Skip to main content

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 110

ස්මෝල් ලූප් ඇන්ටනාව පහත ආකාරයටද සෑදිය හැකියි. මෙහිදී ලූප් එකේ එක් තැනකදී පමණක් හිඩැසක් තබා එතැන ටියුනිං කැපෑසිටරයක් සවි කරනවා. මෙවිට එම ලූප් එකට ෆීඩ්ලයින් එක කෙලින්ම සම්බන්ද වන්නේ නැත. ඒ වෙනුවට කරන්නේ ලූප් එක තුල ඊට වඩා කුඩා තවත් ලූප් එකක් (coupling loop) තැබීමයි. එම කප්ලිං ලූප් එකට තමයි ෆීඩ්ලයින් එක සම්බන්ද කරන්නේ. දැන් එම කප්ලිං ලූප් එකට ලැබෙන සංඥාවට අනුරූපව චුම්භක ක්ෂේත්‍රයක් හට ගන්නා අතර, එම චුම්භක ක්ෂේත්‍රය ඇන්ටනා ලූප් එකේ විදුලියක් ප්‍රේරණය කරනවා. අන්න ඒ විදියටයි ඇන්ටනා ලූප් එකට විදුලියක් ලැබෙන්නේ. ඒ කතා කළේ ට්‍රාන්ස්මිටිං ඇන්ටනාවක් විදියට එය ක්‍රියා කරන අයුරුයි. රිසීවිං ඇන්ටනාවකදී එයම අනෙක් පැත්තට සිදු වේ. එනම් ආදායනය කරන රේඩියෝ තරංග නිසා ඇන්ටනා ලූප් එකේ ප්‍රේරණය වන විදුලිය විසින් කප්ලිං ලූප් එකේ විදුලියක් ප්‍රේරණය කරනවා. එම විදුලිය ෆීඩ්ලයින් එක ඔස්සේ රිසීවරයට ලැබේ.


ඉහත විස්තර කළ ඇන්ටනා ක්‍රියාකාරිත්වය පහත පරිපථය මඟින් ආදර්ශනය (model) කළ හැකිය. එහි කොයිලය/ප්‍රේරකය ලෙස දක්වා තිබෙන්නේ ඇන්ටනා ලූප් එකයි (එය තනි පොටේ කොයිලයක් ලෙස සලකා). සන්නායකයේ ප්‍රතිරෝධය තමයි සුපුරුදු ලෙසම ලොස් රෙසිස්ටන්ස් එක ලෙස දක්වන්නේ. එම අගය පහත සූත්‍රයෙන් දළ වශයෙන් දැක්විය හැකිය. සංඛ්‍යාතය මෙගාහර්ට්ස්වලින්ද, ලූප් එකේ සන්නායක දිග අඩිවලින්ද, සන්නායකයේ විශ්කම්භය අඟල්වලින්ද එම සූත්‍රය තුල ලිවිය යුතුය. මේ සූත්‍රයෙන් පෙනෙනවා ඇන්ටනාවේ හායනය සංඛ්‍යාතය වැඩි වන විට වැඩි වන බවත්, ඇන්ටනා ලූප් එකේ දිග වැඩි වන විට වැඩි වන බවත්, ලූප් එක සාදන්නට ගන්නා සන්නායකයේ විශ්කම්භය වැඩි වන විට අඩු වන බවත්. මෙම ලොස් රෙසිස්ටන්ස් වැඩි වන විට ඇන්ටනාවේ රත්වීමද වැඩි වේ (එය ඕනෑම ඇන්ටනාවකට පොදුය).


මෙවිට යම් නිශ්චිත සංඛ්‍යාතයකට පමණක් ලූප් එක අනුනාද වේ. එම සංඛ්‍යාතය සහිත සංඥා අනෙක් කොයිලයට ප්‍රේරණය වේ. ලූප් එක විශාල/දිග වන විට විකිරණය වීමට තිබෙන ඉඩ ප්‍රමාණය වැඩි වන නිසා ඇන්ටනාවේ කාර්යක්ෂමතාව ඉන් වැඩි වේ (ඉහත සූත්‍රයෙන් පෙන්වා දුන් පරිදි හායනයද ඒ සමඟම වැඩි වුවත්, ඊට වැඩි වේගයකින් රේඩියේෂන් රෙසිස්ටන්ස් අගය වැඩි වේ). කාර්යක්ෂමතාව වැඩි වෙනවා යනු ලූප් එකේ රේඩියේෂන් රෙසිස්ටන්ස් අගය වැඩි වෙනවා යන්නයි. එම අගය පහත සූත්‍රය අනුව දළ වශයෙන් සෙවිය හැකියි. මෙහිද සංඛ්‍යාතය මෙගාහර්ට්ස්වලින්ද ලූප් එකේ ක්ෂේත්‍රපලය වර්ගඅඩිවලින්ද තැබිය යුතුය.



