Skip to main content

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලි ශිල්පය (Amateur radio) 14

රේඩියෝ සන්නිවේදනය

නැවතත් අපි සන්නිවේදනයේ විකාශයේ ඉතිරි කොටසට යොමු වෙමු. 1900 ගණන්වල සන්නිවේදනය සඳහා රේඩියෝ තරංග යොදා ගැනීම තවත් කඩඉමකි. මෙතෙක් වයර් හරහා සිදු කළ සන්නිවේදනය වෙනුවට වයර් රහිත (wireless) ක්‍රමවේද ඇති විය. මෙහිදී යම් ස්ථාන දෙකක් අතර රේඩියෝ තරංග සම්ප්‍රෙෂක හා ආදායක යන්ත්‍ර 2ක් තැබීමෙන් වයර් රහිතව මෙය සිදු කරන නිසා, ඉතාම ඉක්මනිනුත් පහසුවෙනුත් වියදම් අඩුවෙනුත් සන්නිවේදනය කිරීමට මඟ පෑදුණි.

මුලින්ම රේඩියෝ තරංග යොදාගෙන මෝර්ස් කෝඩ් යැවීය. මෙය Radiotelegraphy ලෙස හැඳින්විය. යම් නිශ්චිත සංඛ්‍යාතයක් සහිත රේඩියෝ තරංගයක් ස්විචයක් මඟින් ඔන් ඕෆ් කිරීමෙන් ඉතා පහසුවෙන්ම මෙය සිදු කර ගත හැකියි. මෙවිට ස්විචය කුඩා කාලයක් ඔන් කරගෙන සිටින විට රේඩියෝ තරංගය එම කෙටි කාලය තුල පමණක් සම්ප්‍රේෂනය වී di යන සංඥාව නිරූපණය කළ හැකියි. එලෙසම වැඩි කාලයක් ඔබාගෙන (ඔන් කරගෙන) සිටින විට, da යන සංඥාවද නිරූපණය කළ හැකියිනෙ. ඔබට මතක ඇති මෙම උපක්‍රමයමයි වයර් හරහා සිදු කරපු සාමාන්‍ය ටෙලිග්‍රාෆ්වලත් සිදු කළේ.

රේඩියෝටෙලිග්‍රාෆ් ක්‍රමය නිසා ඈත මුහුදේ තිබෙන නැව් බොට්ටු ආදිය සමඟ සම්බන්ද වීමට හැකියාව ලැබුණි. මෙනිසා මුහුදු ආපදා තත්ව පාලනය කිරීමටත් ඉන් මිනිස් ජීවිතවල ආරක්ෂාව තහවුරු කර ගැනීමටත් හැකියාව ලැබීම විශාල ජයග්‍රහණයකි. එලෙසම ගුවනේ සැරිසරන ගුවන් යානා සමඟද සම්බන්ධ වී ඒවායේ ආරක්ෂාව තහවුරු කර ගැනීමට හැකි විය. මෝර්ස් සංඥා ක්‍රමය ඉතාම හුරු පිරිසක් වූයේ නැව්වල හා ගුවන් යානාවල සන්නිවේදන නිළධාරියාය.

ඒ සමගම කටහඬද රේඩියෝ තරංග ඔස්සේ යැවීමට සමත්විය. මෙය Radiotelephony ලෙස හැඳින්වේ (telephony යනු දුරකතනද ඇතුලත් කඩහඬින් සිදු කරන විදුලි සන්නිවේදනයට කියන පොදු නමයි). මෙහිදී කටහඬ (හෝ වෙනත් ශබ්දයක් වුවද) පළමුව විදුලි සංඥාවක් බවට පත් කර, දෙවනුව එම විදුලි සංඥාවට අනුරූපව යම් රේඩියෝ තරංගයක් නිපදවනවා. මෙම ක්‍රියාවලිය මූර්ජනය (modulation) යන නමින් හැඳින්වෙනවා (මූර්ජනය ගැන විස්තරාත්මකව අපි පසුවට ඉගෙන ගමු). මෙය ඉතා වැදගත් අවස්ථාවක් මොකද මෙම මූර්ජන ක්‍රමවේදයම භාවිතා කරගෙන දැන් අපට හැකියි වෙනත් ඕනෑම විචලනය වන සංඥාවක් වුවද රේඩියෝ තරංග ඔස්සේ විසුරුවා හරින්නට.

