Skip to main content

Dark clouds and silver linings

Today I heard about a grand wedding of an Indian tycoon (Ambani's son) from a friend of mine, and he showed me some videos of it too. He said famous and powerful people from around the world have been invited to it, and the cost of the event was going to be several Billions (of Indian Rupees or USD, I don't know). If you think about it, India is a country with a higher population of substandard living conditions. There are innocent and miserable children who are forced to work for a mere subsistence, being deprived of education, health facilities, and food and water. I remember a movie based on a true story in which Akshey Kumar was playing the leading role where he makes sanitary towels (pads) for poor women who could not afford it. In such a country, a single wedding event spends billions of money. What a crappy world we are living! You could imagine how much wealth this family has amassed. On the other, this "mental disease" of exorbitant spending must be highly we

ක්‍රෙඩිට්, ඩෙබිට්, පේපැල්, හා විද්‍යුත් මුදල්

මුදල් භාවිතයට පැමිණි හැටි පාසල් විෂය මාලාවේද ඉගැන් වේ. එය ලස්සන කතාන්දරයකි. එම මුදලේ විකාශය කොටස් වශයෙන් පළවන කතාවක් ලෙස ගත් විට, විද්‍යුත් මුදල් යනු වර්තමානයේ රඟදැක්වෙන කථාංගය/කොටස වේ. එම කතාව ලස්සන නිසාම සංක්ෂිප්තව ඒ ගැන පළමුව බලමු.

මුලදී මුදල් හෝ ඒ පිළිබඳ සංකල්පය හෝ නොවීය. තම තමන්ගේ අවශ්‍යතා තම තමන් විසින්ම සොයාගෙන ඉටු කර ගැනීමට සිදු විය. අවශ්‍යතා ඉතා සරල වූ බැවින් ආදිතමයන්ට එය එතරම් ගැටලුවක් නොවීය. තනි තනිව ජීවත් නොවී පවුල් හෝ කුඩා කණ්ඩායම් වශයෙන් ජීවත් වීම නිසා එලෙස ජීවත් වීමට තවත් පහසුවක් ලැබුණි.

එහෙත් අවශ්‍යතා විවිධ හා විස්තීර්ණ වූ විට (එය මානව සමාජයේ දියුණු වීමකි), එකිනෙකා සතු අතිරේක භාණ්ඩ එකිනෙකා අතරේ හුවමාරු කර ගැනීම සිදු විය. මෙම ක්‍රමය (barter system) අදටත් සමාජයේ දක්නට ලැබේ. උදාහරණයක් ලෙස, තමන් සතු හාල් තවත් කෙනෙකුට දී එම වටිනාකමට (දෙදෙනාගේ එකඟතාව මත) අර්තාපල් තමන්ට ඔහුගෙන් ලබා ගත හැකියි. ඍජුවම භාණ්ඩයකට භාණ්ඩයක් හුවමාරු විය.

ඉහත බාටර් ක්‍රමය සමාජය තවත් දියුණු වෙද්දි (එනම් ගනුදෙනු ප්‍රමාණය වැඩි වෙද්දී) ප්‍රමාණවත් නොවීය. එනම් ද්වියික සමපාතය (dual coincidance) නම් ගැටලුව ප්‍රමුඛව ඉස්මතු විය. මීට විසඳුමක් ලෙස යම් එකිනෙකට භාණ්ඩ දෙකක් දෙපසට/දෙපාර්ශවය අතරේ හුවමාරු කර ගන්නවා වෙනුවට, අතරමැදි වටිනා දෙයක් ඒ වෙනුවට හුවමාරු කරගන්නට විය. මෙලෙස අතරමැදිව හුවමාරු කරන දෙය විනිමය මාධ්‍යය (exchange medium) ලෙස හඳුන්වමු. "විනිමය" යන වචනය ඔබට නිතර අසන්නට ලැබුණත් එහි තේරුම ගැන අවබෝධය අල්පය බොහෝ දෙනා අතර; මෙහි තේරුම "හුවමාරු කිරීම" වේ. රත්තරං, රිදී, මුතු මැනික්, ජේඩ් ගල් ආදී දුර්ලභ දේවල් විනිමය මාධ්‍ය ලෙස එකල භාවිතා විය (රටින් රටට ද්‍රව්‍ය වෙනස් විය හැකිය). මෙවිට, ඔබේ සහල් කෙනෙකුට ලබා දුන් විට, ඔහු ඊට ගැලපෙන වටිනාකමට (දෙදෙනාගේ එකඟතාව මත) අර වැනි වටිනා ද්‍රව්‍ය කොටසක් ලබා දේ. දැන් ඔබට හැකියි එම වටිනා දේ තවත් කෙනෙකුට ලබා දී තමන්ට අවශ්‍ය අර්තාපල් හෝ ඇඳුමක් මිල දී ගැනීමට. විකිණීම (sale) හා මිලදී ගැනීම (purchase) යන කාර්යන් දෙක වෙන වෙනම කාරණා දෙකක් ලෙස මෙතැන් සිට ඉස්මතු විය.

