Skip to main content

උබුන්ටු vs මින්ට්

අවුරුදු බර ගණනක් වින්ඩෝස් ඔපරේටිං සිස්ටම්වල හිරවී සිට ටික කලකට පෙර ලිනක්ස්වලට මාරු වීමට තීරණය කළා. අහම්බෙන් මා තෝරා ගත්තේ ලිනක්ස් මින්ට් (Linux Mint) යන ඩිස්ට්‍රෝ එකයි. කාලයත් සමග තරමක මන්දගාමී වීම හා වින්ඩෝස්වල කළ සමහර දේවල් කිරීමට කොලිටි සොෆ්ට්වෙයාර් නොතිබීම හැරෙන්නට මින්ට් යනු ඉතාම අනර්ඝ මෙහෙයුම් පද්ධතියක් බව ප්‍රත්‍යක්ෂයෙන්ම මා දැන් දන්නවා. එහෙත් මෙහා පැත්තේ තණ බිමට වඩා ගගේ එහා පැත්තේ තණ බිම් වඩා කොළ පැහැයෙන් දිස්වනවා යන මනුස්ස ගතිය සැබෑ කරමින් මේ ළගදි ඉතාම හොදින් වැඩ කළ මින්ට් සම්පූර්ණයෙන්ම ඉවත් කර උබුන්ටු 16.04 LTS වලට මාරු විය. ඇත්තටම එහිද වරදක් නැත. මා හැමදාම කියන්නා සේ ලිනක්ස් හැම ඩිස්ට්‍රො එකක්ම අඩු වැඩි වශයෙන් එක වගේය. යූසර් ඉන්ටර්ෆේස් එකයි වැඩ කිරීමට by default ලබා දීල තිබෙන ප්‍රෝග්‍රෑම්ස් කට්ටලයෙහි වෙනස පමණි තිබෙන්නේ. එහෙත් එක එක්කෙනාගේ රුචි අරුචිකම් වෙනස්ය. මා සාමාන්‍යයෙන් ලස්සනට වඩා වේගය, සරලකම අගය කරන නිසා (කාන්තාවන් සම්බන්ධයෙන් නම් මෙම ප්‍රකාශය මා වලංගු කරගන්නේ නැත), මින්ට් සංස්කරණය උබුන්ටුවලට වඩා ඉදිරියෙන් සිටින බව මා දකිනවා. එකින් එක හේතු දක්වන්නට වෙලාවක් නැතත්, අනේ ආයෙත් මින්ට් තිබුණා නම් කියා දැන් සිතෙනවා. සමහරවිට කාලයත් සමග උබුන්ටු අවුලක් නැති ගානට සිතේවි.

Comments

  1. විනිවද පෙනෙන සැකසුම් වගේ දේවල් මටත් අල්ලන්නෙ නෑ උබුන්‍ටු වල. ඕපන් සෝස් වලට ජයවේවා !

    ReplyDelete
    Replies
    1. ඕපන් සෝස් දැන් තිබෙන්නේ ඉතාම අනර්ඝතම තත්වයක. ප්‍රශ්නය තියෙන්නේ තාම සාමාන්‍ය මිනිසුන් ඒවා පාවිච්චි නොකිරීමයි. දැන් නම් මගේ උබුන්ටුත් ඉතා හොඳින් වැඩ. හාහාහා... ඕපන් සෝස් ජය වේවා!!!

      Delete
  2. මාත් උබුන්ටු වින්ඩෝස් 10 එක්ක dual boot වෙන්න install කළා . වැඩිපුරම පාවිච්චි කරන්නේ උබුන්ටු . හිමින් සැරේ වින්ඩෝස් අත ඇරලම දානවා .

    ReplyDelete
    Replies
    1. ඒක හොඳයි. ප්‍රායෝගික ප්‍රශ්න නැතිවමත් නෙමෙයි.

      Delete
  3. Google input tools වගේ දෙයක් උබුන්ටු වලට තියද? මම windows පාවිච්චි කරද්දී සිංහල ටයිප් කලේ Google input tools වලින්. දැන් උබුන්ටු පාවිච්චි කරන නිසා සිංහල type කරන්නේ Google input tools on-line page එකෙන්. එක ටිකක් අවුල් . අන්තර්ජාල සම්බන්දතාවය නැතී උනොත් ඉවරයි.