ඉතිං වැඩිකල් නොගොස්ම රේඩියෝ තරංග ඔස්සේ ෆැක්ස් යැවීමට හැකි වුණා. එය Radiofax ලෙස හැඳින්වූවා. වැඩි වශයෙන්ම රේඩියෝ ෆැක්ස් සම්ප්‍රේෂණය සඳහා HF සංඛ්‍යාත පරාසය යොදා ගත් නිසා එය HF fax ලෙසද, කාලගුණ රූප ආදිය බහුලවම මේ ක්‍රමයෙන් හුවමාරු කරගත් නිසා Weather fax (WEFAX) ලෙසද එයම හැඳින්වූවා. පහත දැක්වෙන්නේ මෙලෙස රේඩියෝ ෆැක්ස් හරහා යවපු කාලගුණ රූපයකි.


ඉන්පසු රේඩියෝ තරංග චංචල දර්ශන යැවීමට හැකි වූ අතර, එය රූපවාහිනියේ (television) ඇරඹුමයි. මුල් කාලයේ විදුලි සන්නිවේදනය වයර් ඔස්සේ සිදු විය. එහිදී පළමුව මෝර්ස් වැනි සංඥා ඔස්සේ සිදු කර, ඉන්පසුව ශබ්දය, නිශ්චල රූප, චංචල රූප යැවීම දක්වා එය දියුණු විය. රේඩියෝ තරංග සොයා ගැනීමත් සමඟම ඒ සියලු සන්නිවේදන ක්‍රම රේඩියෝ තරංග ඔස්සේද සිදු කළා. ආධුනික ගුවන් විදුලි සේවාවද ක්‍රියාත්මක වන්නේ රේඩියෝ තරංග ඔස්සේ නිසා, එහිදීද මෙම සියලු ක්‍රමවේද යොදාගෙන සන්නිවේදනයේ නියැලීමට අවසර තිබේ. ඒ අනුව, මෝර්ස් කෝඩ් යොදා ගෙන මෙන්ම කඩහඬ යොදා ගෙනද සන්නිවේදනය ආධුනික ගුවන් විදුලි ශිල්පින්ට හැකියි. ඒ විතරක් නොව, නිශ්චල ඡායාරූප යැවීම (SSTV ලෙස මෙය හැඳින්වේ), මෙන්ම සාමාන්‍ය ටීවී මෙන් චංචල දර්ශන යැවීම (FSTV) සඳහාද අවසර තිබේ.

රේඩියෝ තරංග විශාල ප්‍රදේශයක් පුරාම පැතිරෙන නිසා, එක් කෙනෙකු සම්ප්‍රේෂනය කරන දෙයක් එම විශාල ප්‍රදේශය පුරාම ඕනෑම තැනක සිට ග්‍රහණය (ආදානය) කළ හැකි වීම වයර්ලස් තාක්ෂනයේ ඉතාම වැදගත් ලක්ෂණයයි. මේ නිසා, රේඩියෝ තාක්ෂණය එය ආරම්භක අවධියේම ජනසංහතික සන්නිවේදනය (mass communication) හෙවත් ජනමාධ්‍ය (mass media) සඳහා යොදා ගත්තා. රේඩියෝ චැනල් හා ටීවී චැනල් ලොවපුරා ප්‍රචලිත විය. ලංකාවද මේ අතින් ආඩම්බර විය හැකියි මොකද දකුණු ආසියාවේ පළමු රේඩියෝ සේවාව ඇරඹුණේ 1925දී පමණ ශ්‍රී ලංකාවේය. මෙය විද්‍යුත් ජනමාධ්‍යයේ ආරම්භයයි. මීට පෙර සාම්ප්‍රදායික පත්තර සඟරා ආදිය පමණි ජනමාධ්‍යයේ තිබුණේ.

