Skip to main content

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලි සේවය (Amateur radio) 16

ප්‍රකාශ තන්තු සන්නිවේදනය (Fiber Optics)

මෙලෙස රේඩියෝ තරංග සමඟ විදුලි සන්දේශ දිගු ගමනක් යද්දී, තවත් පැත්තකින් නැවත කේබල් ඔස්සේ සන්නිවේදනය කිරීමට ප්‍රවණාවක් ඇති විය. එහෙත් මෙවර එම කේබල් වූයේ සාමාන්‍ය තඹ කම්බි නොව, ප්‍රකාශ තන්තු හෙවත් ෆයිබර් ඔප්ටික් (fiber optic) ලෙස හඳුන්වන විශේෂිත වීදුරුවලින් සෑදූ කේබල්ය. එනිසා මෙවැනි කේබල් ෆයිබර් ඔප්ටික් කේබල් හෙවත් optical cable ලෙස හැඳින්විය. මේවා විදුලි සන්නායක නොවන නිසා විදුලි සංඥා ගමන් කළේ නැත. ඒ වෙනුවට ආලෝක සංඥා තමයි ෆයිබර් ඔප්ටික් හරහා ගමන් කළේ. කෙසේ වෙතත් අපට තවමත් මුලින්ම පරිපථවලින් ලැබෙන්නේ යම් විද්‍යුත් සංඥාවකි. එම විදුලි සංඥාව තමයි සුදුසු විද්‍යුත්-ප්‍රකාශ පරිපථයක් මඟින් ඊට අනුරූප ආලෝක සංඥාවක් බවට පත් කරගෙන ඔප්ටිකල් කේබල් හරහා යවන්නේ. එම ආලෝක සංඥාව කේබලය තුලින් ගමන් කර, අනෙක් කෙලවරදී නැවත යම් පරිපථයකින් ආලෝක සංඥාව විදුලි සංඥාවක් බවට පත් කෙරේ. ඒ කියන්නේ ආලෝක වශයෙන් සංඥාව පවතින්නේ සංඥා සම්ප්‍රේෂනය වන අවස්ථාව සඳහා පමණි. ෆයිබර් ඔප්ටික් යොදා ගැනීම සන්නිවේදනයේ තවත් පෙරලියකි.

ෆයිබර් තන්තු හරහා හැමවිටම ගමන් කරන්නේ ඩිජිටල් සංඥාය (ඩිජිටල් ගැන විස්තර පසු පාඩමක ඇත). විදුලිය හෝ ආලෝකය මඟින් පහසුවෙන්ම ඩිජිටල් සංඥා නිරූපණය කළ හැකියි. ආලෝකය ඔන් කිරීම හා ඕෆ් කිරීම පමණයි කිරීමට තිබෙන්නේ (ආලෝකය මයික්‍රොතත්පරයක් හෝ ඊටත් කුඩා යම් නිශ්චිත කාලයක් තුල ඔන් කළ විට, ඉන් ඩිජිටල් 1 යන සංඥාවත්, එවැනිම කාලයක් තුල ආලෝකය ඕෆ් කර තබන විට ඉන් ඩිජිටල් 0 යන සංඥාවත් නිරූපණය වේ). ඒ කියන්නේ ලැබෙන ඩිජිටල් විද්‍යුත් සංඥාව ලේසර් ඩයෝඩයට සම්බන්ද කළ විට, එම විදුලි සංඥාවට අනුරූපව ලේසර් ඩයෝඩය වේගයෙන් ඔන් ඕෆ් වේ. එය තමයි තන්තුව හරහා ගමන් කරන ආලෝක සංඥාව වන්නේ.

මෙම කේබලයක ඇතුලින්ම තිබෙන්නේ කෙස් ගසක් වැනි ඉතා සිහින් වීදුරු නලයකි. ඉතිං මෙය ඉතාම පහසුවෙන් කැඩී යන බැවින්, එය වටකර ශක්තිමත් ද්‍රව්‍ය යොදා ඇත (විශේෂයෙන් Kevlar ලෙස හැඳින්වෙන ඉතාම ශක්තිමත් කෙඳි යොදනවා). මේ සියල්ලම වටකර අවසානයේ පීවීසී වැනි ප්ලාස්ටික් ද්‍රව්‍යයක් ඇත.


