Skip to main content

දෙවැනි ගෝටාගමනය

මාලිමා ආණ්ඩුවක් පතමින් විශාල පිරිසක් දිවා රෑ වෙහෙසෙමින් කටයුතු කරන බවක් පෙනෙන අතර, ඇත්තටම මට ආයේ මතක් වන්නේ ගෝඨාභය ජනපතිවරණයට තරග වදින කොට තිබුණු තත්වයමයි. 

මාලිමාව ගෙඩි පිටින්ම කරන්නේ එකල රාජපක්කලා කරපු ප්‍රචාරණ වැඩපිලිවෙලමයි. එහෙත් කිසිදු විමසිල්ලක් නැති සිංහල තරුන වහල්ලු ජවිපෙ/මාලිමා රජයක් ආ විට බොහෝවිට ඇති විය හැකි දේවල් ගැන සිතා බලා තිබේද?

ගෝඨාභය ඇන ගත් දේවල් අතර ලොකුවටම තිබුනේ විදෙස් විනිමය හිඟ වීමය. එම නිසා රටට අවශ්‍ය ඉන්ධන, ගෑස්, බෙහෙත් හා තවත් අත්‍යවශ්‍ය දේ රටට ආනයනය කිරීමට බැරි විය. එනිසාම විදුලිය කපන්නට සිදු විය. තෙල් පෝලිම්වල වරුගනන් සිටින්නට සිදු විය. ඒ අත්දැකීම් එකින් එක නැවත මතක් කිරීමට අවශ්‍ය නැත මොකද අප එය හොඳටම විඳෙව්වෙමු. 

එහෙත් එම අත්දැකීමට ආයේ මුහුන දීමට සිදු විය හැකි බවක් පෙනේ.

කවදත් විදෙස් ණය වලින්ම විදෙස් ණය සේවාකරණය කරමින් සිටි ලංකාව මෑත ඉතිහාසයේ කිසිදා දේශීය නිෂ්පාදනය ඉහල දැමීමෙන් එම ණය ගෙවන තත්වයක සිටියේ නැත. එමනිසා නිරන්තරයෙන් අප විදෙස් ණය උගු​ලේ සිර වී සිටියා. මාලිමා රජයක් ආ සැනින් එම තත්වය කනපිට පෙරලෙන්නේ නැත. ඒ සඳහා වසර කිහිපයක් ගත වනු ඇත (ඔවුන් ඉතාම හොඳින් ආර්ථික හැසිරුවත්). එම කාලය තුල රට තුල කුමක් සිදු විය හැකිදැයි සිතා බලන්න. 

වාමාංශික ආණ්ඩුවලට බටහිර ලෝකයෙන් උදව් ලැබෙන්නේ නැත. දේශීය නිෂ්පාදනයට මුල් තැන දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නට යන විට ඉන්දියාව, චීනය වැනි රටවල්ද උදව් කරාවි යැයි සිතිය ​නොහැකිය. රුසියාවටද උන්ගේ ගැටලු එමටය. එතකොට අපට වසර කිහිපයකට (ජවිපෙ විසින් රට හදන තුරු) අවශ්‍ය ඩොලර් කොහෙන්ද?

විදේශ ශ්‍රමිකයන්ගෙන් ලැබෙන ආදායම වුවද ප්‍රමානවත් නැත. කිහිප දෙනෙකු උන්ඩියාල් ක්‍රමයෙන් බැහැරව රට ගැන සිතා ඩොලර් ලංකාවට එවීමට සිතේවි. බහුතරයක් එලෙස රට ගැන සිතා කටයුතු කරාවි යැයි කිසිසේත් විශ්වාස කල නොහැකියි මොකද රුපියල් සතවලට එතරම් (දුප්පත්) අපි කෑදරය. පහුගිය කාලයේ ඩොලර් නැතිව ලංකාවේ සමස්ත මිනිසුන් අනාතව අන්ත අසරණව සිටියදිත් සිත උනු නොවූ එවුන්ගේ සිත් උනු කරන්න ශක්‍රයාටවත් බැරිය. කටින් දේශමාමක කයිවාරු නම් අනන්තයක් සෝෂල් මීඩියාවල සිදු කරතත්, ක්‍රියාවෙන් එය පෙන්වන්නේ නැත. ආණ්ඩුවක් වෙනස් වූ සැනෙන් මිනිස් සිත සුචරිතවාදී "පිංවන්ත" වේවි යැයි සිතන්නේ නම් ඒ පිස්සෙකි. ඉතාම ඉතා සුලු  පිරිසක් ජීවිත කාලයක් එතරට වී එකතු කරපු විදෙස් මුදල් ඉතිරුම් සමහරවිට ලංකාවට ගෙන ඒවි. එහෙත් එය ඩොලර් මිලියන කිහිපයකට වඩා වැඩි එකක් වන්නේ නැත.