සටහන
ජනමාධ්‍ය යනු අපට නිතරවෙලේ අසන්නට ලැබෙන වදනකි. මෙහි දළ තේරුම නම්, තොරතුරු/දත්ත පොදු මහජනයාට සන්නිවේදනය කිරීමයි. එනම් පුද්ගලික නොවන තොරතුරු සන්නිවේදනයකි. ජනමාධ්‍ය ඔස්සේ පුවත් හා කාලීන සිදුවීම්, රසාස්වාදය, දැනුම/අධ්‍යාපනය, මේ කිසිවක් නොවන අරුත්සුන් දේවල්ද විසුරුවා හරිනවා. අද වන විට ජනමාධ්‍ය ඉතාම දියුණු හා සංකීර්ණ වී ඇත. මුද්‍රිත හා ඉලෙක්ට්‍රෝනික ලෙස ජනමාධ්‍ය කොටස් 2කට වර්ග කළ හැකියි. පත්තර හා සඟරා ප්‍රධාන වශයෙන් මුද්‍රිත ජනමාධ්‍යයට (printed media) ගැනෙන අතර, රේඩියෝ හා ටීවී ඉලෙක්ට්‍රොනික් ජනමාධ්‍ය (electronic media) වේ. විද්‍යුත් ජනමාධ්‍ය ඉතා ඉහල මූල්‍යමය වටිනාකමක් අත්පත් කරගෙනද තිබේ. එනිසා “ගුවන් කාලය” යනු අද රන් මුතු මැණික්වලටත් වඩා වටිනා වෙළඳ භාණ්ඩයකි. ආදි කාලයෙහි අණබෙර ගැසීම, කවි කොල හා කැලෑ පත්තර ගැසීම වැනි ජනමාධ්‍ය මෙවලම්ද භාවිතාවේ බහුලව තිබුණු බවද සිහිපත් කිරීමට වටී. අදද තාප්ප පුරා දැන්වීම්/පෝස්ටර් ආදිය ඇලවීම දක්නට තිබෙනවානෙ (එයද ජනමාධ්‍ය මෙවලමකි; තවත් එවැනි මෙවලම් සිහිපත් කර බලන්න).

මීට අමතරව ජංගම දුරකතන හා අන්තර්ජාලය නිසා ඉලෙක්ට්‍රොනික් ජනමාධ්‍ය විස්තීර්ණ වී ඇත. වෙබ් අඩවි පුවත් සේවා (වැඩිවශයෙන්ම ගොසිප් හෙවත් ඔපදූප වෙබ්සයිට්) හා sms පුවත් සේවා අද ඉතා ප්‍රචලිතය. ඉස්සර ජනමාධ්‍යකරණයේ යෙදුණේ එය උගත් සීමිත පිරිසකි (මොකද ඉතිං පත්තරවල ලියන්නට රේඩියෝ එකේ කතා කරන්නට හැමකෙනාටම අවස්ථාව නැති නිසා). එහෙත් දැන් ඕනෑම කෙනෙකුට වෙබ් අඩවියක් පවත්වාගෙන යා හැකියි. අන්තර්ජාලයේ යූටියුබ් (හෝ එවැනි වෙනත්) ටීවී චැනලයක් ඕනෑම කෙනෙකුට පවත්වාගෙන යා හැකියි. අන්තර්ජාලයේ podcasting ක්‍රමයට ඕනෑම කෙනෙකුට පටිගත කළ හඬපට විසුරුවාලීමේ සේවාවක් පවත්වාගෙන යා හැකියි. මේ සියලුම පහසුකම් නොමිලේම තමන්ගේ කාමරයේ තිබෙන පරිගනකයේ සිට හෝ බසයේ යන ගමන් වුවද සිදු කළ හැකි තරමට තාක්ෂණය දියුණුව ඇත (ස්මාර්ට් ෆෝන් නිසා). සෑම පුරවැසියකුම ජනමාධ්‍යකරුවෙකු කර ඇත (සිරස ටීවී හි ureport, සීඑන්එන් ටීවීහි ireport වැනි නම්වලින් එවැනි ව්‍යාපෘති ලංකාවේත් වෙනත් රටවලත් පවතී). මෙම ප්‍රවණතාව පුරවැසි මාධ්‍යකරණය (citizen journalism) යන නමින් හැඳින්වේ.