වීදූරු බටය නිසා, මෙවැනි කේබල් සාමාන්‍ය ලෝහ වයර් මෙන් එකළඟ නැමිය නොහැකියි මොකද එවිට කේබලයේ ඇතුලත වීදුරු “කෙන්ද” කැඩී යනවා. නැමුම් අරය (bend radius) විශාල වන පරිදි නැමූ විට කැඩී යන්නේ නැත. කේබල් ඇදීමේදී නමන්නට සිදුවෙනවානේ. එවන් විටක, නැවිය යුත්තේ පහත රූපයේ ආකාරයට අරය විශාල රවුමක් සේය. එම අරය දළ වශයෙන් කේබලයේ විශ්කම්භය මෙන් 15 ගුණයකට වඩා විශාල විය යුතුය. එලෙස කැඩී නොගියත්, එම නැමීම් නිසා ඒ තුලින් ගමන් කරන ආලෝක සංඥාව සීඝ්‍රයෙන් හීන වී යයි. නැම්ම සිදු කරන අරය විශාල වන තරමට ආලෝකයට සිදුවන හානිය අවම වේ.


සාමාන්‍යයෙන් ඉහත රූපයේ පෙන්වා ඇති ප්‍රකාශ තන්තුවක් ඉතා සිහින්ය. එනිසා එවැනි ප්‍රකාශ තන්තු ගණනාවක් එකතු කර තමයි කේබලයක් සාදන්නේ.



ෆයිබර් ඔප්ටික්වල ඉතිහාසය තරමක් පැරණි වුවත්, එය යොදාගෙන සාර්ථකව සන්නිවේදනය කිරීමට හැකිවූයේ පසුකාලීනවයි. එයට හේතුව ලාභදායක ලෙසත් උසස් කොලිටිය සහිතවත් ෆයිබර් ඔප්ටිකල් කේබල් සෑදීමට හැකිවූයේ පසුකාලයේය. තවද, මෙම කේබල් හරහා ගමන් කරන්නේ සාමාන්‍ය ආලෝකය නොව, ලේසර් ආලෝකයයි. ඉතිං, ලාභදායක ලේසර් නිපදවන්නට (විශේෂයෙන් අර්ධසන්නායක ලේසර්) හැකිවූයෙත් පසුකාලයේය.

සටහන

ලේසර්

ලේසර් (හෝ ලේසර් ආලෝකය) යනු කුමක්ද? ඇත්තටම ලේසර් යනු විශේෂිත ගුණ පවතින ආකාරයට ජනනය කරපු සාමාන්‍ය ආලෝකයමයි. ලේසර් නිපදවන ක්‍රම ගණනාවක් ඇතත් (රූබි මැනික්වලින්, අර්ධසන්නායකවලින්, කාබන් ඩයොක්සයිඩ් වැනි වායු වලින්, විශේෂිත ද්‍රවවලින් ආදී ලෙස), මේ සෑම ක්‍රමයකම පාහේ පදනම Stimulated Emission of Radiation ලෙස “බර නමකින්” හැඳින්වෙන භෞතික මූලධර්මයකි. මෙම ක්‍රමයේදී යම් විකිරණයක් (ආලෝකයක්) නිපදවා, එම විකිරණය මඟින්ම තව තවත් විකිරණය නිපදවනවා - එනම් විකිරණය “පැටව් ගහනවා”. එමඟින් එකම ගතිගුණ සමූහයක් තිබෙන ආලෝකය කදම්භයක් ඉබේම ලැබෙනවා. ලේසර් ආලෝකයේ විශේෂිත ගුණ පවතිනවා යනුවෙන් පැවසුවේ මෙන්න මෙම ගුණ තමයි. මෙම සම්පූර්ණ ක්‍රියාවලියම Light Amplification by Stimulated Emission of Radiation ලෙස හැඳින්වෙන අතර, එය කෙටිකර LASER යන සුරතල් නම සාදාගෙන ඇත.