ඉහත ක්‍රමයේද ගැටලු සමනය කිරීමට රාජ්‍යයේ මැදිහත් වීම සහිතව (එනම් රාජ්‍යයේ අධිකාරිත්ව බලය මඟින්) යම් යම් නොවටිනා ලෝහ ගෙන ඉන් කාසි (coin) නිපදවා භාවිතා කිරීමේ ක්‍රමය විනිමය මාධ්‍යය ලෙස හඳුන්වා දුනි. එහිදී යම් ලෝහ කැබැල්ලක් ගෙන, එහි යම් රාජ්‍ය මුද්‍රාවක් තබා, මෙය මෙතැන් සිට මෙච්චර වටිනාකමක් සහිත යැයි සැලකිය යුතු බවට නියමයක් පැනවීය. අදටත් අප එලෙස කාසි භාවිතා කරනවා නේද? ඉන්පසු ඊටත් වඩා තවත් ලාභ ආකාරයෙන් එය සිදු කිරීම සඳහා ලෝහ වෙනුවට කඩදාසි පවා යොදා ගති. මේවා තමයි නෝට්ටු (note) ලෙස අද හැඳින් වෙන්නේ. කාසි හා නෝට්ටු මුදල් (money) ලෙස දැන් බොහෝ කාලයක් තිස්සේ අද දක්වාත් ඉතා කාර්යක්ෂම ලෙස භාවිතා කෙරේ.

මෙම තත්වය තවදුරටත් ඉදිරියට ගොස් වෙනත් මුදල් ආදේශකද ඇති විය. චෙක් (check/cheque), අණකර (draft) ආදියද බිහි විය. බැලූ බැල්මට චෙක් හා ඩ්‍රාෆ්ට් දෙකම එකක් සේ පෙනේ; සමහරෙක් මේ දෙකේ වෙනස දන්නේද නැත. එහෙත් මෙම ප්‍රචලිත ක්‍රම දෙකේ වෙනස්කම් ඇත. ඒ ගැනත් කෙටියෙන් බලමු.

සාමාන්‍යයෙන් චෙක් ලබා දීමේ පහසුකම ගැනීමට ඔබට බැංකුවක ජංගම ගිනුමක් (current account) විවෘත කිරීමට සිදු වේ. ඔබ දන්නවා ජංගම ගිණුම් යනු ඔබ මුදල් තැන්පත් කරන (save) ගිනුමක් නොවේ; එනිසා එහි ඇති මුදලට පොලී (interest) නොලැබේ. පොලියක් ලබා ගැනීමට නම් ඔබ ඉතිරි කිරීමේ ගිනුමක් (saving account) හෝ ස්ථාවර තැන්පතුවක් (fixed deposit) දැමිය යුතුය. ජංගම ගිනුම් පහසුකම ඇති කර දී තිබෙන්නේම ව්‍යාපාරිකයන්ට මුදල් ගෙවීමේ මෙවලමක් ලෙසයි. මෙවන් ජංගම ගිනුම් හිමියෙකුට චෙක් පොතක් ලැබෙන අතර, ඉන් තමන්ට අවශ්‍ය පරිදි මුදල් ගෙවීම් සඳහා වෙක් ලියා දිය හැකිය. මෙවිට චෙක් එකක් ලැබුණු තැනැත්තාට එම චෙක් එක බැංකුවට භාර දී එය මුදල් කර ගත හැකිය. මෙහිදී චෙක් එකක් ලබා දුන්නට ඉන් හැඟවෙන්නේ නැහැ චෙක් එක ඇත්තටම මුදල් කර ගත හැකිිය කියා. ලබා දුන් චෙක් එක බැංකුවට ගොස් තැන්පත් කර එය මුදල් කර ගන්නා මොහොත වන විට එම චෙක් එක ලබා දුන් තැනැත්තාගේ අදාල ජංගම ගිනුමේ එම මුදල් ප්‍රමාණය හෝ ඊට වඩා මුදල් තිබිය යුතුද වෙනවා. එසේ නොවුණ විට, චෙක් එක මුදල් නොවී, "රිටර්න්" වෙනවා (අගරු වෙනවා). නඩුහබ දක්වා මෙය දික් ගැස්විය හැකිය. රටක් තුල චෙක් ගනුදෙනු කළ හැකි වුවද, රටවල් අතර එලෙස චෙක් සාමාන්‍යයෙන් පිළි ගැනෙන්නේ නැත.

ඩ්‍රාෆ්ට් එකක්ද බැලූබැල්මට පෙනුමින් චෙක් එකක් වැනිය. එහෙත් ඕනෑම කෙනෙකුට ඩ්‍රාෆ්ට් එකක් ලබා ගත හැකියි. ඔබට කිසිදු ගිනුමක් එම බැංකුවේ පවත්වා ගෙන යෑමටද අවශ්‍ය නැත. එහිදී ඔබ බැංකුවට ගොස් යම් වටිනාකමක් සහිත ඩ්‍රාෆ්ට් එකක් අහවල් පුද්ගලයා නමින් අවශ්‍ය යැයි සඳහන් කර, එම වටිනාකම බැංකුවට එවෙලෙහි ලබා දෙනවා. එවිට බැංකුව ඩ්‍රාෆ්ට් එකක් සකසා ඔබේ අතට ලබා දේ. එය ඔබට අවශ්‍ය කෙනාට ලබා දිය හැකියි දැන්. එම තැනැත්තාට 100%ක් විශ්වාසයෙන් එය භාර ගත හැකියි මොකද දැනටමත් එම මුදල බැංකුවේ තැන්පත් කර තිබේ. එනිසා ගෙයක්, වාහනයක්, හෝ ඕනෑම වටිනා දෙයක් විකුණන විට ඩ්‍රාෆ්ට්වලින් එය සිදු කළ හැකි නම් ඔබට හොර සල්ලි ලබා දේවිද, දීපු සල්ලි මංකොල්ලකාවිද ආදි ගැටලුවලින් මිදිය හැකිය. තවද, රටකින් රටකට මුදල් යැවීමටද ඩ්‍රාෆ්ට් මඟින් හැකිය. ඉස්සර (හා දැනුත්) පිටරටවල සේවය කරපු අය ලංකාවට මුදල් එව්වේ මේ ක්‍රමයෙනි.