රේඩියෝ සේවා සමඟ ලස්සන රේඩියෝ සංස්කෘතියක්ද බිහිවිය. නව කලා මාධ්‍යද ඒ තුලින් ඇති විය. ගුවන්විදුලි ගීතය, ගුවන්විදුලි නාට්‍ය ඒ අතර වේ. ගුවන් විදුලි සරල ගී ගායකයන්, ගුවන්විදුලි නාට්‍යවලට හඬකැවීම් සිදු කළ ශිල්පින් හෙවත් “හඬනළුවන්” (voice actors) ආදී ලෙස කලා ශිල්පි ශ්‍රේණිද බිහිවිය. මිනිසුන්ගේ ජීවිතයට රේඩියෝව ඉතා හොඳින් බද්ධ විය. එහෙත් අවාසනාවකට මෙන් අද බොහෝ රේඩියෝ චැනල් වානිජකරණය නිසා මිනිසුන්ගේ ජීවිත තවත් අසහනයෙන් අසහනයට පත් කරන “වනචර” ව්‍යාපාර බවට පත් වෙමින් පවතී. නිවේදනයේ නියැලෙන්නේ සරාගී ලෙස කතා කරන කාම උන්මත්තක ලීලාවෙනි. උන් ජනමාධ්‍යකරුවන් හෝ නිවේදක ශිල්පින් නොව, “මාධ්‍ය ගණිකාවන්” (media prostitutes) වේ. උදාහරණයක් ලෙස, කලකට ඉහතදී හිරු මාධ්‍ය ජාලයට අයත් එක් ගුවන් විදුලි සේවාවක පැවති අශිෂ්ට වැඩසටහන් නිසා එම චැනලය තහනම් විය. එවිට එම ආයතනයේ සභාපතිගේ සහෝදරයා (එවකට පළාත්සභා මන්ත්‍රී කෙනෙකු හා මේවන විට භාරත ලක්ෂ්මන්ගේ මිනීමැරුමට එල්ලුම්ගස් නියම වී ඇති) දේශපාලන කරනමක් ගසා සහෝදරයාට එම චැනලය ආපසු ලබා දීමට කටයුතු කිරීම කවුරුත් දන්නා කරුණකි.

පළමුව ආරම්භ වූ ගුවන් විදුලි සේවා AM radio channel ලෙස අප හඳුනාගමු. ඊට හේතුව AM නම් මූර්ජන ක්‍රමයෙන් එම චැනල් විසුරුවා හැරි නිසාය. රටක් හෝ රටින් කොටසක් වැනි යම් පෙදෙසක් ආවරණය වන පරිදි බොහෝ චැනල් විසුරුවාලීය. මේ සඳහා AM Band ලෙස සැලකෙන 540kHz සිට 1600kHz සංඛ්‍යාත පරාසය තුල සිදු කළා. එහෙත් සමහර චැනල් අහල පහල රටවලට හෝ ලෝකයටම විකාශය වන සේ සිදු කළා. රේඩියෝ තරංග වර්ණාවලියේ මෙලෙස ලෝකය පුරා විහිදී යෑමට තරම් හැකියාවක් තිබෙන්නේ සාමාන්‍යයෙන් HF සංඛ්‍යාත පරාසයේ තිබෙන (එනම් 3MHz ත් 30MHz ත් අතර) තරංගවලටයි. ඉතිං මෙලෙස ඉතා විශාල පෙදෙසක් පුරා සම්ප්‍රේෂණය කළ රේඩියෝ චැනල් යොදා ගත්තේ HF සංඛ්‍යාත පරාසයයි. සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි මෙවැනි ලොව පුරා සම්ප්‍රේෂනය කරපු ගුවන්විදුලි සේවා කෙටි තරංග සේවා ලෙස හඳුන්වනවා. එලෙස හඳුන්වන්නේ ඇයි?