ආලෝකය යනු ආලෝකයමයි. එහෙත් ආලෝකයේ යම් යම් ගතිගුණ අපට වැදගත් වෙනවා. ආලෝකයේ වර්ණය හෙවත් තරංග ආයාමය (හෝ සංඛ්‍යාතය) ඉන් ප්‍රධාන ගතිගුණයයි. ආලෝකය නිපදවන ප්‍රභවයේ සිට ආලෝකය පිටතට සම්ප්‍රේෂනය වන හැටි තවත් ගතිගුණයකි (සාමාන්‍ය විදුලි බල්බයක මෙන් ආලෝකය වටේටම විසිරී යනවාද, නැතහොත් එක් නිශ්චිත කෝණයකින් පිටවෙනවාද යන්න ඉන් හැඟවේ). මෙවැනි ගුණ අනුව ආලෝකයෙන් ලබා ගත හැකි ප්‍රයෝජන වෙනස් වේ. ඉතිං ලේසර් ආලෝකය සාමාන්‍ය ආලෝකයෙන් වෙනස් වන්නේ මෙම ගතිගුණවල සිදු වූ වෙනස්කම් නිසා බව දැන් පැහැදිලි විය යුතුය. මොනවාද එම වෙනස්කම්?

1. ලේසර් ආලෝකය හැමවිටම එක් තරංග ආයාමයකින් (සංඛ්‍යාතයකින්) යුතු ආලෝකය (විද්‍යුත් චුම්භක කිරණ) පමණක් නිපදවයි. සාමාන්‍ය වෙනත් ඕනෑම ආලෝක ප්‍රභවයක් ගත් විට, ඉන් පුලුල් තරංග ආයාම පරාසයකින් යුතු ආලෝකයක්/විකිරණයක් තමයි නිපදවන්නේ. උදාහරණයක් වශයෙන් නිවස්වල භාවිතා වන සාමාන්‍ය තාපදීප්ත විදුලි බුබුල සුදු හෝ කහ පැහැයෙන් දිස්වන්නේ ඉන් රතු, කහ, නිල් ආදී වර්ණ සියල්ලම නිපදවන නිසාය (ඊට අමතරව අධෝරක්ත කිරණද ඉන් පිට කෙරේ; එනිසයි එවැනි බල්බයකින් බොහෝ රස්නයක් දැනෙන්නේ). ලේසර්වලින් එක් තරංග ආයාමයක් පමණක් පිටකරන නිසා, ලේසර් විකිරණයට (ආලෝකයට) monochromatic radiation ලෙස කියනවා.

2. ලේසර් ආලෝකය දසත විහිදෙන්නේ නැතිව, හැමවිටම ඉතා සිහින් කදම්භයක් ලෙස (තනි ඉරක් ලෙස) එක් දිශාවකට පමණක් ගමන් කරයි (directivity). මේ නිසා තමයි ලේසර් ආලෝකය ප්‍රබල වන්නේ. ප්‍රබල නිසා කිලෝමීටර් ගණනාවක් දුරට පවා ගමන් කළ හැකි වෙනවා. සාමාන්‍ය බල්බයකින් පිටවන කිරණ හැමවිටම දසත පැතිරෙනවා. එනිසා බල්බයෙන් ඈත් වන්නට වන්නට ආවරණය කරන්නට සිදුවන අවකාශය ඉතා විශාල වෙනවා. එවිට ඉතාම සීඝ්‍රයෙන් ආලෝකය “දියාරු” වී (හීන වී) යනවා. එහෙත් ලේසර් ආලෝකය එසේ නොවේ. ලේසර් ප්‍රභවයෙන් ඈත් වන්නට වන්නට එය තවමත් ගමන් කරන්නේ එකම දිශාවටයි. ඉතිං අර තරම් සීඝ්‍රයෙන් ආලෝකයේ ප්‍රබලතාව හීන නොවී ඉතා විශාල දුරකට ගමන් කිරීමට හැකියාව ලැබේ. මෙන්න මෙම ගති ගුණය තමයි සන්නිවේදනය සඳහා ලේසර් කිරණ යොදා ගැනීමට හේතුවත්.