තව පැත්තකින් ජවිපෙට අනිත් අයට වගේ රටේ සම්පත් විකුනා විදෙස් විනිමය සෙවීමට සදාචාරයක් මෙන්ම ජනවරමක්ද නැත. ​ඩොලර් නැතිව තෙල් නැව් ගෑස් නැව් එන්නේ නැත. රට තුල පවතින දූෂන වංචා සහමුලින්ම නතර කලත් ඉන් විදෙස් විනිමය ජනනය වන්නේ නැති තරම්ය. ගෝටා මුහුන දුන් තත්වයම ජවිපෙටත් මුහුන දීමට සිදු වේ. මෙතන ඉන්පුට් අවුට්පුට් ගානට කලමනාකරනය කිරීමේ කාර්යකට වඩා එහා ගිය කරුම තත්වයක් තිබේ.

අවශ්‍යයෙන්ම වාහන ආනයනය නතර කිරීමට සිදු වේ. බොහෝ දේවල් එලෙසම ආනයනය කිරීමට බැරි වේවි. එවිට පිටරටින් ආනයනය කිරීම නතර කිරීම හොඳ දෙයක් යැයි තර්ක කලත්, රට තුල එම භාන්ඩ නැති වීම හෝ දරාගත හැකි මිලකට ගැනීමට නොහැකි වූ විට අපට දැක ගැනීමට හැකි වේවි එලෙස කයිවාරු ගහපු ඊනියා ප්‍රගතිශීලයෝම කුනුහරුප කියන හැටිත්. ගෝටාව දෙවියෙකු කළ එවුන්ම ගෝටාව පඩත්තරයකු මට්ටමට දැමූ හැටි අපට දැනුත් පේනවනෙ.

විදෙස් මුදල් මෙන්ම රුපියල ගැනද කතාව එලෙසමයි. ජ්‍යෙෂ්ට පුරවැසියන්ගේ බැංකු ගිනුම්වල පොලිය වැඩි වන්නේ නැත. රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කල නොහැකිය. තමන්ගේ ආන්ඩුවක් නිසා සමහර වෘත්තිය සමිති බොහොම ටික කාලයක් ඉවසන් සිටියත්, පක්ෂයට වඩා තමන්ගේ බඩගෝස්තරය වැදගත් නිසා ආයේ ස්ට්‍රයික් ආදිය මතු වේවි. ජවිපෙ සතු සේවකයන් හැසිරවීමේ බලය ඔවුන්ගෙන් ගැලවී යන හැටි දැක ගත හැකි වේවි. ජවිපෙ දූෂන වංචා අවම කරාවි. එහෙත් රට දැන් පවතින තත්වය අනුව, ඔවුන්​ගේ යහපත් තීරන ක්‍රියාත්ම කිරීමට විශාල කාලයක් අවශ්‍ය කරනවා. එම කාලය ලංකිකයා ඉවසන් ඉන්නේ නැත. එවැනි හික්මීමක් ලාංකිකයාට නැත. මැතිනියට සිදු වූයෙත් එයයි.

ඇත්තටම එය ජවිපෙ ගේ වරදක් නොවේ. මේ ප්‍රශ්න රට තුල ඔඩු දුවා තිබෙන්නේ ඔවුන්ගේ වැරද්දකින් නොවේ. එහෙත් සිහින කෝටි ගනන් ජනතා සිත් තුල හිංදුවා බලය ලබා ගන්නා විට එහි පල විපාක සැර වැඩි විය හැකියි. සමහරවිට "සොදුරු ආඥාදායක" චරිතයක් අනුරට රඟ දැක්විය හැකි නම්, බලෙන් හෝ රට හදන දිශාවට සියල්ලම ගෙන යා හැකි වේවි. එහෙත් සිහින කෝටි ගනන් දී එවැනි දරදඩු පාලනයක් පවත්වාගෙන යෑමට හැකි වේවිද?

ලංකාවට ඇත්තටම අවශ්‍ය කරන්නේ රට වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කරන බය නැති ආඥාදායක පාලකයෙකි. රට විනය ගරුක හා පහසුකම් දියුනු තත්වයට පත් වන තුරුම එලෙස පාලනය කල යුතුය. ලංකාවේ එවුන්ම හුරතල් කර කර මේ රට කිසිදා දියුනු කල නොහැකිය. 