ඉහත රේඩියේෂන් රෙසිස්ටන්ස් අගය ලැබුණේ වෘත්තාකාර ලූප් එකක් සඳහාය. එම ලූප් දිගම භාවිතා කරමින්, චතුරස්‍රාකාරව එය සකස් කළේ නම්, ඉහත සූත්‍රයෙන් ලැබෙන අගය 1.621 න් බෙදූ විට ලැබෙන්නේ චතුරස්‍රාකාර ලූප් එකක රේඩියේෂන් රෙසිස්ටන්ස් අගයයි.

ලූප් දිග වැඩි කළ හැකි තවත් ක්‍රමයක් නම්, ඇන්ටනාවේ ක්ෂේත්‍රපලය වැඩි නොකර වට ගණන වැඩි කිරීමයි (එනම් තනි ලූප් එකක් වෙනුවට අර කොයිල් ඔතන ආකාරයට වට කිහිපයක් ඇති පරිදි ලූප් එක සකස් කිරීම). මෙවිට එක් එක් වටයේ කිසිම කොටසක් අනෙක් වටයකට ස්පර්ශ නොවන පරිදි තැබිය යුතුය. එක් එක් වටයන් අතර පවත්වාගෙන යන පරතරය අනුවද ඇන්ටනාවේ ගතිගුණ වෙනස් විය හැකිය. දළ වශයෙන් ඇන්ටනා කූරේ විශ්කම්භය මෙන් දෙතුන් ගුණයක පරතරයක් යෝජනා කෙරේ.


වට ගණන වැඩි කරන විට, ක්‍රමයෙන් ඇන්ටනාවේ ක්‍රියාකාරි සංඛ්‍යාතයද ඉහල යයි. එහෙත් මෙය ඇන්ටනාවේ කාර්යක්ෂමතාව වැඩි නොකරයි (ඇන්ටනාවේ කාර්යක්ෂමතාව ලූප් එකේ ක්ෂේත්‍රපලය මත යැපෙන නිසා); ඇන්ටනාවේ ප්‍රේරණතාව නම් වැඩි කරයි (එවිට ඇන්ටනාවේ අනුනාද සංඛ්‍යාතය වෙනස් වේ). ඉලෙක්ට්‍රොනික්ස් පරිපථවල ඇති කොයිල්වලින් විකිරණය එතරම් සිදු නොවන්නේද මේ හේතුව නිසාමය (එනම්, කොයිලයේ කම්බියේ දිග විශාල වුවත් එහි (රවුමේ) ක්ෂේත්‍රපලය කුඩා නිසාය). මෙම ඇන්ටනාවේ ප්‍රේරණතාව පහත සූත්‍රයෙන් දළ වශයෙන් සෙවිය හැකියි. වට කිහිපයක් (N) ඇති විට, ඉහත සූත්‍රයකින් ලබා ගත් ලොස් රෙසිස්ටන්ස් අගයද වට ගණනින් (N වලින්) ගුණ කළ යුතුය.


සමහර අධ්‍යනවලදී ඉහත සූත්‍රයෙන් වඩා නිවැරදි අගයක් නොලැබෙන බව දක්වනවා. එනිසා ප්‍රේරණය සෙවීමට පහත සූත්‍රයත් ඔවුන් දක්වනවා.


ඉහත සූත්‍ර දෙකම ගැලපෙන්නේ වෘත්තාකාර ස්මෝල් ලූප් සඳහාය. චතුරස්‍රාකාර ලූප් සඳහා පහත සූත්‍රය භාවිතා කළ හැකියි.