විසි එක් වැනි සියවසේදී (අපගේ ජීවිත කාලය තුල!) ලොව පුරා විශාල පෙරලි සිදු විය. පරිගනක දියුණුව හා ඊටත් පසුව ඇති වී තිබෙන විද්‍යුත්සන්නිවේදන (telecommunication) දියුණුව නිසා (විශේෂයෙන් අන්තර්ජාලය නිසා), අද විශාල ලෝකය කුඩා වී ඇත. ලෝකයේ දෙකෙලවරක සිටින දෙදෙනෙකුට හෝ ලෝකය සිසාරා සිටින විශාල පිරිසකට වුවද තමන් සිටින සිටින තැන්වල සිට එකිනෙකාගේ වීඩියෝද දකිමින් කතා බහ කළ හැකිය. එය විශ්ව ගම්මානය (global village) හෝ ඊටත් ඉදිරියට ගොස් විශ්ව පවුල (global family) යන සංකල්පවලින් හැඳින්වේ. සියලු සමාජ සම්බන්දතාවලට එය බලපා ඇත. එනිසා පැරණි කාසි හා නෝට්ටු මුදල් ක්‍රම අදට නොගැලපේ. ක්ෂණිකබව අද ලෝකයේ අත්‍යවශ්‍ය සාධකයකි. එනිසා මුදල් යැවීමට ඩ්‍රාෆ්ට් ක්‍රමය ගැලපෙන්නේ නැත; කාසි හා නෝට්ටු කොහොමත් ගැලපෙන්නේ නැති බව පේනවනේ.

මීට පිලියම් ලෙස විද්‍යුත් මුදල් (electronic money හෙවත් e-money) ක්‍රම බිහි විය. සියල්ලම ඩිජිටල් වන ලෝකයේ මුදල් හා ගනුදෙනු කොහොමද ඉන් බේරි සිටින්නේ? මෙහිද ආකාර කිහිපයක් පවතී.

ඔබ දන්නවා එක් එක් රටවල භාවිතා වන්නේ විවිධ මුදල් ඒකක වේ. ඒ අතරින් මුදල් ඒකක කිහිපයක් ජාත්‍යන්තර වශයෙන් ගනුදෙනු කිරීම සඳහා කවුරුත් කැමති වී ඇත. ඇමරිකානු ඩොලර් (US Dollar - USD), බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුන්ඩ් (Sterling Pound - GBP), යුරෝපා සංගමටය අයත් රටවල භාවිතා වන යුරෝ (Euro - EUR), ජපන් යෙන් (Japanese Yen - JPY) මේ අතර ප්‍රධාන වේ. ඊටත් අමතරව වෙනත් මුදල් ඒකක කිහිපයක්ද සුලු වශයෙන් භාවිතා වේ ජාත්‍යන්තර වශයෙන්. ලංකාවේ අපද අතිශය බහුලව අමරිකානු ඩොලර් භාවිතා කරනවා ජාත්‍යන්තර ගනුදෙනුවලදී.

ඇත්තටම යම් රටක් තුල ඔබ යමෙකුගෙන් භාණ්ඩයක් හෝ සේවාවක් ලබා ගත් විට භෞතික වශයෙන්ම ඔබේ මුදල් කාසි හා නෝට්ටු ඔහුට ලබා දේ. ජාත්‍යන්තර වෙළඳාමේදීද එය සිදු වුවත් එය ඍජුවම ඔබට (ගනුදෙනු කරුවන්ට) නොපෙනේ. ඔබ හා ඔහු අතර ගනුදෙනුවලදී අතරමැදියන් ලෙස බැංකු සිටී. මිල දී ගන්න කෙනා තම රටේ අදාල බැංකුවට සල්ලි ලබා දෙන අතර, විකුනපු කෙනාට මුදල් ලැබෙන්නේ ඔහුගේ රටේ අදාල බැංකුවෙනි. සැබෑවටම සල්ලි භෞතික ලෙස හුවමාරු වන්නේ බැංකු හා බැංකු අතර (හා මහා බැංකු අතරය) වේ. එය ඔබට නොපෙනේ (රහසින් සිදු වේ).

මේ අනුව පෙනෙනවා භෞතිකව මුදල් හුවමාරු වන්නේ සත්‍ය ලෙසම ඔබේ ගනුදෙනුව සිදු කර යම් කාලයකට පසුවයි. ඒ කියන්නේ ගනුදෙනුව සිදු වන මොහොතේ වෙන්නේ ගනුදෙනුව පිළිබඳ යම් විස්තරයක් "විශ්වාසය මත" දෙරට අතර හුවමාරු වීමයි විකුනුම්කරු හා ගැනුම්කරු වෙනුවෙන්. සාමාන්‍ය ගනුදෙනු කරුවන්ගෙන් මුදල් වැය වීම හා ලැබීම වහම දෙරටේ බැංකු හරහා සිදු සිදු වුවත්, රටින් රටට මුදල් යන්නේ පසුකාලීනවයි. ඉතිං මෙම තොරතුරු හුවමාරු කිරීම පහසුවෙන් විද්‍යුත් සන්නිවේදන ක්‍රම ඔස්සේ සිදු කළ හැකි බව පේනවා නේද (ලියුම් ගනුදෙනු නොකර)? මෙය කාර්යක්ෂම සිදු වන්නේ රටවල් හා බැංකු අතර ඇති කරගෙන තිබෙන විවිධ සම්මුති හා ගිවිසුම් නිසාය.