    ReplyDelete
  4. ලිනක්ස්වල තියෙනවා සිංහලෙන් ටයිප් කරන්න ක්‍රම. මං ලින්ක්ස් පාඩම් මාලාවේ ඒවා දාගන්න හැටි ලියලා තියෙනවා. විජේසේකර සිංහල කීබෝඩ් ලේඅවුට් එකට හුරුවන්න.

    ReplyDelete
  5. මට නම් විඡේසේකර layout එක විකාරයක්. භාෂාව ටයිප් කිරීමට තිබිය යුත්තේ භාෂාව උච්චාරණය කරන ආකාරයට මිස අකුරු කට පාඩම් කර ටයිප් කරන ක්‍රම වලට නොවේ.

    ReplyDelete
    Replies
    1. ඔබට සාමාන්‍යයෙන් අප භාවිතා කරන ඉංග්‍රිසි ලේඅවුට් එකේ (QWERTY layout) පෙනෙන යම් රටාවක් පෙනේද? එවන් රටාවක් නැත. පරිගනක යතුරු පුවරු එන්නට ශතවර්ෂයකටත් වැඩි කාලයකයි ඉංග්‍රිසි ටයිප්රයිටරය නිපදවූයේ. එය නිර්මාණය කරපු කෙනාට සිතුණු විදියට එම ඉංග්‍රිසි අකුරු පෙලගස්වා ඇත. කාලයක් තිස්සේ ලෝකය පුරා එය භාවිතා කළ හෙයින් එය ස්වභාවිකවම සම්මතයක් බවට පත් විය. පසුකාලක පර්යේෂණ ඔස්සේ සොයා ගත්තා ඊට වඩා විද්‍යාත්මකව පෙලගස්වපු අක්ෂර සහිත (ඒ කියන්නේ දබරැඟිලි දෙකට වැඩියෙන්ම ලියවෙන අක්ෂර එන විදියට) DVORAK ලේඅවුට් එක. එහෙත් එය අදටත් කවුරුත් භාවිතා නොකරයි. කාලයා විසින් සාදන සම්මතයන් එතරම් පහසුවෙන් ඉවත්ව යන්නේ නැති බව ඉන් උගත යුතු පාඩමයි.

      එලෙසමයි සිංහල ලේඅවුට් එකටත් සිදුව ඇත්තේ. පරිගනක යතුරු පුවරු එන්නට පෙරයි විජේසේකර ටයිප්රයිටරය සාදා භාවිතා වූයේ. මාත් කුඩා කාලයේ (එතකොට පරිගනකයක් මා ඇස්වලින් දැකද තිබුණේ නැත) පාසලේදී විජේසේකර ටයිප් රයිටරය තමයි පුරුදු වූයේ. එය කුඩා කාලයේ සිටම පුරුදු වූ නිසා මට නම් විජේසේකර ලේඅවුට් එක හැර අන් ඒවා මල විකාර සේ දැනේ. කෙනා කෙන් පුරුදු වී තිබෙන අයුරු ඊට බලපාන බව ඉන් පෙනේ.

      කෙසේ හෝ වේවා, සිංහල යතුරු පුවරුව ඉංග්‍රිසි ලේඅවුට් එක ඇසුරින් තීරණය කිරීම අවශ්‍ය නැත (ඔබ අනියමින් හඟවන්නේ ඉංග්‍රිසි අක්ෂරවලට ගැලපෙන සේ සිංහල අකුරු පිහිටුවිය යුතු බවනෙ). එවැනි අක්ෂරද ඇත. කැමැති නම් එම අක්ෂර වින්ඩෝස් මෙන්ම ලිනක්ස් පද්ධතිවල ස්ථාපනය කර ගත හැකිය. එහෙත් කාලය විසින් ඇති කර තිබෙන සම්මතය විජේසේකරය වේ.