එහෙත් සමහර අත්හදා බැලීම්වලදී පෙනී ගොස් තිබෙනවා මෙලෙස ඇන්ටනාවේ වට ගණන වැඩි කිරීමෙන් ඇත්තටම කාර්යක්ෂමතාව ඉහල යන බව. වට දෙකක් ඇති විට කාර්යක්ෂමතාවද දළ වශයෙන් දෙගුණයක් වේ (වට අතර පරතරය අනුව දෙගුණට වඩා අඩු විය හැකිය). එහෙත් ඊට වඩා වට ගණන ක්‍රමයෙන් වැඩි කර ගෙන යන විට කාර්යක්ෂමතාව වැඩි වන්නේ සෙමින්ය. එනිසා උපරිම වට දෙකක් හෝ තුනක් සෑහේ.

ඇන්ටනාවට සවි කරන කැපෑසිටරයේ ධාරිතාව පහත සූත්‍රයෙන් සෙවිය හැකියි. ඇත්තටම මෙය තමයි අනිවාර්යෙන්ම දැනගත යුතු අගයන් දෙකෙන් එකක් වන්නේ මොකද මෙම අගයන්ට නොඅඩු කැපෑසිටරයක් යෙදිය යුතු වෙනවා. එම අගය සෙවීමේ ක්‍රමය සරලයි. එනම්, ඉහත ආකාරයට ඇන්ටනාවේ ලූප් එක නිසා ඉන්ඩක්ටන්ස් අගයක් ලැබෙනවානෙ; ඊට අනුව ප්‍රේරණ ප්‍රතිබාදයක් පවතිනවානෙ. අන්න එම ප්‍රේරක ප්‍රතිබාදය උදාසීන කළ හැකි ධාරිත්‍රක ප්‍රතිබාද අගයක් සහිත කැපෑසිටරයක් තිබිය යුතුය. එනිසා, පළමුවෙන්ම ඉහත ඉන්ඩක්ටන්ස් අගය නිසා ඇතිවන ප්‍රේරණ ප්‍රතිබාධ අගය XL = 2πfL යන සූත්‍රයට අනුව සෙවිය යුතුය (සංඛ්‍යාතය හර්ට්ස්වලින්ද ප්‍රේරණතාව හෙන්රිවලින්ද තබන්න). ඉන්පසුව කැපෑසිටරයේ ප්‍රතිබාධ අගය මීට සමාන විය යුතුය. එවිට පහත ආකාරයට අවසාන සූත්‍රය සැකසේ.


මීට අමතරව, ඇන්ටනා ලූප් එකේ පැතිරුණු ධාරිතාවක් (distributed capacitance) ඇති අතර, එම ධාරිතා අගය ඇන්ටනා ලූප් එකේ දිග වැඩි වන විට වැඩි වේ. එම අගය C (pF) = 0.82S යන සරල සූත්‍රයෙන් දළ වශයෙන් සෙවිය හැකිය (S යනු ලූප් එකේ දිග අඩිවලින් වන අතර, ධාරිතා අගය ඉහත සූත්‍රයෙන් ලැබෙන්නේ පිකෝෆැරඩ්වලිනි). ඇත්තටම මෙම පැතිරුණු ධාරිතාවත් ටියුනිං කැපෑසිටරයේ ධාරිතා අගයට එකතු වේ.

කෙසේ වෙතත්, සාමාන්‍ය ඩයිපෝල් ඇන්ටනාවක් සාමාන්‍යයෙන් පොඩ්ඩක් හෝ ප්‍රතිබාදකයක් දක්වන විට එය ධාරිත්‍රක ප්‍රතිබාදකයක් වුවත්, ස්මෝල් ලූප් ඇන්ටනාවක ඇත්තේ ප්‍රේරක ප්‍රතිබාදක අගයකි. ස්මෝල් ලූප් ඇන්ටනාවද නිශ්චිත සංඛ්‍යාතයකට අනුනාදි වන ලෙස සාදන නිසා, ඇන්ටනාවේ ස්වභාවයෙන්ම තිබෙන එම ප්‍රේරක ප්‍රතිබාදකය කැපෑසිටරයක් සවි කර උදාසීන කරනවා.