ඔබ දන්නවා සංඛ්‍යාතයත් තරංග ආයාමයත් අතර “තරංග වේගය = තරංග සංඛ්‍යාතය x තරංග ආයාමය(v = fλ) යන සම්බන්ධතාව පවතිනවා. සංඛ්‍යාතය වැඩි වෙනවා යනු තරංග ආයාමය කෙටි වෙනවා යන්නයි. ඉතිං මුලින්ම ඒඑම් රේඩියෝ චැනල් සඳහා යොදාගත් සංඛ්‍යාතයන්ට වඩා බෙහෙවින් වැඩියි HF සංඛ්‍යාතයන්. ඒ කියන්නේ එච්එෆ් තරංගවල තරංග ආයාමය කෙටියි. එනිසයි මෙම රේඩියෝ සේවාවලට “කෙටි තරංග රේඩියෝ” (Shortwave radio) යන නම ලැබුණේ. දැන් එය කවුරුත් SW (එස් ඩබ්ලිව්) යන නමින් හඳුන්වනවා. මෙවිට ඉබේම ඊට අඩු සංඛ්‍යාත ඔස්සේ (එනම් MF, LF ඔස්සේ) විසුරුවා හැරි සේවා “මැදි තරංග” (Medium wave) හා “දිගු තරංග” (Long wave) ලෙස හඳුන්වන්නට ගත්තා. ඒ අනුව, රේඩියෝ චැනල් නිසා (ඒවා විසුරුවා හරින) සංඛ්‍යාත පරාස 3ක් වෙන් කොට නම් කර තිබෙනවා.

දිගු තරංග (Long Wave – LW) - 148kHz – 284kHz
මැදි තරංග (Medium Wave – MW) - 540kHz – 1600kHz
කෙටි තරංග (Short Wave – SW) - 6MHz – 26MHz

ඒ ඒ පරාස සඳහා ඉහත දක්වා තිබෙන සංඛ්‍යාත පරාස හරියටම නිශ්චිත නැත (සුලු වශයෙන් රටින් රටට ඒවා වෙනස් විය හැකියි). ඉහත සියලු පරාසයන්වල විසුරුවා හරින රේඩියෝ AM ක්‍රමයයි යොදා ගන්නේ (එය අනිවාර්ය නැතත් ප්‍රායෝගික තත්වය එසේය). ඒ කියන්නේ එස්ඩබ්ලිව් රේඩියෝ චැනල්ද ඒඑම් රේඩියෝ චැනල් තමයි. එකම වෙනස ඒවා විසුරුවා හරින සංඛ්‍යාත පරාසය වෙනස් වීමයි. එනිසා සාමාන්‍ය AM රේඩියෝ එකකින් එස්ඩබ්ලිව් රේඩියෝ චැනල් ශ්‍රවනය කළ නොහැකිය. ඒ සඳහාම සෑදූ එස්ඩබ්ලිව් රේඩියෝවක් මිල දී ගැනීමට සිදු වේ (එහෙත් මේවන විට ලංකාවේ එස්ඩබ්ලිව් රේඩියෝ අහන පිරිස ඉතාම අල්පයි). එස්ඩබ්ලිව් රේඩියෝවලට ඇහුම්කන් දී ඇත්නම් ඔබට හුරුපුරුදු අත්දැකීමක් වන්නේ හිටිගමන් හඬ ඉහල හෝ පහල යෑමයි. මීට හේතුව රේඩියෝ තරංග වායු‍ගෝලය හරහා එන විට සිදුවන දේවල්ය (මේ ගැන විස්තරාත්මකව පසුවට බලමු).