අවශ්‍යයෙන්ම විදෙස් විනිමය මත යැපෙන තත්වයෙන් රට මුදවා ගැනීමට දේශීය ආර්ථිකය මෙහෙය විය යුතුය. එහෙත් ජවිපෙ වුවත් පුරසාරම් දොඩන්නේ තවමත් විදෙස් විනිමය වැඩි වැඩියෙන් සොයන ක්‍රම ගැනය. විදෙස් විනිමය අර්බුදය විසද ගැනීම දක්වා එම ප්‍රතිපත්ති දරනවා නම් අවුලක් නැත. එහෙත් එසේ කියන්නේ නැත. ජවිපෙද බටහිර ආර්ථික රෝදයේ තවත් ස්පෝක් කම්බියකි. 

"කොහොම හරි අපි කරනවා" යනුවෙන් බොහෝ දෙනා ජීවිතයේ සෑම ප්‍රශ්නයක්ම සිත සනසා පැන යෑමට භාවිතා කරන එම ප්‍රකාශය රටක් හැසිරවීමේදිත් මෙවලමක් ලෙස භාවිතා කරන විට එම රටට සිදු විය හැකි හානිය සිතා ගත හැකිය. "අපි දේශීය නිෂ්පාදනය ඉහල දමනවා" කියා කිව්වාට ප්‍රශ්නය විසදෙන්නේ නැත. එය කරන ආකාරය, ඒ එක් එක් ක්‍රියාකාරකමින් යථාර්ථවාදිව ලැබෙන ආර්ථික ප්‍රතිලාභය ආදිය ගැන තක්සේරු මා නම් මුන් එකෙක්ගෙන්වත් අසා නැත. ඒ වෙනුවට ජවිපෙ ආර්ථික ඔස්තාර් හදුන්නෙත්තිගෙන් මට ඇසී තිබෙන්නේ අපේ යුද හමුදාව ලවා පිටරටට උපදෙස් දී විශාල ඩොලර් ප්‍රමානයක් සොයා ගැනීම, ත්‍රිකුනාමල තෙල් ටැංකි ටිකෙන් රටේ ආර්ථිකය නව පිම්මකින් නංවාලීම වැනි ළඳ බොලඳ කතාය. 

මට මතකයි එකල ජවිපෙ ප්‍රචාරක ලේකම් විමල් වීරවංශ වරක් පැවසුවා (එකල තිබූ) ආර්ථික ප්‍රපාතයෙන් රට ගොඩ නංවන්නට ස්වීප් ටිකට් එකක් අලුතින් ඉදිරිපත් කල යුතු බව. එවැනි විකට කතා දැන් කියන්නේ හදුන්ය. රට හදන්නට පෙර තමන්ගේ හිල් වෙච්ච ජංගි ටික මසා ගන්න යැයි කවුරු හරි ජවිපෙට දැන්විය යුතුය.

ලංකාව කුඩා රටක් නොවේ. ලංකාවේ ජනගහනයද කුඩා නැත. එනිසා අවශ්‍යයෙන්ම භාණ්ඩ නිෂ්පාදනය, නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ම කිරීම, බැර කර්මාන්ත, මුහුදු රල හා සූර්යාලෝකයෙන් බලශක්තිය නිපදවීම හා එම භාන්ඩ රට තුල නිපදවීම, අධිතාක්ෂණික කර්මාන්ත ඇති කිරීම, අධ්‍යාපන ක්‍රමය රැඩිකල් අයුරින් වෙනස් කිරීම, අධිතාක්ෂණික කෘෂි කර්මාන්තය ආදී බරපතල දේවල් අප කල යුතුය. සංචාරක කර්මාන්තය, සේවා නිෂ්පාදන ආදිය දෙවැනි තලයේ ලා කටයුතු කල යුතුය.