කැපෑසිටරයේ ධාරිතාව ඉහත ආකාරයට සොයා ගත්තත්, එම ධාරිත්‍රකයේ වෝල්ටියතාවද සොයා ගත යුතුය. සාමාන්‍යයෙන් අධිවෝල්ටියතා අගයක් ලැබේ. අනිවාර්යෙන්ම දැනගත යුතු දෙවැනි අගය මෙයයි. එම අගය සොයන අයුරු පහත සූත්‍රයේ ඇත. මීට පෙර සොයා ගත් ලොස් රෙසිස්ටන්ස් අගය, රේඩියේෂන් රෙසිස්ටන්ස් අගය, ප්‍රේරක ප්‍රතිබාද අගය, හා වොට් ගණන අවශ්‍ය වෙනවා මෙම අගය සෙවීමට.


තවද, ඇන්ටනාවේ වට ගණන වැඩි කරන විට ටියුනිං කැපෑසිටරයේ ධාරිතාවද අඩු කළ හැකිය (ඊට හේතුව වට ගණන වැඩි කරන විට ප්‍රේරණතාව වැඩි වීම නිසා ප්‍රේරණ ප්‍රතිබාදයද වැඩි වන අතර, එවිට ධාරිත්‍රක ප්‍රතිබාදයද ඊට සමාන විය යුතු නිසා, ධාරිතා අගය ඉහත සූත්‍රය අනුව පහල යා යුතුයි). වට ගණන වැඩි වන විට කැපෑසිටරය දෙපස පවතින උපරිම වෝල්ටියතා අගයද අඩු වේ. එහෙත් Q අගය වැඩි වන අතර, එනිසා කැපෑසිටරයට දැනෙන ධාරාව වැඩි වේ.

පහත දැක්වෙන්නේ ලූප් ඇන්ටනාවකි. එය හොඳින් බැලූ විට එතැන කැපෑසිටරය ඔබට අවබෝධ කර ගත හැකියි. මෙහි රතු පාට විශාල ෂීට් එකක් ලෙස පෙනෙන්නේ කැපෑසිටරයකි. බලන්න ලූප් එකේ පහල එකිනෙකට කනෙක්ට් වී නැත; එනම් “හිඩැසක්” එතැන ඇත. එම හිඩැසට ටියුනිං කැප් එක සම්බන්ද කර ඇත (හරියට පේපර් ක්ලිප් එකක් මෙන්). ඕනෑම සන්නායක තැටි දෙකක් මැද හිඩැසක් (හෝ පරිවාරයක ස්ථරයක්) ඇති විට එතැන ඉබේම කැපෑසිටරයක් සෑදේ. පහත රූපයේ රතුපාට කොටස එවැන්නකි. එහි ලෝහ තැටි දෙකක් තිබෙන අතර, ඒ අතර හිඩැසක් ඇත. එම කැපෑසිටරයේ තැටි දෙක (ඒවා අග්‍ර දෙක වේ) සම්බන්ද වී තිබෙන්නේ ලූප් එකේ කොන් දෙකටයි. එනිසා මෙම ඇන්ටනා සැකැස්ම ඉතා අපූරුය.


එවැනි කැපෑසිටරයක ධාරිතාව සොයන සූත්‍රය වන්නේ C (Farad) = kA/d වේ (k යනු සන්නායක තැටි දෙක අතර පරිවාරකයේ/රික්තකයේ පාරවේද්‍යතා අගයද, A යනු එක් තැටියක ක්ෂේත්‍රපලය වර්ගමීටර්වලින්ද, d යනු මැද පරිවාරක කොටසේ ඝනකම මීටර්වලින්ද වේ). සාමාන්‍යයෙන් මෙවැනි විශාල ධාරිත්‍රකවල මැද අමතර පරිවාරක කොටසක් නොදා වාතය (රික්තකය) තමයි පරිවාරකය ලෙස ක්‍රියා කරන්නේ. එවිට තැටි දෙක අතර පරතරය තරමක් විශාලව තැබේ (හේතුව මොහොතකින් පැහැදිලි වේ). එමඟින් ධාරිතාව අඩු වේ. එම අඩුවන ධාරිතාව ඉහල නැංවීමට තහඩු ක්ෂේත්‍රපලය විශාල කිරීමට සිදු වේ.