තවද, එස්ඩබ්ලිව් රේඩියෝ චැනල්ද ක්‍රමයෙන් අඩු වේගෙන යයි. ඊට හේතු කිහිපයක් තිබේ. මෙවැනි රේඩියෝ සේවාවක් විශාල දුරකට තරංග විසුරුවා හරින නිසා අතිවිශාල විදුලි ශක්තියක් වැය කරයි (එය විශාල වියදමකි). තවද, අද වන විට චන්ද්‍රිකා හා අන්තර්ජාලය හරහා ලොව පුරාම සන්නිවේදනය කිරීමට නැඹුරුවක් තිබේ (එය ඉතාම ලාභදායකයි). ඒ කාලයේ (දැනටත්) එස්ඩබ්ලිව් චැනල් ප්‍රචාරය කිරීමට එක් හේතුවක් වූයේ අධිපතිකම් පාන රටවල තමන්ගේ දේශපාලය වුවමනාවන් වෙනත් රවටල සිටින අයට දැනගන්නට සැලැස්වීමයි. මෙවිට සතුරු රටේ වැසියන්ට ඊට සවන් දිය හැකිය ඔවුන් සතුව කෙටිතරංග රේඩියෝ තිබේ නම්. රේඩියෝ තරංග ඉතිං දේශපාලකයන්ට අතින් නවත්වන්නට (බ්ලොක් කරන්නට) බැහැනෙ. එහෙත් ඒවා අවශ්‍ය නම් බ්ලොක් කළද හැකියි එම සංඛ්‍යාතයට සමාන සංඛ්‍යාතයෙන්ම රේඩියෝ තරංග තම රට තුල විසුරුවා හැරියොත් (මෙලෙස රේඩියෝ තරංග සමහර රටවල් විසින් බ්ලොක් කරද තිබේ). එනිසා ලෝක යුද්ධ කාල හා එවැති අර්බුද කාලවලදී මෙවැනි රේඩියෝ චැනල් බහුල විය. සමහරුන් ආගම ප්‍රචාරය කරන්නට එය යොදා ගත්තා. එහෙත් අද වෙනකොට ලෝක තත්වය වෙනස් නිසා එස්ඩබ්ලිව් චැනල්වල ප්‍රයෝජනය එතරම් දැනෙන්නේ නැත. ලංකාවේ ගුවන්විදුලි සංස්ථාව විසින්ද කෙටිතරංග සේවා පවත්වාගෙන යනවා. දැනට මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් මැදපෙරදිග කෙටි තරංග සේවාවක් දවසකට පැය කිහිපයක් පවත්වාගෙන යනවා. එමඟින් සිංහල බසින් වැඩසටහන්වලට ඔවුන්ට ඇහුම්කන් දිය හැකියි.

කෙටිතරංග සේවා පමණක් නොව, සියලුම AM රේඩියෝ සේවා අභාවයට යමින් තිබේ. ඊට හේතුව ගුණාත්මක බවින් වැඩි FM රේඩියෝ සේවා කරලියට පැමිණීමයි (FM යනුද තවත් මූර්ජන ක්‍රමයකි). ලොවපුරා එෆ්එම් චැනල් විසුරුවා හරින්නේ VHF කලාපයට අයත් 88MHz – 108MHz යන සංඛ්‍යාත පරාසය තුලයි (ජපානය, රුසියාව හා ඒ අවට පැරණි සෝවියට දේශයට අයත් රටවල් තුල මෙම පරාසය වෙනස්ය). මෙම සංඛ්‍යාත පරාසය තුළ එෆ්එම් රේඩියෝ සියයකට අධික ප්‍රමාණයක් පවත්වාගෙන යා හැකිය. 1933 දී පමණ ආර්ම්ස්ට්‍රෝං (Edwin Armstrong) විසින් මුල් වතාවට FM ක්‍රමය හඳුන්වා දුන්නා. ඒඑම් ක්‍රමයේදී සංඥා වායුගෝලය හරහා එන විට විවිධ බාධා නිසා සංඥා විකෘති වී ඇසෙන හඬද විකෘති වෙනවා. එය ශ්‍රවනයට ඉතාම හොඳ නැති තත්වයකි. ඉතිං එෆ්එම් ක්‍රමයේදී මෙය එතරම් සිදු නොවේ. එනිසා එෆ්එම් චැනලයක ශබ්දයේ කොලිටිය වැඩිය.