      ඔබ පවසන "භාෂාව ටයිප් කිරීමට තිබිය යුත්තේ භාෂාව උච්චාරණය කරන ආකාරයට..." යන වාක්‍ය කොටස ඇත්තටම තේරුමක් නැත. භාෂාව උච්ඡාරණය කිරීම හා යතුරු පුවරුවක් අතර කිසිදු සම්බන්දයක් නැත. ඔබ පටලවාගෙන තිබේ. ඔබ ඇත්තටම ඉන් කියන්නේ ඉංග්‍රිසි අක්ෂර තිබෙන ආකාරයට සිංහල අකුරු තැබිය යුතු බවයි. ඔබ අදහස් කළේ එය නොවේ නම් මා කැමැතියි ඇත්තටම ඔබ අදහස් කළ දේ විස්තරාත්මකව දැන ගන්න :)

      Delete
    2. මා අදහස් කළේ ඉංග්‍රීසියෙන් cat යන්න cat ලෙස ටයිප් කරන ලෙස මම යන වචනය mama ලෙස ටයිප් කිරීමේ leyout එක පහසු හා සමිප බවයි. එයයි මම පැවැසුවේ. මෙහිදී මම යන වචනය උච්චාරණය වන ආකාරයට mama යන්නෙන් අපට ඉංග්‍රීසි කී බෝඩ් එකෙන් ටයිප් කල හැක. එවිට සිංහල ටයිපින් නොදන්නා කෙනෙකුට වුවත් පහසුවෙන් හා ඉක්මනින් ටයිප් කළ හැක. උදාහරණයක් ලෙස "ප්‍ර" අකුර ටයිප් කිරීමට m + ~ ලෙස ටයිප් කිරීම කරදරයක්. කෙලින්ම pra ලෙස ටයිප් කළ හැකි නම් එය කෙතරම් පහසුද? එය විජේසේකර ලේඅවුට් එක කට පාඩම් කළ කෙනෙකුට ඇරෙන්න ටයිප් කළ නොහැකියි. නමුත් pra ලෙස ටයිප් කිරීම ඕනම කෙනෙකුට කළ හැක. ඒ අමුතුවෙන් කට පාඩම් කිරීමෙන් නොව භාෂාව උච්චාරණය කරන ආකාරයටය. අප කාලේක ප්‍රනාන්දු යැයි ඉංග්‍රීසියෙන් ලියන්නේ pranandu ලෙසය. එය අපට සමිපය. එය එසේ ටයිප් නොකර වෙනත් අමුතු ආකාරයෙන් ටයිප් කිරීම දැඩි වෙහෙසකරය. එය ඔබ වැනි පලපුරුදු අයට නම් ගාණක් නැතුව ඇති. එහෙත් අප වැනි ආධුනිකයින්ට එය අපහසුයි. අකුරෙන් අකුර ටයිප් කරන විදිහ මතක් කර කර හෝ අකුරෙන් අකුර කොලයක් බලාගෙන ටයිප් කිරීම පිස්සු හැදෙන වැඩකි.

      එහෙත් මා ඉහත දැක්වූ ක්‍රමයේද අඩුපාඩු ඇත. අකුරු 60 ක්‌ අකුරු 26 කට කැටි කිරීම අපහසුයි තමා. ඒත් ඒ අඩුපාඩු සියල්ල විසඳා සෑදූ කී බෝඩ් ලේඅවුට් තිබෙනවා. උදාහරණයක් ලෙස දහම යන වචනය dahama ලෙසත් ධර්ම යන වචනය dharma ලෙසත් දැනුම යන වචනය dA(shifted)numa ලෙසත් ටයිප් කිරීමට හැකි කී බෝඩ් ලේඅවුට් සාදා ඇත. එයට අවශ්‍ය වන්නේ ඉතා සියුම් දැනුමකි. ආධුනිකයින්ට විනාඩි 5 ක් ඇතුළත එය ඉගෙන ගත හැකියි. පැය දෙකකට පමණ පසු එහි ප්‍රවිණයෙක් මෙන් වැඩ කළ හැකිය. මා ඔබට ආරාධනා කරනවා එවැනි මෘදුකාංගයක් download කර බලන ලෙස, වෙනස වටහා ගැනීමට.

      Delete
    3. ඔබ අදහස් කළ දේ මට මුලදිත් තේරුණා. මා ඉහත කමේන්ට් එකේ සටහන් කර තිබෙන්නෙත් ඔබ ඉංග්‍රිසි අක්ෂරවලට සාපේක්ෂව සිංහල අකුරු සංයෝජන කරන ආකාරය ගැන නේද? එහෙත් ඔබ බැලූ පැතිකඩ ඔස්සේ නොවෙයි සිංහල (හා ඉංග්‍රිසි) ලේඅවුට් බිහි වී තිබෙන්නේ; එය හුදු අහඹු ඓතිහාසික සිදුවීම් පෙලක ප්‍රතිපල වේ (මා කෙටියෙන් ඒ ගැන කියා තිබේ).