මෙවන් කැපෑසිටරයක් ඔරොත්තු දෙන (සපෝට් කරන) උපරිම වෝල්ටියතාව තීරණය වන්නේ තැටි දෙක අතරමැද පරිවාරක කොටසේ බ්‍රේක්ඩවුන් වෝල්ටියතාව අනුවයි. උදාහරණයක් ලෙස, වාතයේ බ්‍රේක්ඩවුන් වෝල්ටියතාව මීටරයට වෝල්ට් 3,000,000 කි. එවිට, කැපෑසිටරය තුල පරිවාරක කොටස මිලිමීටර් 2ක් ඝනකමක් සහිත නම්, එවිට, වෝල්ට් 3,000,000 x 0.002 = 6000 ක් දක්වා උපරිමයකට ඔරොත්තු දෙයි. ඒ කියන්නේ මිලිමීටර් 2ක පරතරයක් සහිතව එම කැපෑසිටරය සෑදුවොත් කැපෑසිටරය දෙපස වෝල්ට් 6000ක් පමණ හෝ ඊට වැඩියෙන් පැවතියොත් කැපෑසිටරය පිලිස්සී යනවා (arc වෙනවා). එනිසා කැපෑසිටරය දෙපස පැවතිය හැකි උපරිම වෝල්ටියතාව අනුව එම පරතරය තීරණය කිරීමට සිදු වේ. එය සාමාන්‍යයෙන් ලොකු පරතරයකි.

මෙවන් ඇන්ටනා සඳහා යොදන කැපෑසිටර්වල ධාරිතාව ඉතා කුඩා වන අතර, ඔරොත්තු දිය යුතු වෝල්ටියතාව ඉතා විශාලය. එනිසා ඉහත ආකාරයට පහසුවෙන්ම එවන් ධාරිත්‍රකයක් සෑදිය හැකිය. තවද, බොහෝවිට අධික ධාරාවක් කැපෑසිටරයට “දැනෙන” බැවින්, ඊට ඔරොත්තු දිය හැකි ලෙස සන්නායක තැටිද වැඩි ඝනකමකින් තැබිය යුතුය (එවිට කැපෑසිටරයේ අනවශ්‍ය ප්‍රතිරෝධය අඩු වේ). නැතිනම් සිදු වන්නේ එම අධික ධාරාව නිසා ධාරිත්‍රකයේ ප්‍රතිරෝධි අගය මත අධික තාපයක් ඇති වීමයි. ඉහත සියලුම හේතු නිසා ප්‍රායෝගිකව මෙවන් ධාරිත්‍රක විශාලව සෑදීමට සිදු වේ. ඉහත රූපයේ විචලනය කළ නොහැකි කැපෑසිටරයක් තිබෙන අතර, පහත දැක්වෙන්නේ විචලනය කළ හැකි ධාරිත්‍රකයකි.


මෙම ඇන්ටනාවල ඉතා ඉහල Q අගයක් ඇත. ඒ කියන්නේ බෑන්ඩ්විත් එක ඉතා කුඩාය කියන එකනෙ. කිවු අගය වැඩි නිසා තමයි ඉහත ඡේදකයකදී මා සඳහන් කර තිබෙන්නේ ධාරිත්‍රකයට “දැනෙන” ධාරා ප්‍රමාණය ඉතා අධික බව (සාමාන්‍ය ධාරාව කිවු අගයෙන් වැඩි වේ). කිවු අගය වැඩි නිසා මේවා නැරෝබෑන්ඩ් ඇන්ටනා වේ. තවද, ඉහල සංඛ්‍යාතයන් සඳහා උචිත නොවේ. ඇත්තටම මැග්නෙටික් ලූප් යන නම වඩා උචිත වන්නේ ස්මෝල් ලූප් ඇන්ටනා සඳහාය.

කප්ලිං ලූප් එකේ පරිමාණයන් ගැන දැන් බලමු. එය ඇන්ටනා ලූප් එකට වඩා බෙහෙවින් කුඩාය. එම ලූප් එකේ මුලු දිග සොයන හැටි බලමු. පලමුවෙන්ම පහත පළමු සූත්‍රයෙන් කප්ලිං ලූප් එකේ ක්ෂේත්‍රපලය සොයා ගත යුතුය. ලූප් එකේ දිග එවිට පහසුවෙන්ම සෙවිය හැකියි පහත දෙවැනි සූත්‍රයෙන්. මෙම කප්ලිං ලූප් එකේ වර්ගපලය වෙනස් කරන විට, ඇන්ටනාවේ SWR අගයද වෙනස් වේ. එනිසා අවම SWR අගයක් ලබා ගැනීම සඳහා කප්ලිං ලූප් එකේ වර්ගපලය වෙනස් කළ හැකි අයුරුන් සෑදීම වැදගත්ය.