සටහන
අද නැතුවම බැරි ඉතාම අනර්ඝ මූර්ජන ක්‍රමයක් වන එෆ්එම් හි ඉතිහාස කතාව නම් තරමක් දුක්ඛිතය. එය හඳුන්වා දුන් ආර්ම්ස්ට්‍රෝං අවසානයේ සිය දිවි නසා ගත්තේ එවකට තිබුණු “ඒඑම් මාෆියාව” ඔහුගේ නව ක්‍රමයට ඉස්මතුවන්නට ඉඩ නොදී ඔහුව නීති ගැටවලින් පෙළූ නිසාය. එනිසා විශිෂ්ට නිර්මාණකරුවකු වන ආර්ම්ස්ට්‍රෝංව ගෞරවයෙන් සිහිපත් කරමු.




1937 දී ප්‍රථම එෆ්එම් ගුවන් විදුලි සේවාව ඇමරිකාවේ බිහි විය. පසුකාලීනව එෆ්එම් ක්‍රමයේ ශබ්දය තවත් ගුණාත්මකව වර්ධනය කරමින් ස්ටීරියෝ නම් ක්‍රමයද හඳුන්වා දුන්නේය (FM stereo). ලංකාවේ එෆ්එම් ක්‍රමය 1993 දී පමණ හඳුන්වා දුන්නේය. අද වන විට ලංකාවේ සියලුම රේඩියෝ සේවාවන් එෆ්එම් ක්‍රමයට අනුගත වී ඇත. එහෙත් තාක්ෂණය දියුණුව දිගින් දිගටම සිදු වේ. මුලු ඉලෙක්ට්‍රෝනික්ස් ක්ෂේත්‍රයමත් එනිසා සන්නිවේදන ක්ෂේත්‍රයත් ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් ක්‍රමය යොදා ගනිමින් තිබේ. මෙම ඩිජිටල්කරණය නිසා, රේඩියෝ මෙන්ම ටීවී චැනල්ද වෙනස්කම්වලට ලක්ව ඇත. එනිසා අද බොහෝ රටවල ඩිජිටල් ආකාරයෙන් රේඩියෝ හා ටීවී සේවා සපයමින් තිබේ. සමහර රටවල් එෆ්එම් ක්‍රමයද නවතාලන්නට කටයුතු කරමින් සිටී. උදාහරණයක් ලෙස, 2017 දී නෝර්වේ රට එෆ්එම් ක්‍රමය තහනම් කිරීමට නියමිතයි. එවිට ඩිජිටල් රේඩියෝ ක්‍රම පමණි එම රටේ ක්‍රියාත්මක වනු ඇත්තේ.