තනි රටක් තුල හෝ රටවල් දෙකක් අතර විද්‍යුත් ක්‍රමයට මුදල් යැවීමේ පැරණි ක්‍රමය wire transfer ලෙස හැඳින්වේ. එහිදීද ඩ්‍රාෆ්ට් එකක් සාදන ආකාරයටම එය සිදු වේ. වෙනස වන්නේ කොලයක ලියා ඩ්‍රාෆ්ට් එකක් ලබා දෙනු වෙනුවට ලබන කෙනාගේ ගිනුමකට කෙලින්ම මුදල් ලැබීමයි. මෙම ක්‍රමයට මුදල් යැවීමට ලොව පුරා විවිධ ආයතන/ජාලා ඇත. SWIFT (Society for Worldwide Inter-bank Financial Transaction) යනු එවන් ප්‍රචලිතම ක්‍රමයකි. මෙම ක්‍රමයට බැඳි සිටින සෑම බැංකුවකටම ඊටම අනන්‍ය වූ SWIFT code එකක් ඇත. උදාහරණ ලෙස, සම්පත් බැංකුව සඳහා BSAMLKLX ද, ලංකා බැංකුව සඳහා BCEYLKLX ද ලැබී තිබේ. ඉතිං ලෝකයේ ඕනෑම තැනක සිටින කෙනෙකුට සම්පත් බැංකුවේ මාගේ 1122334455 යන ගිනුමට මුදල් එවීමට අවශ්‍ය නම්, ඔහු තම රටේ බැංකුවකට ගොස් මගේ බැංකුවේ අංකයත් මගේ ගිනුම් අංකයත් ලබා දී මුදල් එවන ලෙස උපදෙස් ලබා දිය හැකිය. ඉතා ඉක්මනින් එම මුදල් මට දැන් ලබා ගත හැකියි. මෙම ක්‍රමය පහසු හා ලෝකයේ ඕනෑම තැනකින් ලබා ගත හැකිය. තරමක් වැඩි ගාස්තුවක්ද වැය වේ (රුපියල් දෙතුන් දහකට නොඅඩු ගාස්තුවක්). විවිධ නම්වලින් අද ලංකාවේ විවිධ බැංකු විසින් මෙවැනි ක්‍රම රාශියක් ගැන දිනපතා රූපවාහිනි දැන්වීම්වල පළ කරනවා නේද?

සාමාන්‍යයෙන් ඉහත ආකාරයට  මුදල් යැවීම් හා ගැනීම් වුවද ක්ෂණික නොවේ. කුඩා මුදල් ප්‍රමාණයන් යැවීමට එම ක්‍රම සුදුසුද නැත. මේ සඳහා තිබෙන ඉතා පහසු හා ක්ෂණික ගෙවීම් ක්‍රම වන්නේ බැංකු කාඩ් වේ. මෙහිද වර්ග කිහිපයක් ඇත. සාමාන්‍යයෙන් (විශේෂයෙන් ඉස්සර), ඒ ඒ බැංකු විසින් තම ගිනුම් හිමියන්ට විශේෂිත බැංකු කාඩ් හඳුන්වා දුනි. උදාහරණ ලෙස, සම්පත් බැංකුව SET ලෙසද, ලංකා බැංකුව PET ලෙසද ආදි ලෙස විවිධ නම්වලින් ඒවා නම් විය. පොදුවේ මෙම කාඩ් ATM card ලෙස හැඳින්වේ මොකද මෙම කාඩ් ATM (Automated Teller Machine) වලට ඇතුලු කර තම ගිනුමෙන් අවශ්‍ය මුදල් ලබා ගත හැකිය (උපරිම අගයකට යටත්ව). මේ සමඟම බැංකු එකිනෙකට සම්බන්ද වී පොදු බැංකු කාඩ් ක්‍රමයකට දැන් යමින් පවතී. එවැනි ලෝකප්‍රකට පොදු බැංකු කාඩ් සන්නාම (brand names) දෙකක් වනුයේ Visa හා MasterCard වේ. මේ වන විට ලංකාවේ පවා බොහෝ බැංකු පෙට්, සෙට් ආදී කාඩ් වෙනුවට වීසා හෝ මාස්ටර්කාඩ් ලබා දේ.

අද බොහෝ දෙනා ගාව මෙවැනි වීසා හෝ මාස්ටර්කාඩ් තිබේ. එහෙත් ඉහත ඡේදයෙත් පැවසූ ආකාරයට මෙහි ජාති කිහිපයක් ඇත. එක් වර්ගයක් නම් ණයපත් (credit card) වේ. එහිදී ඇත්තටම බැංකුව විසින් ඔබට යම් ණය මුදලක් ලබා දේ. ඒ කියන්නේ යම් බැංකුවකින් ක්‍රෙඩිට්කාඩ් එකක් ලබා ගත් විට, බැංකුවෙන් අවසර ලබා දෙනවා බැංකුවේ මුදලින් ඔබට එම කාඩ් එක යම් කඩේකට/විකුනුම්කරුවෙකුට ඉදිරිපත් කර යම් යම් භාණ්ඩ හෝ සේවා ලබා ගැනීමට. ඉන්පසු දින 59 ක් වැනි කාලයක් තුල එලෙස ණයට ලබා ගත් මුදල පොලියක් නැතිව නැවත බැංකුවට ගෙවිය යුතු වෙනවා. එම දින ගණන ඉක්ම වුවොත් අතිදැවැන්ත පොලී මුදල් ඔවුන් ඔබෙන් අය කරනවා. සමහරවිට මාස කිහිපයක් එලෙස එම ණය මුදල නොගෙවා සිටියොත්, ගත් මුදලටත් වඩා මුදලක් පොලී ලෙස අය කිරීම සිදු වෙනවා (මා එය විශාල අසාධාරණ ක්‍රමයක් ලෙස දකිනවා).