කප්ලිං ලූප් එක තැබිය හැකි හොඳම ස්ථානය වන්නේ කැපෑසිටරය තිබෙන තැනට විරුද්ධ පැත්තේය. ඇන්ටනා ලූප් එකට ඇතුලතින් එය සවි කරන්න. ඊට හේතුව එම ස්ථානයේ තමයි ධාරාවට සාපේක්ෂව වෝල්ටියතාව අවම ස්ථානය. චුම්භක ක්ෂේත්‍ර හරහා ලූප් දෙක අතර ප්‍රේරණය සිදු වන නිසා එම ලක්ෂණය ඉතාම වැදගත්ය.

විභවය ධාරාවෙන් බෙදන විට ලැබෙන අනුපාතය ප්‍රතිරෝධය/ප්‍රතිබාදකය/සම්බාදකය ලෙස හැඳින් වෙනවානෙ (ඕම් නියමය, V=IR). එවැනිම සම්බන්දතාවක් ලබා ගත හැකියි විදුලි ක්ෂේත්‍රය හා චුම්භක ක්ෂේත්‍රය සඳහාත්. විදුලි ක්ෂේත්‍රයක් ඇති වන්නේ විභවයක් නිසා වන අතර, චුම්භක ක්ෂේත්‍රයක් ඇති වන්නේ ධාරාවක් නිසාය. එනිසා යම් විදුලි පරිපථයකින් පිටවන විදුලි ක්ෂේතයක් එහිම චුම්භක ක්ෂේත්‍රයෙන් බෙදූ විට ලැබෙන අනුපාතය ක්ෂේත්‍ර සම්බාදකය (field impedance) ලෙස හඳුන්වමු. ඒ අනුව උදාහරණයක් ලෙස, යම් තැනක ෆීල්ඩ් ඉම්පීඩන්ස් අගය වැඩියි යනු එතැන ඇති චුම්භක ක්ෂේත්‍රයේ ප්‍රබලතාවට වඩා විදුලි ක්ෂේත්‍ර ප්‍රබලතාව වැඩියි යන්නයි. ඇන්ටනාවක් අවටත් විදුලි හා චුම්භක ක්ෂේත්‍ර තිබෙන නිසාත්, එවායේ ප්‍රබලතාවන් ඇන්ටනාවේ සිට ඇති දුර හා ස්ථානය අනුව ස්වාධීනව වෙනස් වන නිසාත්, මෙම ක්ෂේත්‍ර සම්බාදක අගය ඒ ඒ තැන්වල වෙනස් බව පැහැදිලියිනෙ. මෙම වෙනස්කම් තිබෙන්නේ නියර්ෆීල්ඩ් එකේය; ෆාර්ෆිල්ඩ් එකේ එවැනි විචලනයක් නැත.

ලූප් ඇන්ටනාවක මෙම ෆීල්ඩ් ඉම්පීඩන්ස් අගය විචලනය වන අයුරු සරල ඩයිපෝලයක එය විචලනය අයුරු සමඟ සසඳා බැලීමක් පහත ප්‍රස්ථාරයේ ඇත. මෙහිදී තරංග ආයාමය මීටර් 100ක තරංග භාවිතා වේ. බලන්න මෙහි මීටර් 100 ට පසුව ප්‍රස්ථාර වක්‍ර දෙක සමපාත වේ. මීටර් 100 යනු එක තරංග ආයාමයක දුරකි. ඒ කියන්නේ ඇන්ටනාවෙ සිට තරංග ආයාම 1ක දුරකදී ලූප් ඇන්ටනාවේ හා සාමාන්‍ය ඩයිපෝල් ඇන්ටනාවේ ෆීල්ඩ් සම්බාදක අගයන් සමාන වේ (ඒ කියන්නේ රේඩියෝ සංඥා පමණක් එතැන් සිට පවතින බවයි; දළ වශයෙන් එය ෆාර්ෆීල්ඩ් එකේ ඇරඹුමයි). එහෙත් දළ වශයෙන් තරංග ආයාමයෙන් 1/10ක් පමණ තෙක් දුරක් (මීටර් 10ක් පමණ) දක්වා ලූප් ඇන්ටනාවේ ෆීල්ඩ් ඉම්පීඩන්ස් අගය අඩුය. ඒ කියන්නේ ප්‍රබල චුම්භක ක්ෂේත්‍රයක් තිබෙන බවයි.