රේඩියෝව මෙන්ම රූපවාහිනියද ජනතාවට ඉතා ළං විය. තවත් කලාංග රැසක් ඉන් බිහිවිය. ටෙලිනාට්‍ය ඉන් ප්‍රධාන වේ. මිනිසාගේ රසාස්වාද මට්ටම පහල යෑමට හේතුවක් බවටත් අද රූපවාහිනය පත්ව ඇත. කොටින්ම, අද බොහෝ ගීතවලට වටිනාකමක් ලබා ගන්නේ ඊට එකතු කරන කෙටි රඟපෑම් (visuals) වලිනි. ගීතය කොතරම් ගුජුප්සාජනක වුවත් කම්නැත එහි ලස්සන යුවතියක් රඟපානවා නම්. රූපවාහිනි සේවා ලොවපුරා දැනටමත් ඩිජිටල්කරණයට ලක්වී දියුණු වී ඇත. ලංකාවද නුදුරේදීම දැනට පවතින (ඇනලොග්) ටීවී විකාශන ක්‍රමය අහෝසි කොට, ඩිජිටල් ටීවී තාක්ෂණයට යෑමට තීරණය කර ඇත (එහෙත් හොඳ දේ හරි විදියට කිරීමට අපේ කාලකන්නි දේශපාලුවන්ට ඇති බෙලහීනතාව මෙහිදීත් ප්‍රදර්ශනය කරමින්, හුදු පෞද්ගලික වාසි වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කරමින් එම ක්‍රියාවලිය දිගින් දිගට කල් යන බවක් පෙනේ).

මෙලෙස ජනමාධ්‍යය තුල රේඩියෝ තාක්ෂණය පෙළහර පාද්දි, සාමාන්‍ය සන්නිවේදන ක්ෂේත්‍රය තුලද විශාල පිමි ඇති විය. චන්ද්‍රිකා තාක්ෂණය හා ජංගම දුරකතන සේවා හා අන්තර්ජාලනය ඉන් ප්‍රමුඛ වේ. මින් පළමුවෙන්ම චන්ද්‍රිකා තාක්ෂණය ගැන සොයා බලමු.

Comments

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රෝනික්ස් II (Electronics) - 6

විශේෂ ප්‍රතිරෝධක ඉහත සාකච්ඡා කළ නියත හා විචල්‍ය ප්‍රතිරෝධක හැරුණහම , තවත් සුවිශේෂී ජනප්‍රිය ප්‍රතිරෝධක වර්ග කිහිපයක්ද තිබෙනවා . මේවා ආලෝකය , උෂ්ණත්වය වැනි විවිධ භෞතික රාශින්ට සංවේදී ප්‍රතිරෝධකයි . මේ අතරින් සුලභම වර්ගය තමයි ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක වර්ගය . මේවා ප්‍රකාශ - ප්‍රතිරෝධක (photoresistor) හෝ “ආලෝකයට සංවේදී ප්‍රතිරෝධක” (Light Dependent Resistor – LDR) ලෙස හැඳින් වෙනවා . එහි සාමාන්‍ය භාහිර හැඩය පහත දැක්වේ .   මෙම ප්‍රතිරෝධයේ හිස මත තිබෙන්නේ ආලෝකයට ඉතා සංවේදී කැඩ්මියම් සල්ෆයිඩ් (CdS), ලෙඩ් සල්ෆයිඩ් (PbS), කැඩ්මියම් සෙලිනයිඩ් (CdSe) ආදී යම් රසායනික ද්‍රව්‍යයකි . එම ද්‍රව්‍යයන්වල ඉතා ඉහල ( බොහෝවිට 500k ohm වැනි ) ප්‍රතිරෝධි අගයන් තිබේ . එහෙත් ඒ මතට ආලෝකය වැටෙන විට , ප්‍රතිරෝධි අගය සීඝ්‍රයෙන් පහළ යයි ( බොහෝවිට ඕම් 500 වැනි ). මෙහිදී කිව යුතු වැදගත් කරුණ නම් , ඉහත සඳහන් කළ ( හා නොකළ ) ආලෝක සංවේදී රසායනික ද්‍රව්‍ය එකම ආකාරයෙන් ආලෝකයට සංවේදී නොවේ . සමහර ඒවා “ආලෝකයේ රතු පැත්තට” ( ඒ කියන්නේ දිගු තරංග ආයාම සහිත ආලෝකයට ) සංවේදිතාව දක්වන අතර , තවත් සමහර ඒවා “ආලෝකයේ නිල් / ද...

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...