3. සියලුම විකිරණය තරංග ආකාරයෙන් පවතිනවානේ. ඉතිං යම් ආලෝක ප්‍රභවයකින් එකවර කෝටි ප්‍රකෝටි ගණනක් විකිරණ තරංග නිපදවනවා. මේ තරංග අතර එකිනෙකට ගැලපීමක් හෝ එකමුතු කමක් නැත. එහෙත් ලේසර් ආලෝකයේදී මේවා එකමුතුය. මේ සියලු කිරණ එකට උස් පහත් වේ. මෙම ගුණය coherence ලෙස නම් කෙරෙනවා. මේ නිසා ලේසර් ආලෝකයට යම් “පිරිසිදු” “පිළිවෙලක් සහිත” බවක් ලැබෙනවා. සමහර භාවිතාවන් සඳහා මෙම ගතිගුණයද වැදගත් වේ.

  


ඉතිං ඉහත සඳහන් කළ ප්‍රධාන ගතිගුණ 3 නිසා තමයි ලේසර් ආලෝකය අනෙක් ආලෝකයෙන් වෙනස් වන්නේ; ලේසර්වලට වැඩි හැකියාවක් ප්‍රයෝජනවත් බවක් ලැබී තිබෙන්නේ. ඉතා දුරකට කිරණ යැවීමට (මෙය සන්නිවේදනයට මෙන්ම ඈත වස්තුවකට ඇති දුර මැනීමට යොදා ගත හැකියි); ඇඟලුම් කර්මාන්තවල රෙදි, කම්හල්වල යකඩ ආදී ද්‍රව්‍ය කැපීමට (laser cutting); ද්‍රව්‍ය රත් කිරීමට (ශරීරයේ යම් අභ්‍යන්තර කොටස් රත් කර සමහර ව්‍යාධීන් සුව කරන්නේ, සමෙහි කැලැල් මකන්නේ, ශරීරයේ රෝම ඉවත් කරන්නේ මෙලෙස රත් කිරීමෙනි) ආදී ලෙස ලේසර් යොදා ගන්නා භාවිතාවන් එමට ඇත. පහත දැක්වෙන්නේ එවැනි ලේසර් භාවිතාවන් කිහිපයකි.


නිල්, රතු, කොල ආදී වර්ණවලින් ලේසර් පවතින නිසා ලේසර් ආලෝකය යනුවෙන් හැඳින්වුවද, ආලෝකය නොවන වෙනත් සංඛ්‍යාත පරාසවල විකිරණද ඉන් නිපදවනවා. අධෝරක්ත කිරන, පාරජම්බූල කිරණ ඒ අතර වේ. ඇත්තටම සන්නිවේදනයේදී බහුලවම භාවිතා වන්නේ අධෝරක්ත පරාසයේ පවතින ලේසර් වේ.

සමහර ලේසර් නිපදවන ක්‍රම ඉතාම වියදම් අධික වන අතර, සමහර ක්‍රම ඉතාම ලාභයි. අර්ධසන්නායක (semiconductor) යොදාගෙන ඩයෝඩ, ට්‍රාන්සිස්ටර් වැනි ඉලෙක්ට්‍රොනික් උපාංග සාදනවානෙ. විශේෂිත ආකාරයකින් සෑදූ ඩයෝඩයක්නෙ LED (Light Emitting Diode) කියන්නේ. එය රුපියල් දෙක තුනක් පමන වේ. ඉතිං, මෙම එල්ඊඩී ඩයෝඩයක්ම කුඩා වෙනසකට ලක් කිරීමෙන් ලේසර් ඩයෝඩ සාදනවා. පහසුවෙන්ම රුපියල් සියයකට පමණ මෙවැනි ලේසර් ඩයෝඩ මිලට ගත හැකියි.