ලූප් එකට ඉතාම ආසන්නයේදී ෆීල්ඩ් ඉම්පීඩන්ස් අගය ඉතා අඩු නිසා (එනම් චුම්බක ක්ෂේත්‍රය විදුලි ක්ෂේත්‍රයට වඩා ප්‍රබල නිසා), මෙම ඇන්ටනාවට ඉතා ආසන්නයේ යම් සන්නායකයක් තැබුවොත් ඒ මත චුම්භක ප්‍රේරණයක් ඇති වන බව දැන් පැහැදිලියි. එනිසයි මෙවැනි ඇන්ටනාවක් මැග්නටික් ඇන්ටනා ලෙස හඳුන්වන්නෙත්.

එහෙත් ඉහත ප්‍රස්ථාරයෙන් තවත් දෙයක් පැහැදිලි වෙනවා. එනම්, තරංග ආයාමයෙන් 1/10 පංගුවක සිට තරංග ආයාම 1ක් දක්වා දුර පරාසය තුලදී ලූප් ඇන්ටනාවේ විද්‍යුත් ක්ෂේත්‍රය සාමාන්‍ය ඩයිපෝල් ඇන්ටනාවකටත් වඩා ප්‍රබල බවයි. බොහෝ දෙනා මෙම වැදගත් කාරණය හසුකර ගන්නේ නැත.

සමහරුන් තර්ක කරනවා ලූප් ඇන්ටනාව ඒ අවට ඇති විදුලි උපකරණවලින් ඇති කරන ඝෝෂාවන්ට ඉතා හොඳින් ඔරොත්තු දෙනවා (එනම් එම ඝෝෂාවන් ඇන්ටනාව තුලට වද්ද ගන්නේ නැහැ) කියා. එය එක්තරා දුරකට පමණක් සත්‍ය තර්කයකි. එම තර්කය සත්‍ය වන්නේ ඉහත තර්කය (එනම් ෆීල්ඩ් ඉම්පීඩන්ස් අගය ඇන්ටනාව අවට අඩු වීම) යන තර්කය වැරදියට තේරුම් ගැනීම නිසාය. සාමාන්‍යයෙන් අප භාවිතා කරන සෑම විදුලි/ඉලෙක්ට්‍රොනික් උපකරණයකින්ම ඉන් පිටතට ඝෝෂාවක් ඇති කළ හැකි අතර, එම ඝෝෂාව ප්‍රබල විදුලි ක්ෂේත්‍රයක් ලෙස පවතින බව ඔවුන් කියනවා. එහෙත් ඇන්ටනාව විදුලි ක්ෂේත්‍රයට නොව චුම්භක ක්ෂේත්‍රයටයි සංවේදී වන්නේ. එවිට අර ඝෝෂා ඇන්ටනාව තුලට කාවදින්නේ නැත.

එහෙත් එය එලෙස තර්ක කිරීම සත්‍ය වන්නේ එම උපාංග ඇන්ටනාවේ සිට තරංග ආයාම 1/10ක් තුල තිබුණොත් පමණි (මොකද එම ප්‍රදේශය තුලනෙ චුම්භක ක්ෂේත්‍රය ප්‍රබල වන්නේ). එම ප්‍රදේශයෙන් පිටතදී ඉතා හොඳින් විද්‍යුත් ක්ෂේත්‍රවලට ලූප් ඇන්ටනාව සංවේදී වේ (ඒ කියන්නේ හොඳින් ඝෝෂාව ඇන්ටනාව තුලට කාවදියි). කෙසේ වෙතත් දිගු තරංග ආයාම සහිත අවස්ථාවලදී මෙම ඇන්ටනාව අවට ඇති විදුලි ඝෝෂාවලට හොඳින් ඔරොත්තු දේවි.

ස්මෝල් ලූප් එකේ රේඩියේෂන් පැටර්න් එක ලාජ් ලූප් එකට වඩා වෙනස්ය. පහත දැක්වෙන රේඩියේෂන් පැටර්න් අනුව පෙනෙනවා ලූප් එකට සාපේක්ෂව තිරස් (එලිවේෂන්) හා සිරස් (ඇසිමත්) විකිරණ පැටර්න් පවතින ආකාරය.