      ඔබ කියන දේ තුල සත්‍යයක් ඇත. ඉංග්‍රිසි පුවරුව/ලේඅවුට් එක දැනටමත් දන්නා කෙනෙකුට ඔබ කියන phonetic layout එක පහසු විය හැකියි. මාද ඒවා භාවිතා කර තිබෙනවා. ඔබ කියන ක්‍රමය transliteration ක්‍රමයට නෑකම් කියන්නකි. කෙසේ හෝ වැඩේ ඉක්මනින් හා පහසුවෙන් කිරීමනෙ වැදගත්. ඔබ කියූ ලෙසම මට විජේසේකර ක්‍රමය ඉතා පහසුය. එය පුරුද්ද නිසා ඇති වූවක්. ඉතිං අවසානයේ යුනිකෝඩ් අක්ෂර ටයිප් වන ඕනෑම තමන්ට පහසු ක්‍රමයක් භාවිතා කරන්න.

      එහෙත් විජේසේකරය සම්මත ක්‍රමය නිසා ටික ටික ඊටද පුරුදු වීම යෝග්‍ය වේ. එයද සිතන තරම් අපහසු නැත. මට මතකයි ඒ කාලයේ මට රුසියානු අක්ෂර විනාඩියට වචන 30ක පමණ වේගයෙන් ටයිප් කිරීමට පුරුදු වීමට ගියේ එක් දිනයක් පමණයි.

      Delete

Post a Comment

Thanks for the comment made on blog.tekcroach.top

Popular posts from this blog

දන්නා සිංහලෙන් ඉංග්‍රිසි ඉගෙන ගනිමු - අතිරේකය 1

මූලික ඉංග්‍රීසි ලිවීම හා කියවීම ඉංග්‍රීසියෙන් ලියන්නේ හා ඉංග්‍රීසියෙන් ලියා ඇති දෙයක් කියවන්නේ කෙසේද?  ඉංග්‍රීසිය ඉගෙනීමට පෙර ඔබට මෙම හැකියාව තිබිය යුතුමය.  එය එතරම් අපහසු දෙයක්ද නොවේ.  ඔබේ උනන්දුව හොඳින් ‍තිබේ නම්, පැය කිහිපයකින් ඔබට මෙම හැකියාව ඇති කර ගත හැකිය.  මුල සිට පියවරෙන් පියවර එය උගන්වන්නම්.   මුලින්ම මිනිසා භාෂාවක් භාවිතා කළේ ශබ්දයෙන් පමණි.  එනම් ලිඛිත භාෂාව ඇති වූයේ පසු කාලයකදීය.  කටින් නිකුත් කරන ශබ්ද කනින් අසා ඔවුන් අදහස් උවමාරු කර ගත්තා.  පසුව ඔවුන්ට වුවමනා වුණා මෙම ශබ්ද කොලයක හෝ වෙනත් දෙයක සටහන් කර ගන්නට.  ඒ සඳහායි අකුරු නිර්මාණය කර ගත්තේ.  එම අකුරු නියෝජනය කරන්නේ ශබ්දයි .  මෙසේ මූලික අකුරු කිහිපයක් ඔවුන් එක එක භාෂාව සඳහා නිර්මාණය කර ගත්තා.  ඉංග්‍රීසියේදී මෙලෙස මූලික අකුරු 26ක් ඇත.   එය ඉංග්‍රීසි හෝඩිය ලෙස හැඳින් වෙනවා. අප ඉගෙන ගත යුත්තේ මෙම අකුරු මඟින් නියෝජනය කෙරෙන ශබ්ද මොනවාද යන්නයි.  එවිට ඔබට ඉංග්‍රීසි ලිවීමට හා කියවීමට හැකි වෙනවා.  ඊට පෙර අප අකුරු 26 දැනගත යුතුයි.  එම අ...