ෆයිබර් ඔප්ටික් එකක් පෑන් බටයක් වගේ මැද හිස් බටයක් නොව, මැදද වීදුරුවලින්ම පිරී පවතින කෙස් ගසක් වැනිම ගනකම් විශේෂිත වීදුර කම්බියකි (කෙස් ගසේ මැද හිස්ව නැහැනෙ). එනිසා වැරදි පිංතුරයක් මනසට ඒම වැලැක්වීම පිණිස ෆයිබර් ඔප්ටික් “බටය” නොකියා “කූර” යන වචනය මා භාවිතා කරනවා. ඉතිං, යම් සිහින් ලේසර් කිරණයක් දැන් මෙම ෆයිබර් ඔප්ටික් කූරට යම් කෝණයකින් එල්ල කළ විට, මෙම කිරණය එම කෙස් ගහක් වැනි ඉතා සිහින් වීදුරු “කූර” දිගේ ගමන් කරනවා. එය ගමන් කරන්නේ පහත රූපයේ ආකාරයට අඛණ්ඩව කූර තුල පරාවර්තනය සිදු වෙමින්ය. එහෙත් මෙය සාමාන්‍ය දර්පනයකින් සිදුවන පරාවර්තනයක් නොවන බව විද්‍යාව ගැන දැනුමක් තිබෙන අයට පහසුවෙන්ම වැටහෙනවා. මෙම විශේෂිත පරාවර්තනයට කියන්නේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය (Total Internal Reflection – TIR) කියාය.

සටහන

පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය

සාමාන්‍ය පරාවර්තනයේදී සිදුවන්නේ යම් ආලෝක කිරණයක් යම් මතුපිටක් මතට වැටුණු විට, නැවත එම කිරණය වෙනත් දිශාවකට යොමු කිරීමයි (මෙවිට පතන කෝණයට පරාවර්තන කෝණය සමාන වන බව පෙර පාඩමකදී අප ඉගෙන ගත්තා). එහෙත් පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය යනු වර්තනය නිසා සිදු වන්නකි. ඔබ දැන් දන්නවා වර්තනය යනු යම් මාධ්‍යයක සිට තවත් මාධ්‍යයකට කිරණයක් ගමන් කිරීමේදී යම් නැමීමක් සිදු වී ගමන් කිරීම බව. මෙහිදී ගහනතර මාධ්‍යයක සිට විරලතර මාධ්‍යයකට කිරණය ගමන් කරන විට, එය අභිලම්භයෙන් ඉවතට නැමෙන බවද ඔබ ඉගෙන ගත්තා. දැන් පතන කෝණය වැඩි කරගෙන යන විට, මෙලෙස අභිලම්භයෙන් ඉවතට නැමෙන ප්‍රමාණය (කෝණය) වැඩි වේ. ඉතිං පතන කෝණය ක්‍රමයෙන් වැඩි කරගෙන යන විට, එක්තරා අවස්ථාවක් එනවා වර්තන කෝණය අංශක 90ක් බවට පත් වන. මෙම අවස්ථාවේදී අපි කියනවා දැන් වර්තන කෝණය අවධි කෝණ (critical angle) තත්වයට පත් වෙලා කියා (විද්‍යාවේදී “අවධි” යන්නෙහි සාමාන්‍ය තේරුම “එහි ගතිගුණයක් වෙනස් වන අවස්ථාවට එළඹ තිබේ” යන්නයි).


දැන් මෙම අවධි කෝණයට වඩා දශමයක් හෝ පතන කෝණය වැඩි කළොත්, වර්තන කෝණය අංශක 90ට වඩා වැඩි වේ. එවිට තවදුරටත් එය වර්තනයක් නොව පරාවර්තනයක් ලෙසයි සැලකීමට වන්නේ. ඔව්; එම පරාවර්තනය තමයි පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය කියා හඳුන්වන්නේ.