මෙහි අපූරු ලක්ෂණයක් තිබෙනවා. එනම් බ්‍රෝඩ්සයිඩ් එකේදී (එනම් ලූප් එකේ z ලෙස දක්වන දිශාව හා ඊට ප්‍රතිවිරුද්ධ දිශාව) විකිරණයක් සිදු නොවේ (null ලෙස හැඳින්වෙන එම ස්ථාන දෙකෙහි ඇන්ටනාවේ සංවේදිතාවක් නැත). ලාජ් ලූප් එකේදී එම පැති දෙකෙහි තමයි උපරිම විකිරණයක් සිදු වූයේ. සංඥා ආදායනය කරන විට, ඒ කියන්නේ එම පැතිවලින් සංඥා ඇන්ටනාව විසින් භාර ගන්නේ නැත.


මෙම ලක්ෂණය උපයෝගි කර ගන්නවා යම් යම් මඟ නොහැරිය හැකි රේඩියෝ අවහිරතාවන්ගෙන් බේරීමට. මෙවිට ඇන්ටනාවේ නල් පැත්තක් අර රේඩියෝ සංඥා ඝෝෂාව එන පැත්තට සිටින සේ පිහිටුවනවා. ඒ සංඥා එවිට ඇන්ටනාව විසින් රිසීව් කරන්නේ නැත.

තවද, direction finding ඇන්ටනාවක් ලෙසත් මෙය ඉතා කදිමට ගැලපෙනවා. එනම්, රේඩියෝ සංඥා එන පැත්තට මෙම ඇන්ටනාවේ නල් දිශාගත කළ විට කිසිදු සංඥාවක් ග්‍රහනය වෙන්නේ නැත. එහෙත් නල් ප්‍රදේශ දෙකක් තියෙන නිසා දැන් අපට පොඩි ප්‍රශ්නයක් තිබෙනවා ඇත්තටම සංඥාව එන්නේ මොන නල් දිශාවේ සිටද කියා. එයටත් පහසුවෙන්ම විසඳුම් තිබෙනවා (ඒ ගැන සොයා බලන්න).

Comments

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

දෛශික (vectors) - 1

එදිනෙදා ජීවිතයේදිත් විද්‍යාවේදිත් අපට විවිධාකාරයේ අගයන් සමඟ කටයුතු කිරීමට සිදු වෙනවා . ඉන් සමහරක් නිකංම සංඛ්‍යාවකින් ප්‍රකාශ කළ හැකි අගයන්ය . අඹ ගෙඩි 4 ක් , ළමයි 6 දෙනෙක් ආදී ලෙස ඒවා ප්‍රකාශ කළ හැකියි . තවත් සමහර අවස්ථාවලදී නිකංම අගයකින් / සංඛ්‍යාවකින් පමණක් ප්‍රකාශ කළ නොහැකි දේවල් / රාශි (quantity) හමු වේ . මෙවිට “මීටර්” , “ තත්පර” , “ කිලෝග්‍රෑම්” වැනි යම් ඒකකයක් (unit) සමඟ එම අගයන් පැවසිය යුතුය ; නැතිනම් ප්‍රකාශ කරන අදහස නිශ්චිත නොවේ . උදාහරණයක් ලෙස , “ මං 5 කින් එන්නම්” යැයි කී විට , එම 5 යනු තත්පරද , පැයද , දවස්ද , අවුරුදුද ආදි ලෙස නිශ්චිත නොවේ . මේ දෙවර්ගයේම අගයන් අදිශ (scalar) ලෙස හැඳින්වේ . අදිශයක් හෙවත් අදිශ රාශියක් යනු විශාලත්වයක් පමණක් ඇති දිශාවක් නැති අගයන්ය . ඔබේ වයස කියන විට , “ උතුරට 24 යි , නැගෙනහිරට 16 යි” කියා කියන්නේ නැහැනෙ මොකද දිශාව යන සාධකය / කාරණය වයස නමැති රාශියට වැදගත්කමක් නැත . එහෙත් සමහර අවස්ථා තිබෙනවා අගයක් / විශාලත්වයක් (magnitude) මෙන්ම දිශාවක්ද (direction) පැවසීමට සිදු වන . මෙවැනි රාශි දෛශික (vector) ලෙස හැඳින්වේ . උදාහරණයක් ලෙස , ඔබ යම් “බලයක්...