සිංහලෙන් ක්වන්ටම් (Quantum in Sinhala)

ඔන්න මෙතෙක් කාලයක් මා මඟ හරිමින් සිටි මාතෘකාවක් ගැන තරමක් කතා කරන්නයි සූදානම් වන්නේ; ඒ කියන්නේ ක්වන්ටම් භෞතිකය තමයි මාතෘකාව. සැරින් සැරේ කමෙන්ට් හරහාත්, ඊමේල් ආදියෙනුත් මේ ගැන කතා කරමු යැයි කිහිප දෙනෙකුම යෝජනා කර තිබුණත්, මෙම විෂයේ නිසඟයෙන්ම තිබෙන අවුල් ස්වභාවය නිසාත්, විශේෂඥයෝ යැයි කියා ගන්නා අයත් මේ ගැන කතා කිරීමේදී "කොරවන නිසාත්", මේ ගැන ලියමින් යන විට අනිවාර්යෙන්ම මාව හිට් විකට් කිරීමට එවන පන්දු හමුවේ නොදැවී සිටීමට හැකිදැයි සැකයක් මා තුල තිබුණි.   එනිසා මා විසින්ම මට පනවා ගත් කොන්දේසියක් සමඟ මා ඒ ගැන ඉදිරියේදී සාකච්ඡා කරමි. එම කොන්දේසිය වන්නේ මේ විෂය ගැන අසන කිසිදු පැනයකට මා පිලිතුරු නොදී සිටීමයි. එහෙත් ඕනෑම අයෙකුට ප්‍රශ්නය ඇසීමට මෙන්ම ඒවාට පක්ෂව හෝ විරුද්ධව කරුනු දැක්වීමට හා පිලිතුරු සැපයීමට ඇති අයිතිය මා අවහිර නොකරමි. විෂයට බහින්නට පෙර මේ විෂය සම්බන්දයෙන් මගේ ජීවිතයේ පැතිකඩක් පලමුව දිග හරින්නට කැමතියි. මට ක්වන්ටම් විද්‍යාව ගැන උනන්දුවක් ඇති වූයේ සාපෙල කරන සමයේය (අද මෙන් අන්තර්ජාලයක් අපට එදා තිබුනේ නැත). මා පාසලේ 6 වසරේ සිට උසස් පෙල දක්වා අඛන්ඩව විදුසර පාඨකයෙකු වන අ...

සන්නිවේදනය හා ආධුනික ගුවන් විදුලිය (Amateur radio) 121

Antenna Switch ඇන්ටනා ස්විචයක් ( antenna switch box යනුවෙන්ද එය හැඳින්වේ ) යනු ඇන්ටනා කිහිපයක් එකම ට්‍රාන්සීවරයකට සම්බන්ද කරන හෝ එකම ඇන්ටනාවක් ට්‍රාන්සීවර් කිහිපයකට සම්බන්ද කරන හෝ ට්‍රාන්සීවර් කිහිපයක් ඇන්ටනා කිහිපයකට හෝ සම්බන්ද කළ හැකි උපකරණයකි . ඇත්තටම එය නිකංම ස්විචයකි . එසේ වුවත් ලොස් එක අවම කිරීම සඳහා අනර්ඝ වර්ගයේ කනෙක්ටර් හා ස්විච් භාවිතා කිරීම සුදුසුය ( සමහරවිට කනෙක්ටර් මතුපිට රත්තරං ලෝහාලේප කර තිබිය හැකියි ). ට්‍රාන්සීවයකට ඇන්ටනාවක් සවි නොකර සම්ප්‍රේෂනය කළොත් ට්‍රාන්සීවරය පිලිස්සී යා හැකිය . ඉතිං , ඇන්ටනා ස්විචයක් භාවිතා කරන විට ඇන්ටනා කේබල් හා ට්‍රාන්සීවර් කේබල් ගලවන්නේ ගහන්නේ නැතිව දිගටම ඊට සම්බන්දව පවතින නිසා , හැමවිටම ට්‍රාන්සීවරයට ඇන්ටනාවක් ඉබේම සම්බන්ද වී පවතීවි . මෙමඟින් ට්‍රාන්සීවරයට අමතර වාසියක් අත් වේ . සාමාන්‍යයෙන් යම් ඇන්ටනා ස්විචයක් සෑම සංඛ්‍යාතයක් සඳහාම එක සේ ක්‍රියාත්මක නොවේ . සමහර සංඛ්‍යාත පරාසයකට එක් ලොස් අගයකුත් තවත් සංඛ්‍යාත පරාසයකට තවත් ලොස් අගයකුත් දක්වනවා . එනිසා ඇන්ටනා ස්විචයකින් සපෝට් කරන යම් නිශ්චිත සංඛ්‍යාත පරාසයක් තිබේ . මෙම සංඛ්‍යාත පරාසය...