ඉතිං, ෆයිබර් කූර දිගේ පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය සිදුවෙමින් ලේසර් ආලෝකය කූරෙන් ඉවතට නොගොස් කූර තුලම දිගින් දිගටම රැඳෙනවා. ලේසර් ආලෝකය ඉතා දුර්වල මට්ටමට අඩු වන තෙක් මෙලෙස කිලෝමීටර් ගණනාවක් වුවද ගමන් කළ හැකියි. කලින් පැවසුවා ෆයිබර් කේබලය වැඩිපුර නමන්නට හොඳ නැති බව (එය කැඩී නොයන පරිදි නැමිය හැකි වුවත්). ඊට හේතුව නැමීම් සිදුවන තැන්වලදී පූර්ණ අභ්‍යන්තර පරාවර්තනය හොඳින් සිදු නොවී, එම ස්ථානවලින් ආලෝකය ඉවතට යෑමයි. එවිට කූර දිගේ යෑමට තිබෙන ආලෝකය අඩු වී ආලෝකයට වැඩි දුරක් යෑමට පෙර සංඥාව හානි වී යනවා. බලන්න පහත රූපයේදී ෆයිබර් කේබලය නැමීම නිසා එම නැමුනු තැනකින් ආලෝකය පිටතට ලීක් වෙනවා.


ෆයිබර් ඔප්ටික් ක්‍රමයෙන් සන්නිවේදනය සිදු කිරීම ටෙලිග්‍රාෆ් යුගය දක්වා පැරණි වුවත්, මා ඉහත පැවසූ ලෙස එය සාමාන්‍ය භාවිතාවට පැමිණියේ 1960 ගණන්වල සිටයි. සාමාන්‍ය පොලොව මත කිලෝමීටර් දහස් ගණන් දිග ෆයිබර් කේබල් ලොවපුරා ඇද්දා. ඒ විතරක් නොව, රටවල් හා මහද්වීප යා කරමින් මුහුද යටින්ද අති දැවැන්ත ෆයිබර් කේබල් ඇද්දා. SEMEWE යනු එවැනි මුහුදු යටින් යන ෆයිබර් කේබලයකි. මෙනිසා තමයි, IDD ඇමතුම් හා අන්තර්ජාල සම්බන්දතා ඉතා ලාභදායි මට්ටමට පැමිණියේ.



රේඩියෝ තරංග (චන්ද්‍රිකාද ඇතුලුව) හරහා දත්ත යැවීම සීමාසහිතයි. එහෙත් කේබල් එසේ නොවේ. කේබලයකට වැය වන්නේ සාමාන්‍ය පයිප්ප බටයක් තරම් කුඩා පෙදෙසකි. ඉතිං දැනට පවතින දත්ත වේගය මඳි නම්, තවත් කේබල් අදින්නට හැකියි. රේඩියෝ තරංගවලට එය කළ නොහැකියි මොකද සංඛ්‍යාත පරාසයන් සීමිතයි (ඉඩ නැත). මෙන්න මේනිසා තමයි, නැවත ලෝකය කේබල් කරා වැඩි වශයෙන් යොමු වූයේත්. තඹ කේබල්වලට වඩා ෆයිබර් කේබල්වල වාසි එමට තිබේ.

1. තඹවල ගමන් කරන්නේ විදුලිය නිසා, විශාල විදුලි ශක්තියක් (එක් කේබලයකට කිලෝවොට් ගණනක්) ඊට වැය වේ. එහෙත් ෆයිබර්වල ගමන් කරන්නේ ආලෝකයයි. එම ආලෝකයට වොට් දෙක තුනක් ප්‍රමාණවත් විය හැකියි.

2. විදුලිය ගමන් කරන තඹ කේබල්වලට භාහිරින් පැමිණෙන විද්‍යුත්චුම්භක තරංගවලින් බාධා ඇති වේ. උදාහරණයක් ලෙස, අකුණක් ගසන වෙලාවක ඔබ රැහැන් දුරකතනයක් ඔස්සේ කතා කරමින් සිටින විට, කරස් වැනි ශබ්දයක් ඇහෙනවා නේද? එලෙසම අකුණු ගසන විට, ටීවී එකේ ඉරි ඇති වෙනවා. ඊට හේතුව අකුණ නිසා ඇතිවන විද්‍යුත්චුම්භක කිරණවලින් එම සංඥාවලට බාධා ඇතිවීමයි. එහෙත් ආලෝකයට එලෙස විද්‍යුත්චුම්භක කිරණවලින් බාධා කිසිසේත් ඇති වන්නේ නැත. එනිසා දත්ත හානි නොවී ෆයිබර් කේබල් හරහා ගමන් කරනවා.