ක්‍රෙඩිට්කාඩ් එකක් ලබා ගැනීමට ඔබට නිතිපතා ආදයම් ලැබෙන බව බැංකුවට සනාථ කළ යුතු වෙනවා. ඔබේ ආදායම අනුව ඔබට ලබා දෙන ණය සීමාව (credit limit) තීරණය වෙනවා. ඔබ මසකට රුපියල් 35000ක් පමණ ආදායමක් ලබන්නෙක් නම් සමහරවිට ඔබට ලැබෙන ණය සීමාව රුපියල් 25000ක් පමණ විය හැකිය. ණය සීමාව නිසා ඔබ සීමාව ඉක්මවා ණයට මිලදී ගැනීම වැලකී යනවා. එය දෙපාර්ශවයටම හොඳය. එහෙත් කාලයක් තිස්සේ හොඳින් කාඩ් එක පරිහරණය කරනවා නම් (ණයට ගෙන නියමිත පරිදි ගෙවනවා නම්), එන්න එන්න ඔබේ ණය සීමාව බැංකුව විසින් ඉහලද දමනවා.

මා මිතුරන්ට නිතරම කියන දෙයක් තිබෙනවා. එනම් අපේ එවුන් (ලංකාවේ අය) මුදල් හම්බ කිරීමට දක්ෂ වුවත් වියදම් කරන්නට දක්ෂ නැත කියාය. එනිසා මුදල් කළමණාකරණ හැකියාව ඉතා අවම වේ. ණය ගැනීම් බහුලව සිදු වෙනවා එම ණය පියවන්නේ කෙසේදැයි කිසිදු හැඟීමක් නැතිව. පුද්ගලයන් පමණක් නොව, ලංකාව රටක් වශයෙන් ගත් කළද තත්වය එයමයි. එනිසා ක්‍රෙඩිට් කාඩ් භාවිතය ලංකාවට හිතකර නොවන බව මගේ හැඟීමයි.

වීසා හෝ මාස්ටර්කාඩ් යන සන්නාමවලින් පවතින අනෙක් කාඩ් වර්ගය හරපත් (debit card) වේ. මෙය හැම අතින්ම ක්‍රෙඩිට් කාඩ් එකක් මෙන්ම භාවිතා වේ. එකම වෙනස මෙහිදී බැංකුවෙන් ණයට ලබා දෙන මුදල් නොවේ අප වියදම් කරන්නේ. මෙම කාඩ් අපේ ඉතිරි කිරීම් ගිනුමට කෙලින්ම සම්බන්ද වේ. එම ගිනුමේ තිබෙන සල්ලියි වියදම් වෙන්නේ. එනිසා පොලී අයකිරිලිද නැත. ඉතාම ආරක්ෂිත වේ. ක්‍රෙඩිට්කාඩ් එකෙන් ලබා ගත හැකි පහසුකම් සියල්ල ලබා ගනිමින්ම, ඉබේම මුදල් පාලනයද තිබෙන නිසා මෙම ඩෙබිට්කාඩ් භාවිතා කිරීම සුදුසුය. ඩෙබිට් කාඩ් හා පැරණි ඒටීඑම් කාඩ් අතර තිබෙන ප්‍රධාන වෙනස වන්නේ වීසා හෝ මාස්ටර් ඩෙබිට් කාඩ් ලෝකයේ ඕනෑම තැනක එක සේ භාවිතා කළ හැකි වුවත් ඒටීඑම් කාඩ් රට තුල පමණක් භාවිතා කිරීමට හැකි වීමයි.

සාමාන්‍යයෙන් ඩෙබිට්/ක්‍රෙඩිට් කාඩ් ලෝකය පුරාම භාවිතා කළ හැකිය. ලංකාවේ සාප්පුවකින් මෙන්ම පිටරටක සාප්පුවකින්ද ඉන් වියදම් පියවිය හැකිය. අන්තර්ජාලය හරහාද ගෙවීම් සිදු කළ හැකිය. එහෙත්, එම කාඩ් ලබා දෙන බැංකුවට හැකියාව තිබෙනවා විවිධ සීමාකිරීම් සිදු කරන්නට. සමහර ඩෙබිට් කාඩ් ලංකාවේ හඳුන්වා දී තිබෙනවා අන්තර්ජාලය හරහා පමණක් ගෙවීම් සිදු කළ හැකි පරිදි (සම්පත් වෙබ්කාඩ්). තවත් සමහර කාඩ් ලංකාව අන්තර්ජාලය හරහා ගෙවීම් සිදු කළ නොහැකි නමුත් අනෙක් ආකාරවලින් ලොවපුරා භාවිතා කළ හැකි පරිදි නිකුත් කරනවා (සෙලාන් බැංකුවේ ඩෙබිට් කාඩ්; දැන් තත්වය බැංකුවෙන් විමසා බලන්න). ඉතිං තමන් ලබා ගන්නා කාඩ් එකෙන් සියලුම පහසුකම් ලබා ගත හැකි නම් පහසුයිනෙ. එවැනි කාඩ් නිකුත් කරන බැංකුවකින් තම ඩෙබිට් කාඩ් එක ලබා ගන්න (හැට්න් නැෂනල් බැංකුවෙන් එවැනි කාඩ් දෙනවා).

අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට (භාණ්ඩ හා සේවා ලබා ගැනීමට) අනිවාර්යෙන්ම ඉහත ආකාරයේ ක්‍රෙඩිට්/ඩෙබිට් කාඩ් එකක් අවශ්‍ය වෙනවාමයි. මෙවැනි කාඩ් හොඳින් ආරක්ෂා කර ගත යුතුය. කාඩ් එක භෞතික වශයෙන්  ආරක්ෂා කරලා (එනම් කාඩ් එක තමන් ගාව විතරක් තබා ගැනීම) මදිය. මේ සෑම කාඩ් එකකම කාඩ් අංකයක් ඇත. එය කාඩ් එකේ ඉදිරිපිට ඉලක්කම් 16කින් දැක්වේ. ඊට අමතරව සෑම කාඩ් එකක්ම වලංගු වන කාල සීමාවක් (අවුරුද්දක් දෙකක් තුනක් වැනි) ඇත. එම කාඩ් අංකය හා කාඩ් එකේ එක්පයරි ඩේට් එක යම් කෙනෙකු දන්නේ නම් ඉන් අන්තර්ජාලය හරහා ගෙවීම් සිදු කළ හැකිය. එනිසා එම අංක පවා වෙනත් කෙනෙකුට දැනගන්නට ඉඩ නොතබන්න.