Comments

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

පුරවැසියා බාල්දු කරන අපහසය හා පොදු දේපල

මා දේශපාලනය හා නීතිය දැන ඉගෙන ගත් පලමු දවසේ සිටම ඉතා පිලිකුල් කල දෙයක් නම්, ඒ ලංකාවේ අධිකරණ අපහස නීතිය ලෙස අවභාවිතයේ පවතින තත්වයයි. පෞද්ගලිකව 2006 දී පමන මා හදාරමින් සිටි නීතිවේදි උපාධිය පවා අත් හළ එක් ප්‍රධාන සාධකයක් වූයේ ලංකාවේ නීතිය ගැන ඇති වූ දැඩි කලකිරීමයි. හැකි සෑම අවස්ථාවකදීම මා විවිධ ලිපි හා සංවාද හරහා එම තත්වය නිර්දය ලෙස විවේචනය කර තිබේ. රනිල්ව රිමාන්ඩ් කිරීම සම්බන්දයෙන් ක්‍රියාත්මක වූ නීති කෘත්‍ය හා අධිකරන අපහසය ගැන නැවත සැරයක් කරලියට පැමින තිබේ. නූතන මිනිස් සමාජය හා දියුනුව සලකා බලන විට, කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට පූජනීය ස්ථානයක් ලබා නොදිය යුතුය. පූජනීයත්වය වෙනුවට පෞරුෂත්වය ආදේශ විය යුතුය. න්‍යායාත්මකවත් ප්‍රායෝගිකවත් ඒවා පූජනීය නොවේ.  තත් කාරනයට ඍජුව අදාල නොවුනත්, අප දැන්වත් විනිසුරුවරුන් "ස්වාමිනි" යන නාමයෙන් ඇමතීම තහනම් කල යුතුය. එය ඉපැරනි වැඩවසම් වචනයකි. හැම මගුලටම රිමාන්ඩ් කිරීමද නතර කල යුතුය. අදාල උසාවි දිනයේදී ඉදිරිපත් නොවන විටක, ඊට සාධාරන හේතු නැතිනම්, අන්න එය අධිකරන අපහසයක් ලෙස සලකා රිමාන්ඩ් නොව කෙලින්ම බන්ධනාගාර ගත කිරීමක් කලද කමක් නැත. ආගමික සංස්ථා පවා ...

Let's Learn Sinhalese in English 17 (final)

I will show you the Sinhala alphabet. I recommend learning it too.   Following picture shows the Sinhala vowels . Beside (in front of) each letter is the name of the letter and below each letter is the sound it represents. The first 12 vowels are very important. The following picture shows the consonants of Sinhala alphabet (not in the conventional order and format). I have crossed out some letters which are redundant and useless (I vehemently support removing these pesky letters from the operating alphabet ). Actually you should remember all the letters, but I suggest you to use only the letters that are not crossed out. Sinhala alphabet is phonetic (that is, each letter shall have one dedicated sound only), therefore it is easier to use than English alphabet. Consonant letters cannot be sounded on their own, and you have to use vowels to aid in them to be pronounced. In English, you just place the vowel just after the constant. For example: ...

ඉලෙක්ට්‍රොනික්ස් III (Electronics) - 20

Tunnel Diode Esaki නම් ජපන් ජාතිකයා විසින් මෙය සොයා ගත් නිසා මෙම ඩයෝඩය එසාකි ඩයෝඩය ලෙසද හඳුන්වනවා . මෙම සොයා ගැනීමත් සමගම ඔහු විසින් ක්වන්ටම් ටනල් ආචරණයද සොයා ගත් නිසා නොබෙල් ත්‍යාගය පවා ඔහුට ලැබුණා . ක්වන්ටම් ටනල් ආචරණය සෙනර් ඩයෝඩයේදී දක්නට ලැබුණා මතකද ? මෙම ඩයෝඩයත් ක්වන්ටම් ටනල් ආචරණය මත පදනම්ව සාදා ඇති නිසාම ඊට ටනල් ඩයෝඩය ( උමං ඩයෝඩය ) යන නම ලැබී තිබෙනවා . එහි සංඛේතය පහත දැක්වේ .   සාමාන්‍ය ඩයෝඩයක මෙන්ම පී හා එන් කැබැලි දෙකකින් සෑදූ සන්ධියක් ඇත . එහෙත් සාමාන්‍ය ඩයෝඩයකට වඩා ඇති වෙනස නම් , එම අර්ධසන්නායක කොටස් ඉතා අධිකව මාත්‍රණය කර තිබෙනවා ( සාමාන්‍ය ඩයෝඩයකට වඩා ලක්ෂ ගුණයක් පමණ ). එවිට අර්ධසන්නායක කොටස් දෙකෙහිම යහමින් ආරෝපණ වාහක තිබෙනවා ( සාමාන්‍ය සන්නායකයක් වගේම ). එහි ප්‍රතිඵල දෙකක් තිබෙනවා . එකක් නම් , පෙර නැඹුරු කළ විට උමං ආචරණය සිදු වීම . දෙවැන්න නම් , පසු නැඹුරු කළ විට සාමාන්‍ය සන්නායකයක් ලෙස ක්‍රියා කිරීම . මේ දෙක දැන් සලකා බලමු . පෙර නැඹුරු කළ විට , උමං ආචරණය නිසා සුපුරුදු ඩයෝඩ ක්‍රියාකාරිත්වය නොදක්වයි . ඒ කියන්නේ 0 සිට වෝල්ටියතාව වැඩි කර ගෙන යන විට , ධාරාවද ක...