3. සාමාන්‍ය තඹ කේබලයකට වඩා ෆයිබර් කේබලය් සිහින්ය. එනිසා ඉඩකඩ වැය වන්නේ අඩුවෙනි. ඒ කියන්නේ විශාල ෆයිබර් කේබල් ප්‍රමාණයක් ඇදිය හැකි තනි තඹ කම්බියක් වෙනුවෙන් වැය වන ඉඩ ප්‍රමාණය තුල.

4. තඹ යනු එන්න එන්නම මිල ඉහල යන ද්‍රව්‍යයක් නිසා, තඹ කේබල් එන්න එන්නම මිල අධික වේ. එහෙත් ෆයිබර් ඔප්ටික් යනු සුලභවම ඇති සිලිකන් වැනි ඉතා ලාභ ද්‍රව්‍යවලින් සාදන එකක් නිසාත්, ෆයිබර් නිපදවීම එන්න එන්න ලාභදායක වී තිබෙන නිසාත්, ෆයිබර් කේබල් අනාගතයේදී වඩා යෝග්‍ය වේ.

5. එක් තඹ කේබලයකට වඩා ඉතා විශාල දත්ත ප්‍රමාණයක් (සමහරවිට එය 1000 ගුණයකටත් වැඩි විය හැකියි) එක් ෆයිබර් කේබලයක් හරහා යැවිය හැකිය.

මේ ආදී ලෙස වාසි නිසා ඉදිරියේදී සන්නිවේදනය රැහැන් සියල්ලම ෆයිබර් වනු ඇත. දැනටමත් ලොවපුරා මෙම ප්‍රවණතාව ඇරඹී ඇත. ලංකාවේ පවා FTTH (FTTx) ලෙස හැඳින්වෙන “ෆයිබර්කරණය” නිවෙස්/ව්‍යාපාරික ස්ථාන කරා පැමිණ තිබේ. ෆයිබර් ක්‍රමවේදයේ තිබෙන එක් ගැටලුවක් නම්, තඹ කේබල් සමග වැඩකරනවාට වඩා අමාරු වීමයි. සාමාන්‍ය තඹ කම්බි එකට අඹරා හෝ වෙනත් සාමාන්‍ය කනෙක්ටරයකට රිංගවා මූට්ටු කළ (join) කළ හැකි වුවත්, ෆයිබර් කේබල් දෙකක් එකිනෙකට සම්බන්ද කරන්නට (fiber splicing) විශේෂිත උපකරණ එහෙම අවශ්‍ය වේ. එනිසා සාමාන්‍ය කෙනෙකුට ඉස්සර තඹ කම්බිවලට කළා වගේ ෆයිබර් කේබල් “කපා කොටා මූට්ටු කිරිලි” සිදු කළ නොහැකි වේවි.