ඇත්තටම හොර වැඩ අවම කිරීමට ඉහත දත්ත දෙකට අමතරව තවත් දත්ත හඳුන්වා දී තිබෙනවා. ඉන් එකක් නම් CVV (Credit Validation Value) ලෙස හැඳින්වෙන ඉලක්කම් 3ක හෝ 4ක කුඩා අංකයයි (එය PIN අංකයක් වැනිය). එය කාඩ් එකේ පිටුපස ලියා තිබෙනවා. ඊටත් අමතරව, කාඩ් එක බැංකුවෙන් ලබා ගැනීමේදී ඔබ බැංකුවට ලබා දුන් ලිපිනයද වැදගත් දත්තයකි. ආරක්ෂිත වෙබ් අඩවි හොරෙන් අනුන්ගේ කාඩ් භාවිතා කිරීම අවම කිරීම සඳහා දැන් බොහෝ විට කාඩ් අංකය, එක්ස්පයරි ඩේට් එක (මාසය හා අවුරුද්ද), සීවීවී අංකය, හා ඔබ බැංකුවට ලබා දුන් ඇඩ්‍රස් එක යන දත්ත වර්ග 4ම ඉල්ලා සිටිනවා. එකක් හෝ වැරදි නම් කාඩ් එකෙන් ගෙවීම් කළ නොහැකි වෙනවා.

අන්තර්ජාලය හරහා ගෙවීම් ආරක්ෂිතව සිදු කිරීම අභියෝගයකි. එනම් ඔබගේ කාඩ් තොරතුරු යම් ගෙවීමක් සඳහා ඇතුලත් කරන විට, පිටස්තරයෙකුට හොරෙන් එම තොරතුරු ලබා ගත හැකි විය හැකියි. එය වැලැක්වීමට නොයෙක් පැතිවලින් උපක්‍රම සකසා ඇත. එකක් නම්, ඔබ අන්තර්ජාලයේ යම් වෙබ් අඩවියකට එම තොරතුරු ඇතුලත් කිරීමට පෙර බැලිය යුතුයි එම වෙබ් අඩවිය SSL ක්‍රමය භාවිතා කරනවාද කියා. එය පහසුවෙන් බැලිය හැකියි වෙබ් ඇඩ්‍රස් එක පෙන්වන වෙබ් බ්‍රවුසරයේ ඇඩ්‍රස් බාර් එකේ https ලෙස පටන් ගත යුතුය. මෙම ක්‍රමය සක්‍රිය නම් ඉන් කියන්නේ ඔබ ඇතුලු කරන සියලු දත්ත කියවිය හැක්කේ අදාල වෙබ්සයිට් එකට පමණයි කියාය (පිටස්තර අයට බැරිය). http ලෙස තිබුණොත් ඉන් කියන්නේ ආරක්ෂිත නැතැයි කියාය. එවැනි වෙබ් අඩවියකට ඔබේ කාඩ් තොරතුරු ඇතුලු නොකරන්න.

සමහරවිට https ලෙස තිබුණත්, එවැනි වෙබ් බ්‍රවුසරයකට පිවිසෙන විට එම SSL පහසුකම යල්පැන ගොස් ඇතැයි හෝ පිලිගත නොහැකි යැයි පවසනවා නම්, එවිටද එවැනි වෙබ් අඩවි විශ්වාස නොකරන්න. ඊට හේතුව SSL තිබුණාට මදිය; එය වෙබ් අඩවිය විසින් ලබා ගත යුත්තේ අනුමත SSL සේවා සපයන්නකුගෙන් පමණි. වෙබ් බ්‍රවුසරය සතුව තිබෙනවා එලෙස අනුමත සේවා සපයන්නන්ගේ විස්තර. වෙබ් බ්‍රවුසරයෙන් ලබා දෙන අනතුරු හැඟවීමට අවනත වන්න. ඇත්තටම මෙම තාක්ෂණය ගැන ඉතා දිගට කතා කිරීමට තිබෙන නමුත්, මෙම ලිපියේ අරමුණ එය නොවන නිසා මෙම වැදගත් කරුණු දෙක තුන ගැන පමණක් සටහන් කර නවතිමි.

