය රැවටීමකි. කටක් හැර වෙනත් කෙනෙකුට කිව නොහැකි කැත වැඩකි.

තවත් නරක සූදු ක්‍රමයක් නම් forex trading වේ. ඇත්තටම ලංකාවේ නීතිය අනුව මෙය නීතිවිරෝධිද වේ. එසේ වුවත් ප්‍රසිද්ධියේම මේවා ජාතික පුවත්පත්වල දැන්වීම් පළ කරමින් හා පුහුනු ආයතනද පවත්වමින් සිදු කිරීම රටේ නීතියේ ඇති නිදිමත ගතිය පෙනේ. අනෙක් පසින් මෙය ඇත්තටම ෆොරෙක්ස් ගනුදෙනුවක් නොවේ. ඔබට එසේ දැනෙන විදියට සැකසූ ආකෘතියක් මත සිදු කරන සූදුවකි. එනිසා ඇමරිකාව වැනි නීතිය හොඳින් ක්‍රියාත්මක නොවන රටවල ආයතන විසින් මේවා සිදු නොකරයි.

*** මගෙන් අසා තිබෙන ගැටලුවකට පිලිතුරක් වශයෙනුයි මෙම ලිපිය ලියූවේ***