ඇත්තටම චන්ද්‍රිකා තාක්ෂණය නිසා ලෝකය හොඳින් එකිනෙකාට ළං කළ බව පෙනුනත්, සැබැවින්ම මුලු ලෝකම එකිනෙකට සම්බන්ද වූයේ ෆයිබර් කේබල් ඔස්සේය. චන්ද්‍රිකා හරහා සන්නිවේදනය වියදම් අධික විය. එනිසා අත්‍යවශ්‍ය කාරණයකදී හැරෙන්නට අන්තර්ජාතික දුරකතන ඇමතුමක් ගත්තේ නැත. එහෙත් ෆයිබර් නිසා වියදම සිතාගත නොහැකි තරම් (සමහර විට “නොමිලේ”) පහළට ගියා. එනිසා අවශ්‍යතා නැතුවත් දැන් පාලුවටත් අපි කතා කර කර ඉන්නේ විදෙස් රටවල අය සමගයි (සිතා බලන්න වයිබර්, ස්කයිප්, ෆේස්බුක් ආදිය ගැන). විශ්ව ගම්මානය, විශ්ව පවුල වැනි සංකල්ප බිහි වූයේද මෙලෙස මුලු ලෝකයම සමීප වූ නිසාය. බොහෝවිට අල්ලපු ගෙදර සිදු වූ විශාල සිදු වීමක් නොදන්නා අපි ලෝකයේ අනෙක් කෙලවර සිදුවන දෙයක් ඒ ක්ෂණයෙහිම දැන ගනී. එනිසා විටෙක සිතෙනවා “ලෝකයම ළං වුණා, ළඟ අය දුරස් වුණා” කියා. බොහෝ අයට මෙය සිදු වී ඇත. තමන්ගේ පවුලේ ළමුන් ගැන නොසිතා නොසොයා ෆේස්බුක් එකේ බුදියන අම්මන්ඩිලාත්, තම අඹුදරුවන් ගැන නොසිතා නොදන්නා ගැහැණුන්ට කෙල හලමින් “චැට්” කරමින් සිටින අප්පොච්චිලාත් අද කොච්චර සිටිත්ද!

ෆයිබර් කේබල් නැතිවත් කෙලින්ම ලේසර් කිරණ වාතය හරහා යැවීමෙන්ද සන්නිවේදනය කිරීමට හැකියි (laser communication). එහෙත් මෙය ෆයිබර් කේබල් තරම් විශ්වාසනීය නොවේ ඉතා දිගු දුරවල් සඳහා. උදාහරණයක් ලෙස, උස ගොඩනැඟිලි දෙකක් උඩ තබා ඇති මෙවැනි ලේසර් සන්නිවේදන කට්ටලයක් අතර ලේසර් ආලෝකය ඍජුව යවා සන්නිවේදනය සිදු වන අතරදී, කවුරුන් හෝ කෙනෙකු ඒ අතර අවකාශයේදී සරුංගලයක් උඩ යැවූ විට සමහරවිට එම ආලෝකය සරුංගලයෙන් බ්ලොක් වන්නට හැකියි නේද? එහෙත් කෙටි දුර සන්නිවේදනය සඳහා එය යෝග්‍ය මෙන්ම ඉතාම ලාභදායක විය හැකියි.


මෙලෙස එක පැත්තකින් සන්නිවේදන තාක්ෂණය (Communications Technology) දියුණු වෙද්දී, තවත් පසෙකින් පරිගණක තාක්ෂණය (Computer Technology) හෙවත් තොරතුරු තාක්ෂණය (Information Technology – IT) දියුණු විය. මේ දෙක එක්තරා කාලයකදී වෙන වෙනම කතා කළ නොහැකි තරමට එකට සම්බන්දව දියුණු විය. ඒ කියන්නේ පරිගණක තාක්ෂණය නිසා සන්නිවේදනය වැඩි දියුණු වීමත්, සන්නිවේදන උපක්‍රම/ක්‍රමවේද පරිගණක තුලට උකහා ගැනීමත් (පරිගණක ජාල) සිදු විය. එනිසා මේ තාක්ෂණ දෙකම එකට සලකා සන්නිවේදන හා තොරතුරු තාක්ෂණය (Communications and Information Technology – ICT) ලෙස දැන් හැඳින්වෙනවා හා හදාරනු ලබනවා. මේ ගැන තරමක් දැන් සොයා බලමු.

Comments

  1. බොහෝම පිං පිපාසය සංසිදෙව්වාට..ඔබට ජවය ශක්තිය ලැබේවා..ඒක නෙස්ටමෝල්ට් වලින් නෙමේයි ලැබෙන්නේ ඔබම මේ දෙන සේවයේ පින් බලයෙන්..සහ මෙයින් ප්‍රරයෝජන ලබන අයගේ සතුටෙන් සහ ආශිර්වාදයෙන්.

    ReplyDelete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...