ආරක්ෂිතව ගනුදෙනු කිරීමට පහසුකම් සලසන තවත් උපක්‍රමයක් වන්නේ ඔබට නිතර නිතර විවිධ වෙබ් අඩවිවලින් සේවා ලබා ගන්නා විට, ඒවාට ඔබේ කාඩ් විස්තර ඇතුලු කිරීම අවම කිරීමය. ඒ සඳහාම වෙනම සේවා ඇත. paypal යනු ලෝප්‍රකට ඉතාම විශ්වාසදායි එවැනි සේවාවකි. තවත් එවැනි සේවා රාශියක් ඇත. එවැනි සේවාවකට රෙජිස්ටර් වී ඔබේ කාඩ් තොරතුරු ඊට වරක් ඇතුලු කරන්න. දැන් එම සේවාව විසින් ඔබේ තොරතුරු ඉතා ආරක්ෂිතව ගබඩා කර ගන්නවා ඔවුන්ගේ පරිගනකයේ. බොහෝවිට කිසිදු මුදලක් මේ සඳහා වැය නොවේ. දැන් ඔබ යම් වෙබ් අඩවියකට ගොස් ඔවුන්ට ගෙවීමක් කරන්නට යන විට, ඔබ ඔබේ කාඩ් විස්තර ඊට ඇතුලු කරනවා වෙනුවට පේපැල් ක්‍රමයට ගෙවන්නට කැමැතියි යැයි කියනවා (ඇත්තටම මේ සඳහා එම වෙඩ්අඩවි පේපැල් හෝ අනෙක් එවැනි සේවාවලින් ගෙවිය හැකි පරිදි සකස් කළ යුතුද වෙනවා). එවිට ඔබව පේපැල් වෙත ඉබේම යොමු කර, පේපැල් පාස්වර්ඩ් ආදිය ඇතුලු කර එම මුදල ගෙවන ලෙස බට්න් එකක් මත ක්ලික් කර කැමැත්ත පළ කරනවා. ඉබේම පේපැල් හරහා අර වෙබ් අඩවියට මුදල් යැවෙනවා. දැක්කද ඔබේ කාඩ් විස්තර ඇතුලු කිරීමට අවශ්‍ය නැති අතර, එම වෙබ් අඩවියට ඔබේ කාඩ් විස්තර කිසිසේත් යැවෙන්නේ නැත (පේපැල් විසින්වත් ලබා නොදේ).

සෙල්‍යුලර් දුරකතන සන්නිවේදනය හා ඒ මත දත්ත සන්නිවේදන ක්‍රම ලොවපුරා ඉතා වේගයෙන් ප්‍රචලිත විය. එනිසා අන්තර්ජාලය අද ජංගම වේ; යන යන තැන ස්මාට් ෆෝන් එක නිසා අන්තර්ජාලයද ඒ සෑම තැනකම තිබේ. එනිසා අන්තර්ජාල හරහා සිදු වූ විද්‍යුත් ගනුදෙනු මොබයිල් ෆෝන් එක හරහාද අද සිදු වේ. ඊටත් අමතරව, අන්තර්ජාලයට ඍජුවම සම්බන්ද නොවන විද්‍යුත් මුදල් ක්‍රමද මොබයිල් ෆෝන් එක හරහා බිහි වී ඇත. eCash, mCash ආදි නම්වලින් ලංකාව තුල මෙවැනි ගෙවීම් ක්‍රමද ජනප්‍රිය වී ඇත. එහිදී යම් මුදලක් කෙනෙකුට යැවිය හැකියි ෆෝන් එකේ අංකය හරහා (මෙවිට ඇත්තටම තමන්ගේ ෆෝන් අංකය ගිනුම් අංකයද වේ). ඉතිං වෙලෙන්දෙකුට හැකියි තමන් විකුණන භාණ්ඩයකට හෝ සපයන සේවාවකට ගෙවීම මෙලෙස ෆෝන් එක හරහා තමන්ගේ ෆෝන් එකට එවන්නට කියා. මේවා mobile money ලෙසද හැඳින්විය හැකිය. ඇත්තටම eCash, mCash සේවා භාවිතා කරන්නට හැකියි අන්තර්ජාලය හරහා ගෙවීම් කරන්නටත් (මෙම ප්ලැට්ෆෝම් තවදුරටත් පහසුවෙන් නොමිලේ payment gateway ලෙස ලබා ගත හැකි පරිදි ඉදිරිපත් කළ යුතු යැයි මා සිතනවා).

මීටත් අමතරව කිසිදු රටකට අනුබද්ධිත නොවන, විද්‍යුත් වශයෙන්ම පමණක් පවතින මුදල් ඒකක පවා බිහිව තිබෙනවා. මේවා ක්‍රියාත්මක වන විදිය සංකීර්ණ නිසා, සාමාන්‍ය ජනයා අතර ප්‍රචලිත නොවේ. bitcoin යනු එවැන්නකි. මේ ගැන මාද එතරම් නොදනී.

දැන් මා පෙන්වන්නට යන්නේ ඩ්‍රාෆ්ට්, ස්විෆ්ට් ට්‍රාන්ස්ෆර්, ඩෙබිට් කාඩ්, හා පේපැල් හරහා කොහොමද ඔබට අන්තර්ජාලය හරහා හම්බ කර ගත් මුදල් ගෙන්වා ගන්නේ කියා. මා http://www.tekcroach.tk/2017/11/blog-post_23.html යන ලිපියෙන් පෙන්වා තිබෙනවා කොහොමද අන්තර්ජාලය හරහා මුදල් හම්බ කරන්නේ කියා.

ඔබ අන්තර්ජාලය හරහා මුදල් සොයන විට, අන්වාර්යෙන්ම amazon, freelancer, fiver, createspace, google adsense, google playstore ආදි යම් සේවා ආයතනයක රෙජිස්ටර් විය යුතුයිනෙ. එවිට එම සේවා හරහා ඔබට ලැබෙන මුදල් තාවකාලිකව ඔවුන් රඳවා ගෙන සිටිනවා. යම් අවම මට්ටමකට වඩා එම මුදල වැඩි වූ විට, ඔබට හැකියි එම මුදල් එවන ලෙස උපදෙස් දෙන්නට. මොන ක්‍රමයෙන් මුදල් එවුවත්, යම් ගාස්තුවක් ගෙවීමට සිදු වෙනවා. එනිසා ඔබ සංසන්දනය කර බැලිය යුතුයි වඩා ලාභම ක්‍රමය කුමක්ද කියා. බොහෝ විට ඩ්‍රාෆ්ට් (චෙක් කියා නිතරම මෙය ඔවුන් හඳුන්වනවා) හා ස්විෆ්ට් ක්‍රමය මේ සියල්ලන් විසින්ම සපෝට් කරනවා.

ඩ්‍රාෆ්ට්/චෙක් එකක් ලෙස එවන විට, එය තැපෑලෙන් ඔබේ ලිපිනයට එවන ලෙස උපදෙස් ලබා දිය හැකියි. මෙහිදී handling fee ලෙස තරමක ඉහල ගාස්තුවක් අය කර ගන්නවා. සතියක් හෝ ඊට වැඩි කාලයක් ගත විය හැකියි චෙක් එක තැපෑලෙන් ලැබෙන්නට.

ස්විෆ්ට් ක්‍රමයට එවන ලෙස උපදෙස් දෙන විට, තමන්ගේ බැංකුවේ නම, ස්විෆ්ට් කෝඩ් එක, ඇඩ්‍රස් එක, ගිනුම් අංකය ලබා දිය යුතු වෙනවා. එවිට දවසකින් පමණ එම මුදල ඔබට ලබා ගත හැකි වේවි. මෙම ක්‍රමයෙන් කුඩා මුදලක් ගෙන්වා ගැනීම අවාසිදායක වේ.

දැනට පහසුම ක්‍රමය ඩෙබිට් කාඩ් ක්‍රමයයි. මෙහිදී ඔබට යම් මූල්‍ය ආයතනයක් හෝ බැංකුවක් විසින් ඩෙබිට් කාඩ් එකක් ලබා දේ. payoneer යනු එවැනි ඩෙබිට් කාඩ් ලබා දෙන සේවාවකි. අන්තර්ජාලය හරහා මුදල් ගෙන්වා ගැනීම සඳහාම එම සේවාව නිර්මාණය කර ඇත. ඔවුන් ලෝකයේ ඕනෑම තැනක සිටින කෙනෙකුට එය ලබා දේ. එහිදී ඔබ එම සේවාව සමඟ රෙජිස්ටර් විය යුතුය. තමන්ගේ සත්‍ය තොරතුරුම ඇතුලු කරන්න. එවිට, ඔබ සඳහා එම ආයතනය තුල ගිනුමක් සාදා ඊට සම්බන්ද කල ඩෙබිට් කාඩ් එකක් ඔබට තැපෑලෙන් එවනවා. ඔබ සිදු කරන්නේ, ඔබ සේවා සපයන ආයතනයේ වෙබ් අඩවියට (උදාහරණයක් ලෙස amazon.com හෝ freelancer.com) ගොස් එම payoneer (හෝ එවැනි වෙනත් එකක්) විසින් ලබා දුන් ගිනුම් අංකය ඇතුලු කිරීමයි. එවිට, ඔබට හිමි මුදල් එම ගිනුමට එවන ලෙස උපදෙස් දිය හැකිය. එම මුදල් පැය කිහිපයක් ඇතුලත අදාල ගිනුමට යාවි. ඉන්පසු ඔබට එවා තිබෙන ඩෙබිට් කාඩ් එක තමන් අවට ඇති ATM මැෂිමට ඇතුලු කර සල්ලි ලබා ගත හැකිය. මෙහිදී අය කරන ගාස්තු ඉතා අඩුය. දැන් ඩෙබිට් කාඩ් එක භාවිතා කර තිබෙන්නේ ඔබේ අතට මුදල් ගැනීම සඳහාය. අවශ්‍ය නම්, එම ඩෙබිට් කාඩ් එකෙන් ඔබට මුදල් වියදම් කිරීමටද හැකියි සාමාන්‍ය පරිදි.

පේපැල් ක්‍රමයෙන්ද මුදල් යැවීමට (වියදම් කිරීමට) හා ලබා ගැනීමට හැකිය. එහෙත් ලංකාවට තවම මුදල් ලබා ගැනීමේ පහසුකම නැත. බොහෝවිට ලබන වසර තුල එම පහසුකමත් ලැබේවි. පේපැල් එම පහසුකම ලංකාවට නොදෙන්නේ පලිගැනීමක් ලෙසයි. ඊට හේතුව රාජපක්ක ආණ්ඩු කාලයේ පේපැල් විසින්ම එම පහසුකම සලසා දීමට ලංකා රජයෙන් ඉල්ලීම් කර තිබුණත් අපේ එවුන් පයිසෙකට එය මායිම් කර නැත. දැන් අලුත් ලංකා ආණ්ඩුවෙන් දෙතුන් සැරයක්ම ඔවුන්ට ආරධනා කළත් ඔවුන් එය ගණන් නොගෙන සිටී.

පේපැල් රිසීව් (මුදල් ලබා ගැනීම) පහසුකම ලබා දුන් විට සිදු වන්නේ මෙයයි. ලංකාවේ ඔබේ පෞද්ගලික බැංකු ගිනුම ඔබ විසින් පේපැල් හා සම්බන්ද කරනවා. එවිට, ඔබ වෙනුවෙන් පේපැල් වෙතට ලැබෙන මුදල් ඔබට කැමති වෙලාවට කැමති පරිදි අර බැංකු ගිනුමට කෙලින්ම යවනවා (direct debit). එනිසා වියදම ඉතා අඩුය.
 

*** මෙම ලිපිය මට එවූ ගැටලුවකට පිලිතුරක් ලෙස සැකසූවකි ***

2017 නොවැම්බර් 27 වන අද දින මා වසර ගණනාවකට පසුව මගේ පරණ payoneer එකවුන්ට් එකට ලොග් විය. අද වන විට එය ඉස්සරටත් වඩා තවත් ඉදිරියට ගොස් ඇති බව පෙනේ. දැන් ඊට පෙයොනියර් එකවුන්ට් එකේ සිට කෙලින්ම (පේපැල්වල සේ) ලංකාවේ ඇති ඔබේ බැංකු ගිනුමට මුදල් එවිය හැකි බව පෙනේ.